සසප මැතිවරන රැස්වීම ජාමූඅ කප්පාදුවලට එරෙහි ව සටන් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරයි

[මෙය Sri Lankan SEP election meeting discusses how to fight IMF austerity යන මැයෙන් 2025 අප්‍රේල් 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2025 අප්‍රේල් 9 වන දින, කොලඹ දී, පලාත් පාලන මැතිවරනය සඳහා පැවැත්වුනු සසප රැස්වීම [Photo: WSWS]

මැයි 6 වන දින පැවැත්වෙන පලාත් පාලන මැතිවරනය වෙනුවෙන් දියත් කරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, අප්‍රේල් 9 වන දින කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු කලාපයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවට සහ කොලඹට ආසන්න කොලොන්නාව නගර සභාවට පිලිවෙලින් අපේක්ෂකයින් 12 දෙනෙකු සහ 21 දෙනෙකු ඉදිරිපත් කරමින්, සසප මැදිහත් වේ.

ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය, ෆැසිස්ට් හා ඒකාධිපති ප්‍රවනතා පුපුරා යාම, ලෝක යුද්ධයේ තර්ජනය සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය පිලිබඳව සසප සහ සසජාතශි කථිකයින් පැහැදිලි කලහ.

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන, පක්ෂය අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් තරග වදින පලාත් පාලන ප්‍රදේශ දෙක තුල පක්ෂයේ මැතිවරන මැදිහත්වීමේ වැදගත්කම පැහැදිලි කලේය. සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් සඳහා කම්කරුවන් සහ තරුනයින් සටන් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ ව මෙම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සඳහා සසප සහ සසජාතශි දීර්ඝ කාලයක් තිස්සේ අරගල කර ඇති බව ඔහු පැවසී ය.

මුලු ලෝකයට ම එරෙහි වෙලඳ යුද්ධ පියවර මාලාවක් වන, ට්‍රම්ප්ගේ දැවැන්ත තීරුබදු වැඩි වීම් මගින් අවුලුවන ලද, වේගයෙන් වෙනස් වන ජාත්‍යන්තර තත්වය කෙරෙහි කථිකයා විශේෂ අවධානයක් යොමු කලේ ය. ලෝක ධනවාදයේ ප්‍රතිවිරෝධතා ලෝක යුද්ධයකට තුඩු දෙනු ඇති බවට ට්‍රොට්ස්කි කල අනතුරු ඇඟවීම් ඔහු සිහිපත් කලේ ය.

පානි විජේසිරිවර්ධන, 2025 අප්‍රේල් 9 වන දින කොලඹ රැස්වීමේ මුලසුන හොබවමින් [Photo: WSWS]

ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය ඇමරිකානු ධනවාදයේ ශක්තිය නොව එහි දුර්වලතාවය පෙන්නුම් කරන බව විජේසිරිවර්ධන පැවසී ය. මෙම පියවරයන්ගෙන් අදහස් වන්නේ, එක්සත් ජනපදයේ පමනක් නොව, ශ්‍රී ලංකාව ඇතුලු සියලුම ධනේශ්වර රටවල පාලක ප්‍රභූන් මෙම ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට කටයුතු කරමින් සිටින බව යයි ඔහු තවදුරටත් පැවසී ය.

පක්ෂය විසින් මීට පෙර සිදු කල මැතිවරන මැදිහත්වීම්වලට වඩා, දැන්, වර්ධනය වන ජාත්‍යන්තර තත්වය කෙරෙහි වැඩ කරන ජනතාව සහ තරුනයින් අතර වර්ධනය වන උනන්දුවක් ඇති බව කථිකයා පැවසී ය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ට්‍රම්ප්ගේ තීරුබදු පියවර සහ ගෝලීය ධනවාදී අර්බුදය අතර සම්බන්ධය තේරුම් ගැනීමට ඔවුන් උත්සාහ කරන බව ඔහු පැවසීය.

විජේසිරිවර්ධන, 2022 දී රට පුරා ඇති වූ ආන්ඩු-විරෝධී නැගිටීමෙන් උකහා ගතයුතු අත්‍යවශ්‍ය දේශපාලන පාඩම් ගෙනහැර දැක්වී ය.

