[මෙය An appeal to Sri Lankan garment workers: How to fight tariff war attacks on jobs and wages යන මැයෙන් 2025 අප්‍රේල් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
දැනටමත් අඩු වැටුප් හා දුෂ්කර කොන්දේසි වලට මුහුන දෙමින් සිටින ඇඟලුම් කම්කරුවෝ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවුලුවන ලද තීරුබදු යුද්ධයේ කුරිරු ප්‍රහාරවලට දැන් මුහුන දී සිටිති.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඇකක්‍රික), රට පුරා සහ ජාත්‍යන්තරව ඇඟලුම් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට වහා සූදානම් වන ලෙසයි.
ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු යුද්ධය නැවත වරක් පෙන්නුම් කරන්නේ මෙය ජාත්‍යන්තර අරගලයක් බවයි. දකුනු හා නැගෙනහිර ආසියානු රටවල ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයන්හි සේවයේ යෙදී සිටින අපගේ සියලුම පන්ති සහෝදර සහෝදරියන්ගෙන් සහ එම ප්‍රහාරයට මුහුන දී සිටින සියලුදෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, ඔබේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ ක්‍රියාවක් සංවිධානය කරන ලෙසයි. සේවාදායක රටවලින් ඇඟලුම් මිලදී ගන්නා එක්සත් ජනපද සහ යුරෝපීය යෝධ සිල්ලර වෙලඳ සමාගම්වල කම්කරුවන් දක්වා එවැනි ක්‍රියාවන් ව්‍යාප්ත කල යුතුය.
ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය සහ මියන්මාරය පිලිවෙලින් සියයට 44, 49, 48, 46 සහ 44 බැගින් වන දැවැන්ත තීරුබදු වලට මුහුන දෙයි. ට්‍රම්ප් තම තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් පනවා ඇති දින 90 ක “විරාමය” මෙම රටවල කර්මාන්ත කෙරෙහි බලපාන අර්බුදය විසඳීමට තබා සමනය කිරීමටවත් ඉඩ නොදෙනු ඇත. එක්සත් ජනපදය විසින් කුපිත කරන ලද වෙලඳ යුද්ධ පියවරයන් ලෝකය ගිල ගනිමින්, එය අවපාතයකට සහ ගෝලීය වහ්නිජාලාවක් කරා තල්ලු කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා විශාලතම තනි වෙලඳපොල ඇමරිකා එක්සත් ජනපදය වන අතර, පසුගිය වසරේ රටේ මුලු ඇඟලුම් අපනයනයෙන් සියයට 40 ක් එරටට අපනයනයකොට ඩොලර් බිලියන 1.5 ක් උපයා ඇත. නව තීරුබදු හේතුවෙන් ඇමරිකාවට කරන අපනයන සියයට 20 කින් පහත වැටෙනු ඇති බවටත්, වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක පාඩුවක් සිදුවනු ඇති බවටත් PublicFinance.lk චින්තන පර්ෂදය ඇස්තමේන්තු කරයි. ඇඟලුම් අංශයේ බිඳවැටීම හේතුවෙන්, කර්මාන්තශාලා වැසී යාම් සහ දැවැන්ත රැකියා අහිමිවීම් මෙන්ම වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීම් ද සිදුවනු ඇත.
වර්තමානයේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ, කම්කරුවන් 350,000 කට වැඩි පිරිසක් සෘජුවම සේවය කරන අතර, කම්කරුවන් 600,000 ක් පමන වක්‍රව සේවයේ යෙදී සිටිති. බොහෝ ඇඟලුම් කම්කරුවන්ට ගෙවනු ලබන්නේ රුපියල් 35,000 ක පමන වන සාමාන්‍ය සොච්චම් මාසික වැටුපකි. දුෂ්කර නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට බල කෙරෙන බැවින්, වැඩිපුර උපයා ගැනීම සඳහා ඔවුන්ට අතිකාල වැඩ කිරීමට බල කෙරෙයි. ඇඟලුම් සමාගම්, නිෂ්පාදන පිරිවැය කපා හරිනුවස්, අඩු වැටුප් සහිත කොන්ත්‍රාත් සමාගම් වැඩිවැඩියෙන් භාවිතා කරමින් සිටී.
