ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ තීරුබදු අත්හිටුවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය

[මෙය Trump’s tariff pull-back and the class character of the capitalist state යන මැයෙන් 2025 අප්‍රේල් 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2025 අප්‍රේල් 7 වන සඳුදා, නිව්යෝර්ක් හි, නිව්යෝර්ක් කොටස් වෙලඳපොලේ වෙලඳුන් වැඩ කරමින් සිටියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනියේ පෙනී සිටී. [AP Photo/Seth Wenig]

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති වුව ද, ඔහු පාලනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරය වෙනුවෙනි. එය පසුගිය පැය 48 ක සිදුවීම් වලින් උකහා ගත හැකි මූලික දේශපාලන නිගමනයකි.

සිදුවීම්වල මූලික සැකිල්ල පැහැදිලි ය. ට්‍රම්ප් ලෝකයේ සෑම රටකට ම පාහේ දැඩි තීරුබදු පැනවීමේ සැලැස්මක් ආරම්භ කරමින්, පසුබැසීමක් සිදු නොවන බව ප්‍රකාශ කලේ ය; කඩා වැටෙන වෙලඳපොලවල් සමච්චලයට ලක් කරමින් සහ දැන් “ආයෝජනය කිරීමට හොඳ කාලයක්” බව කියා සිටියේ ය.

පැය කිහිපයකට පසු, ට්‍රම්ප්, භාන්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ වානිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් යන බිලියනපති උපදේශකයින් දෙදෙනා මුනගැසුනු අතර, ඔවුහු, වෝල් වීදිය පිලිබඳ බහුතර මතය ලෙස, මූල්‍ය ව්‍යසනයක් අත ලඟ බව ප්‍රකාශ කලහ. ඔවුන් එම කාරනය ඉදිරියට ගෙන යන විට, ට්‍රම්ප් ඔහුගේ ටෲත් සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රකාශයක් නිකුත් කරමින්, චීනයට හැර අන් සියලු රට වලට බලපාන පරිදි, ඔහුගේ තීරුබදු යුද්ධයේ දින 90 ක “විරාමයක්” නිවේදනය කලේ ය.

වඩාත් සෘජු ආක්‍රමනශීලී ආකාරවල පූර්වගාමියා වන චීනයට එරෙහිව පරිපාලනය සිය ආර්ථික යුද්ධය වේගවත් කරන විට, එම ව්‍යතිරේකය තීරනාත්මක වැදගත්කමක් දරයි. කෙසේ වෙතත්, අනෙකුත් බොහෝ තීරුබදු තාවකාලිකව ප්‍රමාද කිරීම, ට්‍රම්ප්ගේ පැත්තෙන් පැහැදිලි ආපසු හැරීමක් විය.

බ්‍රහස්පතින්දා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ කතුවැකියේ ප්‍රධාන මාතෘකාව වූයේ, “ඩොනල්ඩ් ට්‍රම්ප් වෙලඳපොලවල බලයට හිස නමයි” යන්නයි.

ආපසු හැරීමට පෙර, දින දෙකක් තුල, කොටස් වෙලඳපොලේ කොටස් අඩු මිලට විකිනීමෙන් ඩොලර් ට්‍රිලියන 6 කට වඩා අහිමි වූ අතර, ඇපල් සමාගමට පමනක් වෙලඳපල වටිනාකමෙන් ඩොලර් බිලියන 600 ක් අහිමි විය; දකුනු හා නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ නිෂ්පාදනවලින් වැඩි ප්‍රමානයක් නිෂ්පාදනය කරන අනෙකුත් තාක්ෂනික සමාගම් ද ඒ හා සමාන පාඩු ලැබීය. ඇමරිකානු සංගත, තීරුබදු පුලුල් ලෙස හෙලා දකින ලද මුත්, ට්‍රම්ප් සහ ඔහුගේ ඉහල සහායකයෝ ප්‍රකාශ කලේ, අර්බුදය පහ ව යනු ඇති බවත්, තීරුබදු ප්‍රතිපත්තියේ අවසාන ප්‍රතිඵලය ලෙස ඇමරිකානු ධනවාදයේ, ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන ලද “නව ස්වර්නමය යුගය” උදාවනු ඇති බවත්‍ ය.

කොටස් මිල පහත වැටීමට වඩා වැදගත් වූයේ, සඳුදා (07) සහ අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල තුල මූල්‍ය භීතිය පැතිර යාමයි; බදාදා උදෑසන සිට තීරුබදු ක්‍රියාත්මක වීමට නියමිත විය. විශේෂයෙන් තීරනාත්මක වූයේ, ලොව විශාලතම සහ ලොව පුරා මූල්‍ය ගනුදෙනු සඳහා මිනුම් ලකුන වන, ඩොලර් ට්‍රිලියන 28 ක් වූ එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් වෙලඳපොලට ඇති කරන බලපෑමයි.