“ප්‍රධාන ගැටලුව වූයේ, මෙම මහජන ව්‍යාපාරය සමාජවාදී ඉදිරිදර්ශනයකින් සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී නායකත්වයකින් සන්නද්ධ නොවීමයි” ඔහු පැවසී ය. වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මෙම අරගලය පාර්ලිමේන්තු ආවෘත අන්තයකට හරවා යැවීම සඳහා ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) සහ සමගි ජන බලවේගය සමඟ කුමන්ත්‍රනය කලහ.

මෙම නැගිටීම අතරතුර කම්කරු පන්තිය දේශපාලනික ව සන්නද්ධ කිරීමට සටන් කරන්නේ සසප පමනක් බවත්, එය, සෑම වැඩබිමක ම සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවධාරනය කල බවත් විජේසිරිවර්ධන පැහැදිලි කලේ ය.

මෙම කමිටුවල නියෝජිතයින් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට ද සසප කැඳවුම් කරන බව ඔහු තවදුරටත් පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට මෙම සම්මේලනය ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය, වර්තමාන තත්වය මගින් තහවුරු වන බව ඔහු පැවසී ය.

2025 අප්‍රේල් 9 වන දින පලාත් පාලන මැතිවරනය සඳහා වූ මහජන රැස්වීම අමතන සකුන්ත හිරිමුතුගොඩ [Photo: WSWS]

ජනවාරි 3 වන දින, පේරාදෙනිය විශ්ව විද්‍යාල බලධාරීන් විසින්, “ජාමූඅ කප්පාදුවට එරෙහිව සටන් කරන්නේ කෙසේද” යන මැයෙන් පැවැත්වීමට නියමිත ව තිබූ සසජාතශි රැස්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස තහනම් කිරීම ගැන සසජාතශි හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන සකුන්ත හිරිමුතුගොඩ කතා කලේය. අගමැති හරිනි අමරසූරියගේ කාර්යාලය සසජාතශි රැස්වීම ගැන “විමසා” ඇති බව ඔහු පැවසී ය.

බලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද කනස්සල්ලට හේතුව, “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කල” රැස්වීමේ මාතෘකාව බව හිරිමුතුගොඩ පැවසී ය. බලධාරීන්ගේ සැබෑ කනස්සල්ල වූයේ, ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන කෝපය, සසජාතශි සහ සසප සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩසටහන තුල ප්‍රකාශනයක් සොයා ගැනීමයි. එතැන් පටන් ආන්ඩුව කම්කරුවන්ගේ සහ සිසුන්ගේ විරෝධතාවලට ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඔහු තවදුරටත් පැවසී ය.

කම්කරු පන්තිය දෙසට නැඹුරු නොවී, සමාජවාදය සඳහා සටන් නොකර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සිසුන්ට සහ තරුනයින්ට සටන් කල නොහැකි බව හිරිමුතුගොඩ රැස්වීමේදී පැවසී ය. ඔහු අවසන් කලේ, සිසුන්ට, තරුනයින්ට සහ කම්කරුවන්ට සසජාතශි උද්ඝෝෂනයට සහාය දෙන ලෙස ආයාචනා කරමිනි.

කොලොන්නාව සඳහා පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක, සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස්, කොලඹ රැස්වීමේ අවසාන කතාව පැවැත් වී ය.

සමස්ත ලෝකයට ම එරෙහි ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධයේ ඇඟවුම් සහ ගෝලීය අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ දී ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ භූමිකාව, පීරිස් ඉස්මතු කලා ය.

උද්ඝෝෂනය අතරතුර ඡන්දදායකයින් විසින් මතු කරන ලද ප්‍රශ්න කිහිපයක් පීරිස් සමාලෝචනය කලාය. ඒ අතරට, ජවිපෙ දෙබිඩිභාවය සහ “අධිරාජ්‍ය විරෝධී” බවට එහි පූර්ව ප්‍රකාශයන් ද ඇතුලත් විය. එක් කම්කරුවෙක්, ජවිපෙ දැන් අධිරාජ්‍ය ගැති සංවිධානයක් බව සඳහන් කල අතර, එහි [පූර්ව] මවාපෑම බලය අල්ලා ගැනීමේ “උපායයක්” දැයි විමසා සිටි බව ඇය පැවසුවා ය.