ඇඟලුම් කර්මාන්තයට පමනක් සීමා නොවන ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය, එක්සත් ජනපදයට අපනයනය කරන සියලුම රටවලට දැඩි බලපෑමක් ඇති කරන අතර එය ගෝලීය වෙලඳ අර්බුදයකට තුඩු දෙනු ඇත.
එක්සත් ජනපද තීරුබදු වැඩිකිරීම්වලින් කම්පනයට පත් ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව “ජාතික සමගිය” සඳහා කැඳවුම් කර තිබේ. ජනාධිපති දිසානායක අප්‍රේල් 11 වන දින සර්ව-පාක්ෂික සමුලුවක් (ඒපීසී) කැඳවීය.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ තමිල් අරසු කච්චි ඇතුලු විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු පක්ෂ සමුලුවට සහභාගී වූ අතර ආන්ඩුවට සහාය දීමට එකඟ වූහ.
දිසානායක, ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ඉටු කිරීමේ තම සූදානම, එයට දැනුම් දී තිබේ. මහා ව්‍යාපාරික සංසද කන්ඩායම්—ලංකා වානිජ මන්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය—දිසානායක ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, තවත් බදු කප්පාදු සහ අනෙකුත් සහන ලබා දෙන ලෙසයි. ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආයෝජකයින්ට සහාය දැක්වීමට මංමුලා සහගත ව්‍යායාමයක යෙදී සිටින කොලඹ පාලනය, අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තියේ උර මත පැටවීමට පියවර ගනු ඇත. මෙම ප්‍රහාර එල්ල වන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල දැන් දිගටම කරගෙන යද්දී ය.
වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහී භූමිකාව
මෙම උත්සන්න වන ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් සූදානම් විය යුතුව තිබියදී, වෘත්තීය සමිති නිලධරය කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කරමින්, ආන්ඩුවේ සහ සේවා යෝජකයින්ගේ ප්‍රහාරවලට සහාය දීමට සූදානම් වෙමින් සිටිති.
නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ (එෆ්ටීඉසඩ්ජීඑස්ඊයූ) ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්, මෙම තත්වයට මුහුන දීම සඳහා සමාගම් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ කමිටුවක් ස්ථාපිත කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ. එක්සත් ජනපදයෙන් කෙරෙන විශාලතම ආනයන සඳහා තීරුබදු නිදහස් කිරීමෙන් සහ අනෙකුත් ආනයන සඳහා තීරුබදු අඩු කිරීමෙන්, ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගේ හදවත “දිනාගත හැකි” බවට මාකස් යෝජනා කර තිබේ.
අප්‍රේල් 4 වන දින, ලංකා වෙලඳ සංගමයේ (ලංවෙසං) ප්‍රධාන ලේකම් එස්. පී. නේතන්, ට්‍රම්ප් පරිපාලනයට ලිඛිත ආයාචනයක් යවමින්, දහස් ගනනක් ශ්‍රී ලාංකික කම්කරුවන්ට රැකියා අහිමි වන බැවින්, “පෙර තීරුබදු අනුපාතයට ආපසු හරවන මෙන්” ඉල්ලා සිටියේය.
දිනපතා සංක්‍රමනිකයන් පලවා හරින, ගාසා සංහාරයේ විරුද්ධවාදීන් සිරගත කරන, සමාජ සේවා, සෞඛ්‍ය හා විද්‍යාව කප්පාදු කරන සහ රාජ්‍ය අංශයේ රැකියා දස දහස් ගනනින් විනාශ කරන වොෂින්ටනයේ ෆැසිස්ට් තන්ත්‍රයට කරන මෙම ශෝචනීය ආයාචනය බිහිරි අලින්ට වීනා වැයීමක් වනු ඇත.
අතීතයේ දී මෙන්, නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, සීඑම්‍යූ, ජවිපෙ මගින් පාලනය වන අන්තර් සමාගම් සේවක සංගමය (අයිසීඩබ්ලිව්‍යූ) සහ අනෙකුත් ශ්‍රී ලාංකික වෘත්තීය සමිති නිලධරයන්, සෑම අර්බුදයකටම ප්‍රතිචාර දක්වා ඇත්තේ කොලඹ ආන්ඩු සහ මහා සමාගම් සමඟ ඔවුන්ගේ සහයෝගිතාව ගැඹුරු කරමිනි.