ට්‍රම්ප් අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල කඩා වැටීම නිරීක්ෂනය කරමින් මෙසේ පැවසී ය, “ඊයේ රාත්‍රියේ, මිනිසුන් ටිකක් කලබල වන බව මම දුටුවා.” බදාදා උදෑසන ජේපී මෝගන් චේස් ප්‍රධාන විධායක නිලධාරී ජේමි ඩිමොන් සමග මාරියා බාර්ටිරෝමෝ, ෆොක්ස් බිස්නස් හි කල සම්මුඛ සාකච්ඡාවක් නරඹමින් සිටි බව ඔහු පිලිගත්තේ ය; එහි දී ඩිමොන් පැවසුවේ, තීරුබදු ඉහල නැංවීමේ දී අවපාතයක් “සිදුවිය හැකි ප්‍රතිඵලයක්” බවයි. “මම සන්සුන් ලෙස බලා සිටිනවා, නමුත් එය නරක අතට හැරිය හැකියි,” ඩිමොන් අනතුරු ඇඟවීය.

වඩාත් සෘජු අදහස් දැක්වීම් තිබුනි. ෆන්ඩ්ස්ට්‍රාට් ග්ලෝබල් ඇඩ්වයිසර්ස් හි කලමනාකරන හවුල්කරුවෙකු සහ පර්යේෂන ප්‍රධානියා වන තෝමස් ලී බදාදා සංදේශයක් යවා ඇති අතර, එහි, බොහෝ අරමුදල් කලමනාකරුවන් ධවල මන්දිරය තාර්කික ව ක්‍රියා නොකරන බවට කනස්සල්ලට පත් ව සිටින බව ක්වාර්ට්ස් වෙතින් උපුටා දක්වා තිබුනි. 'සමහරු මෙය දෘෂ්ටිවාදයක් නොවිය හැකි යැයි පවා බිය වෙති. “ජනාධිපතිවරයා උමතු වී සිටිනවා නොවිය හැකිදැයි ස්වල්ප දෙනෙක් නිහඬව පුදුම වෙති,” යැයි ලී ලිවීය.

බැංකු භීතියක් හෝ වෛරස් වසංගතයක් නිසා නොව, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය තීරනයක් නිසා ඇති වූ අර්බුදයකට මුහුන දීම සඳහා ෆෙඩරල් සංචිතයට මෙම සතියේ මැදිහත් වීමට සිදුවනු ඇතැයි සැලකිය යුතු කනස්සල්ලක් පැවතුනි; ඒ හෝ මේ ආයෝජනයේ වටිනාකම පමනක් නොව, එක්සත් ජනපද ආන්ඩුවේ ස්ථාවරත්වය සහ ගෝලීය ධනවාදයේ පදනම ලෙස එක්සත් ජනපද ඩොලරයේ කාර්යභාරය ද ප්‍රශ්නයට ලක් ව තිබේ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කතුවැකියක් මෙසේ අනතුරු ඇඟවීය:

සන්ත්‍රාසයේ කාලවලදී, මෙම බැඳුම්කර සාමාන්‍යයෙන් ආයෝජකයින් ආකර්ෂනය කරයි. මෙවර එසේ කිරීමට ඔවුන් අසමත් වීමෙන් පිලිබිඹු වූයේ, එක්සත් ජනපද ආන්ඩුව තම නය ආපසු ගෙවනු ඇතැයි යන විශ්වාසය බිඳ වැටීමයි.

ප්‍රකෝටිපති ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සතු පුවත්පත, අගමැතිනි ලිස් ට්‍රස් බදු කප්පාදු සහ අධික නය ගැනීම් ඒකාබද්ධ කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් පසු, 2022 දී බ්‍රිතාන්‍ය ආන්ඩුව බිඳවැටීමේ “උපදේශ කතාව” උපුටා දැක්වී ය. මෙය විශ්‍රාම වැටුප් අරමුදල් බිඳවැටීමේ තර්ජනයක් ඇති කල මූල්‍ය භීතියක් නිර්මානය කල අතර ඇයට ඇගේ වැඩසටහන ඉල්ලා අස්කර ගැනීමට සිදු විය. සති කිහිපයකට පසු ඇයට සිය ධුරයෙන් ඉවත් වීමට පවා සිදුවිය.

පසුගිය සතියේ සිදුවීම් ධනේශ්වර රාජ්‍යයේ පන්ති පදනම් පිලිබඳ විනිවිද යන හෙලිදරව්වක් සපයයි. බැඳුම්කර වෙලඳපොලේ සහ ජේමි ඩිමොන්ගේ ඉල්ලීම් හමුවේ “පරාද කල නොහැකි” ට්‍රම්ප් බිඳ වැටුනි. වෝල් වීදියට ගමන් මග නිවැරදි කිරීමක් අවශ්‍ය වූ අතර එය සිදු විය. ට්‍රිලියන ගනනක වෙලඳපල පාඩු සහ භාන්ඩාගාර වෙලඳපොලේ කම්පන, තාවකාලික වුව ද, හදිසි පසුබෑමකට ලක් කිරීමට ප්‍රමානවත් විය.

ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් නැවැත්විය නොහැකි දේශපාලන දැවැන්තයෙකු ලෙස නිරූපනය කර ඇත. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බිඳ දැමීම, ඔහුගේ වෙලඳ යුද්ධ ප්‍රතිපත්ති, ඔහුගේ ෆැසිස්ට් ප්‍රකාශන හමුවේ එය අසරන භාවයට ආයාචනා කරයි. මන්ද ඒ? ඔවුන් එක ම පන්ති අවශ්‍යතා බෙදා ගන්නා බැවිනි. රිපබ්ලිකන් පක්ෂයට නොඅඩු ලෙස ඩිමොක්‍රටික් පක්ෂය මූල්‍ය කතිපයාධිකාරයට සේවය කරන අතර එහි ධනය හෝ ගෝලීය තත්වය ආරක්ෂා කරන ප්‍රතිපත්තිවලට කිසිදු අව්‍යාජ විරෝධයක් එල්ල නොකරනු ඇත.

වෝල් වීදියේ බලපෑම කෙරෙහි දැක් වූ සැලකිල්ලත්, අප්‍රේල් 5 වන දින රට පුරා පැතිර ගිය මහජන පෙලපාලි කෙරෙහි දැක් වූ දැඩි නොසලකා හැරීමත් අතර වෙනස මගින් මෙම යථාර්ථය තවත් පැහැදිලි විය. ට්‍රම්ප්ගේ ඒකාධිපතිවාදයට, ඔහුගේ යුද ධාවනයට, සංක්‍රමනිකයින්ට, කම්කරුවන්ට සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට ම එරෙහි ඔහුගේ ප්‍රහාරවලට එරෙහි ව මිලියන ගනනක් වීදි බැස්සෝ ය. වෙලඳපොලවල චලනයන් නිමක් නැති අදහස් දැක්වීම්වල මාතෘකාව වුව ද, මාධ්‍ය විසින් මහජන විරෝධතා සුලු, දේශීය ගැටලුවක් ලෙස පවා සලකනු ලැබූ අතර, ඒවා කිසි විටෙකත් සිදු නොවූවාක් මෙන් ඉක්මනින් ම අතුරුදහන් විය.

ට්‍රම්ප් පරිපාලනය එක් මිනිසෙකුගේ පුද්ගලික නිර්මානයක් නොව, ධනේශ්වර කතිපයාධිකාරයේ දේශපාලන මෙවලමකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම හුදෙක් ට්‍රම්ප්ගේ ඒකාධිපති ආවේගයන්ගේ ප්‍රතිඵලයක් නොව, කුඩා ප්‍රභූ පැලැන්තියක් විසින් සිදුකරන පන්ති පාලනයේ සමාජ යථාර්ථය පිලිබිඹු කරන, රාජ්‍යයේ සවිඥානික ප්‍රතිනිර්මානයකි.

පාලක පන්තිය තුල දරුනු ගැටුම් පවතී—නමුත් ඒවා කතිපයාධිකාරය තුල ගැටුම් වන අතර, එහි ආධිපත්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේද සහ නැගී එන සමාජ විරෝධය මර්දනය කරන්නේ කෙසේද යන්න පිලිබඳ ගැටුම් ය. ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවයෙන් නොවැලැක්විය හැකි නිගමනයක් ගලා එයි: කම්කරු පන්තිය පාලක පන්තියේ සියලු කොටස් වලින් බිඳී වෙන් වී, එය පෙරලා දැමීමේ සටන භාර ගත යුතු ය.

සැබෑ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ නව ආකෘති සහ ව්‍යුහයන්—ඒවා විප්ලවවාදී මහජන අරගලවල ගමන් මග තුල පැන නගින අතර කම්කරු පන්තියේ බහුතරය නියෝජනය කරයි—කම්කරු ආන්ඩුවක අඩිතාලම ලෙස වර්ධනය කල යුතු ය. එනම්, ආර්ථික ජීවිතයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා පදනම ලෙස, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවන් විසින් ගොඩ නඟනු ලබන, කම්කරුවන් සඳහා වූ, කම්කරුවන්ගේ ආන්ඩුවකි.

Loading