2025 අප්‍රේල් 9 වන දින මහජන රැස්වීම අමතන විලානි පීරිස් [Photo: WSWS]

ආරම්භයේ සිට ම ජවිපෙ ව්‍යාජ-මාක්ස්වාදී පක්ෂයක් බව පීරිස් පැහැදිලි කලා ය. “ජවිපෙ/ජාජබ ආන්ඩුවේ දක්ෂිනාංශික ස්වභාවය කම්කරු පන්තිය තේරුම් ගත යුතු අතර ඒ සඳහා විද්‍යාත්මක විශ්ලේෂනයක් අවශ්‍යයි,” ඇය පැවසුවා ය.

1970 දී ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය යන මැයෙන් ලිපි මාලාවක් ලියමින් කීර්ති බාලසූරිය විසින් ජවිපෙ පිලිබඳ ව කරන ලද මූලික විශ්ලේෂනයේ සමකාලීන වැදගත්කම ඇය පැහැදිලි කලා ය. බාලසූරිය, සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක ප්‍රධාන ලේකම් විය.

අධිරාජ්‍ය විරෝධී අරගලයක් ගෙන යා හැකි එක ම බලවේගය “දේශප්‍රේමය” කා වැදුනු සමාජ ස්ථරය බවට ජවිපෙ කරන ව්‍යාජ ප්‍රකාශවල ප්‍රතිගාමී ස්වභාවය බාලසූරියගේ විශ්ලේෂනයෙන් හෙලිදරව් විය. අධිරාජ්‍ය විරෝධී අරගලය මෙසේ දේශප්‍රේමය සමඟ මිශ්‍ර කිරීම, “මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ සම්පූර්න ප්‍රතිවිරුද්ධය වන අතර කම්කරු පන්තිය සතුරු ධනේශ්වර පන්තියට යටත් කරන වැඩපිලිවෙලක්” බව පීරිස් පැවසී ය.

මෙම ජාතිකවාදී ප්‍රතිපත්ති සහ දෙමල වතු කම්කරුවන් කෙරෙහි එහි සතුරුකම, ජවිපෙ ෆැසිස්ට් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල හැකි බවට බාලසූරිය පූර්ව අනතුරු ඇඟවීමක් කලේ ය. 1988-1990 දී දේශපාලන විරුද්ධවාදීන්ට සහ කම්කරුවන්ට එල්ල කල ෆැසිස්ට් ප්‍රහාරවලින් මෙය පෙන්නුම් කෙරුනි.

වෘත්තීය සමිති නිලධරයන්ගේ සහාය ඇති ව ශ්‍රී ලංකාවේ එක් එක් ධනපති ආන්ඩු විසින් කම්කරු පන්තියට එරෙහි ව දශක ගනනාවක් පුරා එල්ල කරන ලද කුරිරු ප්‍රහාර පීරිස් සාරාංශගත කලා ය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව පෙර පාලන තන්ත්‍රවල ප්‍රතිපත්ති ම අනුගමනය කරමින්, කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එරෙහි ව ජාමූඅ කප්පාදු ප්‍රහාර දිගටම ගෙන යන බව කථිකයා පැවසී ය.

ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මානවල නිවාස ප්‍රශ්නය ප්‍රධාන ගැටලුවක් බව පීරිස් පැවසුවාය; නමුත් අනුප්‍රාප්තික ආන්ඩු විසින් එයට විසඳුම් ලබා දී නොමැත. දුප්පතුන්ගේ නිවාස කඩා දැමීමට, දශක ගනනාවක් තිස්සේ ඔවුන් ජීවත් වූ ප්‍රදේශවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සහ එම ඉඩම් විශාල ආයෝජකයින්ට භාර දීමට ආන්ඩු පොලිසිය භාවිතා කල ආකාරය ඇය සිහිපත් කලා ය.

ජවිපෙ අමාත්‍ය නලින්ද ජයතිස්ස මෑතක දී නිවේදනය කලේ ආන්ඩුව දකුනේ කොලඹ සහ කතරගම ප්‍රදේශවල වැඩි ඉඩම් ප්‍රමානයක් දේශීය හා විදේශීය ආයෝජකයින්ට ලබා දෙන බවයි. නාගරික දුප්පතුන් සහ ග්‍රාමීය ජනතාව ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගෙන සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය සමඟ සංවිධානගත වී මෙම මර්දනය පරාජය කල යුතු බව ඇය පැවසුවා ය.

ඇය කතාව අවසන් කලේ, සසපට ඡන්දය දෙන ලෙසත්, එහි මැතිවරන ව්‍යාපාරයට සහභාගී වන ලෙසත්, එහි සාමාජිකත්වයට එක්වන ලෙසත් පැමින සිටි අයගෙන් ඉල්ලා සිටිමිනි.