2008 ගෝලීය මූල්‍ය අර්බුදය සහ ඒ ආශ්‍රිත ලෝක අවපාතය අතරතුර, වෘත්තීය සමිති නායකයෝ, ආන්ඩුවේ ජාතික කම්කරු උපදේශක සභාවට (එන්එල්ඒසී) සම්බන්ධ වී කර්මාන්තශාලා වැසීමට සහ සමූහ දොට්ට දැමීම්වලට සහාය දුන්හ.
2020 දී කෝවිඩ්-19 වසංගතය පුපුරා ගිය විට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සේවා යෝජකයින්, කම්කරු නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයින්ගෙන් සමන්විත කෝවිඩ්-19 “ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකායක්” පිහිටුවන ලදී. එහි කාර්යය වූයේ, දොට්ට දැමීම්, වැටුප් කප්පාදු සහ අනාරක්ෂිත තත්වයන් යටතේ කම්කරුවන් වැඩ කිරීම සඳහා වන සමාගම් යෝජනා බලාත්මක කිරීමයි. කර්මාන්තශාලා 40 ක් වසා දැමීමෙන් පසු අවම වශයෙන් 150,000 කට සහ කුඩා කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් තවත් 73,000 කට රැකියා අහිමි විය.
2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම හේතුවෙන් මිලියන සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ වූ මහජන අරගල පැන නැගුනි; එහෙත්, වෘත්තීය සමිති යාන්ත්‍රනය, දහස් ගනන් කම්කරුවන්ගේ දොට්ට දැමීම්වලට එරෙහිව සටන් කිරීමට කිසිවක් කලේ නැත. ඒ හා සමානව, වෘත්තීය සමිති, නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ ජාමූඅ ප්‍රතිපත්තිවලට සහාය දුන් අතර දැන් ජාමූඅ කප්පාදු ක්‍රියාත්මක කිරීමට දිසානායක තන්ත්‍රයට සහාය වෙමින් සිටිති.
කම්කරුවන් කල යුත්තේ කුමක්ද?
මේ මස මුලදී, වෝග් ටෙක්ස් ඇඟලුම් කම්කරුවන් අප්‍රේල් 8 සහ 9 යන දිනවල බලගතු වාඩිලාගැනීමේ වැඩ වර්ජනයක් කලහ; එක්සත් ජනපද තීරුබදු වැඩිවීම උපුටා දක්වමින් එම සමාගම හදිසියේම තම සේවකයින්ට නිවේදනය කලේ, මෙතෙක් ගෙවූ සිංහල-දෙමල අලුත් අවුරුදු ප්‍රසාද දීමනා නොගෙවන බවයි. වෝග් ටෙක්ස් සේවකයින්ගේ අධිෂ්ඨානශීලී කාර්මික ක්‍රියාව, සටන් කිරීමට ඇති කැමැත්ත පෙන්නුම් කලද, ඇඟලුම් කම්කරුවන්ට ඉදිරියට යා හැක්කේ, ඔවුන් නව උපාය මාර්ගයක් අනුගමනය කලහොත් පමනි.
අතීතයේ දී කල අයුරින්, ආන්ඩුවේ සහ මහා ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති නිලධරයට ඉඩ නොදිය යුතු බවට ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව ඇඟලුම් සේවකයින්ට අනතුරු අඟවයි.
කම්කරුවන් තම වැටුප් හා සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා වන සටන තමන්ගේ අතට ගත යුතුය. ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව ඇඟලුම් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, සියලුම කර්මාන්තශාලාවල සහ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි. ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන වෘත්තීය සමිති නිලධරයට සහ පාර්ලිමේන්තු පක්ෂ නියෝජිතයින්ට මෙම ස්වාධීන කමිටුවල කිසිදු තැනක් නොදිය යුතු ය.