රැස්වීමෙන් පසු, තරුන ඉදිකිරීම් කම්කරුවෙකු වන මාලින්ද මෙසේ පැවසීය, “කම්කරු පන්තිය දැනුවත් කල යුතු බව විලානි පවසන දෙයට මම එකඟ යි. ධනේශ්වර ක්‍රමයෙන් ඔබ්බට සිතීමට කම්කරුවන්ට ඉගැන්විය යුතුයි. කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගීතාවය අත්‍යවශ්‍ය යි.

'ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීම් ගැන හැමෝම කතා කරනවා; මේ පිලිබඳ වැදගත් විශ්ලේෂනයක් රැස්වීමේදී ඉදිරිපත් කලා. මෙම කාරනය, යුද්ධයේ වැඩෙන අනතුරත්, එයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගීතාවය ඉල්ලා සිටීමේ වැදගත්කමත් පෙන්නුම් කරනවා.'

'මහජනතාවට ආරම්භයේ සිටම ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයෙන් උගන්වනු ලබන්නේ, ධනේශ්වර ක්‍රමය යටතේ ජීවත් වන්නේ කෙසේද යන්න මිස, එය ජය ගන්නේ කෙසේද යන්න නොවේ. අනෙකුත් පක්ෂ පවසන්නේ අප මුහුන දෙන ගැටලුවලට විසඳුම ධනේශ්වර ක්‍රමය තුල සොයාගත හැකි බවයි, නමුත් ඔබේ පක්ෂය ඊට වෙනස්. ධනේශ්වර ක්‍රමය යටතේ මානව වර්ගයා මුහුන දෙන මූලික ගැටලු කිසිවක් විසඳා ගත නොහැකි බවත් ලෝක සමාජවාදය අවශ්‍ය බවත් සසප පැහැදිලි කරනවා. මේවා ඉතා වැදගත් කරුනු,” ඔහු පැවසීය.

පලමු වරට සසප රැස්වීමකට සහභාගී වූ ලංකා විදුලිබල මන්ඩල සේවකයෙක් මෙසේ පැවසී ය: “ජාමූඅ නියෝගවලට අනුව රාජ්‍ය ආයතන 400 ක් පමන පෞද්ගලීකරනය කෙරෙන බව රැස්වීමේ දී පැහැදිලි කලා. රැකියා ලක්ෂ පහක් අහිමි වනු ඇති.

“මම විදුලිබල මන්ඩලයේ සේවය කරන්නෙක්; අප මුහුන දෙන ප්‍රධාන ගැටලුව වන්නේ අපගේ ආයතනය පෞද්ගලීකරනය කිරීමයි. මෙම ජාජබ ආන්ඩුව නව විදුලිබල පනතක් ගෙනැවිත් තිබෙනවා; නමුත් එහි ඇති දේ අපි දන්නේ නැහැ. අපට වන්දි ලැබේද නැතහොත් අපගේ රැකියා ආරක්ෂා වේදැයි අපි දන්නේ නැහැ.

“අපි මුහුන දී සිටින්නේ ලෝක තත්වයකට; කෙසේ වෙතත්, ප්‍රශ්නය වන්නේ ඡන්දයකින් පමනක් රැකියා ආරක්ෂා කල හැකිද යන්නයි. එක්සත් ජනපදය අප වැනි කුඩා රටවල ආර්ථිකයන් ද අඩපන කිරීමට උත්සාහ කරනවා කියලා මම හිතනවා. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ තීරුබදු මුලු ලෝකයට ම බලපානු ඇති.

“රැස්වීමේ දී පැහැදිලි කල පරිදි, ලෝකය යුද්ධයක් කරා තල්ලු වෙමින් පවතිනවා. මෙම රැස්වීමේ දී අපි කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන අපගේ අයිතිවාසිකම් සඳහා සංවිධානය විය යුතු බව පැවසුවා. මෙය ගොඩක් වැදගත්; මම එය අධ්‍යයනය කරමින් ඉන්නෙ. “

“ඔබේ දේශපාලනය හැදෑරීම සඳහා මම ජවිපෙ පිලිබඳ පොත් දෙකමත්, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස, ජර්මනිය 1931-1932 සහ කම්කරුවන්ගේ හා ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා යන පොතුත් මිලදී ගත්තා.'

Loading