සමාගම්වල සහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා, විරෝධතා, වැඩවර්ජන සහ කම්හල් වාඩිලාගැනීම් ඇතුලුව ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව සාකච්ඡා කර තීරනය කිරීමට මෙම කම්කරු පන්ති කමිටුවලට හැකිය. ඔවුන් පෞද්ගලික කර්මාන්ත සහ රාජ්‍ය අංශය පුරා අනෙකුත් තැන්වල සේවකයින් සමඟ සම්බන්ධීකරනය විය යුතුය.
ඇඟලුම් සේවකයින් පහත ඉල්ලීම් මත සටන් වැදිය යුතුය:
• රැකියා කප්පාදු, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු එපා! වැඩබර වැඩිකිරීම් එපා.
• සියලු කම්හල් වසා දැමීම්වලට විරුද්ධ වනු, කම්හල් වාඩිලාගැනීම් ඇතුලු කාර්මික ක්‍රියා සඳහා සූදානම් වෙනු. සමාගම් සහ වෘත්තීය සමිති නිලධාරීන් විසින් තීරනය කරන සොච්චම් වන්දි ප්‍රතික්ෂේප කරනු. නව රැකියා ලබා දෙන තෙක්, සම්පූර්න වැටුප් සහිත වන්දි ඉල්ලා සිටිනු.
• සැබෑ වැටුප් ඛාදනය පූරනය වන පරිදි කම්කරුවන්ට වැටුප් වැඩිකල යුතුය. සියලුම වැටුප් ජීවන වියදමට අනුරූපව වැඩි විය යුතුය.
• සම්පූර්න වැටුප් සහිත වෛද්‍ය නිවාඩු. යහපත් නිවාස සහ සෞඛ්‍ය පහසුකම්.
ජාමූඅ කප්පාදුවට එරෙහි සටන මෙන්ම, එක්සත් ජනපද ආන්ඩුවේ තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි අරගලය ද ජාත්‍යන්තර වේ. ගෝලීය ආර්ථික අර්බුදයට සහ උත්සන්න වන තීරුබදු යුද්ධයට කම්කරුවන් වගකිව යුතු නොවේ.
ජනාධිපති දිසානායක තීරුබදු අර්බුදයට ප්‍රතිචාර දක්වමින් “සෑම කෙනෙකුම ජාතියක් ලෙස එයට මුහුන දීමට සූදානම් විය යුතු” බව කියා සිටියේය. නමුත් මහා ව්‍යාපාරිකයන් වෙනුවෙන් කම්කරුවන් තම අයිතිවාසිකම් කැප කල යුත්තේ ඇයි? වැඩ කරන ජනතාවට මෙම ලාභ පද්ධතිය තුල තම රැකියා, වැටුප්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කර ගත නොහැක.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන් ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් විය යුතුය. මෙය සාක්ෂාත් කරගත හැක්කේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආරම්භකත්වයෙන් පිහිටුවන ලද ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් වන, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ වීමෙන් සහ ගොඩනැගීමෙන් පමනි.
බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය, ලාඕසය සහ අනෙකුත් දකුනු හා නැගෙනහිර ආසියානු රටවල ඇඟලුම් කම්කරුවන්ට මෙම අරගලයට අප හා එක්වන ලෙස අපි සෘජුවම ආයාචනා කර සිටිමු. මේ පිලිබඳව ඔබ සමඟ සාකච්ඡා කිරීමට සහ කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සහාය වීමට අපි සූදානම්ව සිටින්නෙමු.
අප අමතන්න:
දුරකථන/වට්ස්ඇප්: +94773562327
ඊමේල්: action.committees.sl@gmail.com
වැඩිදුර කියවන්න
- අවුරුදු බෝනස් නොදීමට එරෙහි ව වෝග් ටෙක්ස් ඇඟලුම් කම්හල් කම්කරුවෝ විරෝධතා දක්වති
- ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීමෙන් කම්පනයට පත් ශ්‍රී ලංකාවේ ජනාධිපති “ජාතික සමගිය” ඉල්ලා සිටී
- ට්‍රම්ප්ගේ ආර්ථික යුද උමතුව සහ ඊට සමාජවාදී ප්‍රතිචාරයක අවශ්‍යතාව
- ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය තීරු බදු", ලෝකයට එරෙහි ආර්ථික යුද්ධය තීව්ර කරයි
- ට්‍රම්ප්ගේ තීරුබදු අත්හිටුවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය