[මෙය 2025 අප්‍රේල් 3 වෙනිදා Trump’s “reciprocal tariffs” escalate economic war against the world යන මැයෙන් පල කෙරුන ලිපියේ සිංහල පරිවර්තනයයි.]
ඊයේ ජනාධිපති ට්‍රම්ප් විසින් එලිදක්වන ලද නව එක්සත් ජනපද තීරුබදු ක්‍රමය පැනවීම, ලෝකයේ සෙසු රටවලට එරෙහි ආර්ථික යුද්ධයක ප්‍රකාශයකි.
මෙම ආර්ථික යුද්ධයේ අරමුනු දෙකක් තිබේ. ආර්ථික වශයෙන් ගත් කල, එක්සත් ජනපදයේ නරක අතට හැරෙන වෙලඳ හා මූල්‍ය තත්ත්වය නංවාලීම සඳහා, අවසානයේ ඇමරිකානු සමාගම් සහ පාරිභෝගිකයින් විසින් ගෙවන ලද තීරුබදු වැඩි කිරීම් වලින් ඩොලර් බිලියන සිය ගනනක් උපයා ගැනීමට එය උත්සාහ කරන අතර, එහි ගෝලීය ආර්ථික ප්‍රතිවාදීන්, විශේෂයෙන් චීනය, දුර්වල කර තම වෙලඳ තත්ත්වය වැඩිදියුනු කිරීමට තැත් කරයි.
දෙවනු ව, විදේශීය සහ දේශීය අවි නිෂ්පාදන සමාගම්වලට ඇමරිකානු භූමිය තුල ඔවුන්ගේ නිෂ්පාදන මට්ටම ඉහල දැමීමට - එයින් වැඩි ප්‍රමානයක් හමුදාවට සැපයීම සඳහා අවශ්‍ය වේ- බල කිරීම සඳහා තීරුබදු භාවිතා කිරීමෙන් එක්සත් ජනපද හමුදා ධාරිතාව වැඩි දියුනු කිරීම ද එහි අරමුනයි.
නව තන්ත්‍රය යටතේ, ඇමරිකා එක්සත් ජනපදය රටවල් පරාසයක් මත “අන්‍යෝන්‍ය තීරුබදු” පනවනු ඇත. මෙම තීරුබදු තීරනය වන්නේ ඇමරිකානු අපනයන මත සැබවින්ම අය කරනු ලබන තීරුබදු අනුව නොවේ.
ඒ වෙනුවට, මෙහි බලපෑමට ලක්වන සෑමරටකට ම, අංකයක් වෙන් කෙරී ඇත. එම අංකය ගනන් බැලීමේදී සැලකිල්ලට ගන්නේ , එක්සත් ජනපද අපනයනයන් මත එම රටවල් අයකරනු ලබන තීරුබදු පමනක් නො ව, සහනාධාර, අභ්‍යන්තර රෙගුලාසි, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ජෛව-ආරක්ෂන පියවරයන් සහ එක්සත් ජනපදයට වෙනස් කොට සැලකීමේ දී තීරුබදු පැනවීම හා සමාන බලපෑමක් ඇති කරන බව එක්සත් ජනපදය සලකන මුදල් වර්ගයේ වටිනාකම ආදිය යි.
අය කිරීමට නියමිත තීරුබද්ද ගනනය කරනු ලැබ ඇත්තේ, දී ඇති අංකයෙන් බාගයක් ලෙස යි. ඒ අනුව, නව තන්ත්‍රයේ මූලික ඉලක්කයක් වන චීනයට, එක්සත් ජනපද ආර්ථික නිලධාරීන් විසින් වෙන් කෙරී ඇති අංකය 67 වන අතර, අලුත් තීරුබද්ද සියයට 34 කි. දැනට මත් චීන භාන්ඩ මත පනවා ඇති සියයට 20 ක තීරුබදුවලට අමතර ව මෙය ක්‍රියාත්මක වනු ඇත්තේ, සමස්ත තීරුබදු මට්ටම සියයට 54 කරා ගෙන එමිනි.
අප්‍රේල් 9දා සිට ක්‍රියාත්මක වන ලෙස සකසා ඇති, මෙම තීරුබදු වැඩි කිරීමේ ක්ෂනික බලපෑම්වලින් එකක් වනු ඇත්තේ, චීනය තුල නිෂ්පාදනය කෙරී ඇමරිකානු පාරිභෝගිකයින් විසින් මිලට ගනු ලැබෙන භාන්ඩ විශාල පරාසයක මිල ප්‍රධාන ලෙස වැඩි වීමකි.
එක්සත් ජනපදයෙන් “වංචා කිරීම” සඳහා පිහිටුවා ඇති සංවිධානයක් ලෙස ට්‍රම්ප්ගේ හෙලාදැකීමට බඳුන් ව ඇති යුරෝපා සංගමයට අංක 39 වෙන් කෙරී ඇත්තේ, පනවනු ලබන තීරුබදු අනුපාතය සියයට 20ක් කරමිනි.
චීනය මත පනවා ඇති වෙලඳ සම්බාධකවල බලපෑමෙන් බේරීමට උත්සාහ කරන බොහෝ සමාගම්වල මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති ගිනිකොනදිග ආසියානු රටවලට ඊටත් වඩා පහර වදිනු ඇත. තායිලන්තය මත තීරුබද්ද සියයට 36ක්, මැලේසියාව මත සියයට 24ක් සහ වියට්නාමය මත සියයට 46ක් වනු ඇත.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන, “විදේශයන්හි නිෂ්පාදනය කරන” මෝටර් රථ මත බලපැවැත්වෙන සියයට 25 ක තීරුබද්ද විසින් දැනටමත් පහර වැදී ඇති දකුනු කොරියාව මත තීරුබද්ද තවත් අමතර සියයට 25 න් ඉහල දමා ඇත. ලැයිස්තුව එලෙස ඉදිරියට යයි.
'අන්‍යෝන්‍ය තීරුබදු” වලට යටත් නොවන සියලුම රටවලට ඔවුන්ගේ අපනයන මත සියයට 10 ක තීරුබදු පැනවෙනු ඇත, එහි අරමුන වනුයේ සමාගම් ඔවුන්ගේ මෙහෙයුම් සමහරක් එක්සත් ජනපදය විසින් විශේෂයෙන් ඉලක්ක කර නොගත් රටවලට මාරු කිරීම වැලැක්වීමයි. දැන් ඔවුන්ට යා හැකි තැනක් ලෝකයේ නැත.
අවශේෂ ලෝකයට එරෙහි හුරුපුරුදු දෙඩවිල්ල කරමින්, ධවල මන්දිරයේ රෝස උයනේ දී, ට්‍රම්ප් නව තීරුබදු පද්ධතිය ඉදිරිපත් කිරීම ආරම්භ කලේ ය.
“දශක ගනනාවක් තිස්සේ, ආසන්න හා දුරස්ථ ජාතීන් වන මිතුරන් මෙන් ම හතුරන් ද එක ලෙසින්, අපේ රට කොල්ල කා, අපේ වස්තුව පැහැරගෙන, අපව දූෂනය කර හා අපේ දේවල් කඩා වඩා ගෙන ඇත. සමහර අවස්ථාවල දී හතුරන්ට වඩා මිතුරන් නරක වී ඇතැයි ඔහු ඉක්බිති ව සඳහන් කලේ ය.
“අනෙක් ජාතීන් බොහෝ විට අපේ වියදමින් පොහොසත් හා බලගතු වෙද්දී වසර ගනනාවක් පුරා, මහන්සි වී වැඩකරන ඇමරිකානු පුරවැසියන්ට පැත්තක වාඩි වී බලා සිටීමට බලකෙරුනි. එහෙත් දැන් අපේ සෞභාග්‍යමත් වීමේ වාරය යි.'
එහෙත්, තීරුබදු පියවරයන් එක්සත් ජනපදයට නව ස්වර්නමය යුගයක් උදා කිරීමට නියමිත ය යනුවෙන් ට්‍රම්ප් යලි යලිත් කල කියාපෑම් වනාහී ප්‍රබන්ධයකි. උද්ධමනය අඩු වන්නේ නැත. එම බදු, භාන්ඩ විශාල ගනනක මිල ගනන් ඉහල දමනු ඇත. උදාහරනයක් වශයෙන් මෝටර් රථ තීරුබදු නිසා ඒවායේ මිල ඩොලර් 3,000ත් 10,000ත් අතර ප්‍රමානයකින් ඉහල දැමීමට නියමිත ය.
රැකියා දහස් ගනනක් අහෝසි වනු ඇත. එක්සත් ජනපදය තුල නව කම්හල් ඇරඹුනත් ඒවා බොහෝ සෙයින් පිරිවැය කප්පාදු කිරීම සඳහා සැලසුම් කල කුඩා ශ්‍රමික පිරිසක් සහිත ස්වයංක්‍රීය කම්හල් වනු ඇත.
තව ද ඊනියා “තනිකර ම ඇමරිකාවේ නිෂ්පාදිත“ භාන්ඩ කියා දෙයක් නැත. එක්සත් ජනපදය තුල ඇතුලු ව, ලෝකයේ ඕනෑ ම මෝටර් රථයක්, සංකීර්න ජාත්‍යන්තර ශ්‍රම විභජනයක නිෂ්පාදිතයකි. උදාහරනයක් ලෙස, තනිකර “ඇමරිකානු“ මෝටර් රථයක් ලෙස සැලකෙන පතාක යෝධයෙකු වන ෆෝඩ් එෆ්-150 පිකප් රථයක්, ලෝකයේ විවිධ රටවලින් ආනයනය කෙරෙන කොටස් දහස් ගනනකින් සමන්විත වේ.
නව තීරුබදු පද්ධතිය, එක්සත් ජනපද ආන්ඩුවේ රාජ්‍ය නය අඩු කිරීම හා වෙලඳ ශේෂය පහල දැමීම යන දෙක ම ඉටු කර දෙන මැජික් ප්‍රතිකාරයක් යයි ට්‍රම්ප් කියා සිටී.
එහෙත්, “කැපිටල් ඉකොනොමික්ස්” නමැති සාර්ව ආර්ථික උපදේශක ආයතනයේ තක්සේරු කිරීමට අනුව, අපේක්ෂිත තීරුබදු ආදායමේ වැඩි වීම ඩොලර් බිලියන 800 ක් පමන ප්‍රමානයකි.
දැනට ඩොලර් ට්‍රිලියන 36 ආසන්නයේ පවතින හා නිතිපතා ඉහල යන එක්සත් ජනපද රාජ්‍ය නය සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලිය පමනක් ඩොලර් ට්‍රිලියනයක් වන අතර, එය වේගයෙන් එක්සත් ජනපදයේ අයවැයෙහි විශාලත ම අයිතමය බවට පත් වෙමින් තිබේ.
ට්‍රම්ප් පරිපාලනයෙහි වෙලඳ පිලිවෙත් අභ්‍යන්තර වශයෙන් පරස්පර විරෝධී වේ. එක් අතකින්, එක්සත් ජනපද ඩොලරයේ විනිමය වටිනාකම අඩු කිරීම (අවප්‍රමානය) මගින්, ලෝක වෙලඳපොලවල් තුල ඇමරිකානු භාන්ඩවල මිල අඩුකර, අපනයන ආදායම වැඩි කර ගැනීමට ඔවුන්ට අවශ්‍යය. එහෙත්, එක්සත් ජනපදයේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් ලෙස ට්‍රම්ප් සලකන, ලෝක සංචිත මුදල ලෙස ඩොලරයේ විනිමය අගය අඩු නොකර පවත්වාගෙන යාමටද ඔවුන්ට අවශ්‍යය. (මෙය අහිමි වීම යුද්ධයකින් පරාජය වීමට සමාන බව ඔහු කියා ඇත)
එමෙන් ම, 20 වන ශතවර්ෂය මුල් කාලයේ සිටි ජනාධිපතිවරයෙකු වූ විලියම් මැක්කින්ලි හා ඔහුගේ තීරුබදු පද්ධතිය ගැන ට්‍රම්ප් කොතරම් සිහිපත් කලත් ඉන් පසු එලඹි කාල පරිච්ඡේදයේ දී එක්සත් ජනපද ආර්ථිකය එහි ජාතික දේශසීමා ඉක්මවා වර්ධනය වී ඇති අතර, එය ප්‍රසාරනය වන ගෝලීය ආර්ථිකයක් මත රඳා පවතී.
දශක ගනනාවක් තිස්සේ ඉතා අඩු වර්ධනයක් දැනට මත් අත්දකිමින් සිටින ගෝලීය ආර්ථිකයට, මෙය තවත් ප්‍රධාන ප්‍රහාරයක් වනු ඇත. ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත මේ සතිය මුල දී පල කල ගනනය කිරීම්වලට අනුව, තථ්‍ය වසයෙන් ම අනෙක් රටවල් ට්‍රම්ප්ගේ බදු වලට ප්‍රතිචාර දැක්වීම නිසැක නිසා, ලෝක ආර්ථිකයට මෙයින් එල්ල වන සමස්ත ප්‍රහාරය ඩොලර් ට්‍රිලියන 1.4 මට්ටමේ විය හැකි ය.
මේ සියල්ලට ඉහලින්, ආන්ඩුවල සහ සංගතවල ගෝලීය නයෙහි වැඩිවීම නිසා, දැනට මත් පහසුවෙන් බිඳෙනසුලු තත්ත්වයක පවතින මූල්‍ය වෙලඳපොලවල් තුල, බරපතල සැක සංකා වැඩෙමින් පවතී.
ලෝකයේ විශාලතම වත්කම් කලමනාකරන සංගතය වන බ්ලැක් රොක්හි ප්‍රධාන විධායක ලැරී ෆින්ක්, මේ සතියේ දී කොටස් හිමියන්ට ලියූ ලිපියක් තුල දී මෙම කාරනය ප්‍රකාශයට පත් කලේ ය. “ආරක්ෂනවාදය ප්‍රබල ලෙස ආපසු පැමින තිබෙන“ බව ද තමා සමග සාකච්ඡා කල පුද්ගලයන් “මෑත මතකයට ගත හැකි වෙනත් කිසිදු කාලයකට වඩා ආර්ථිකය පිලිබඳ ව කනස්සලු සහගත වෙන“ බව ද ඔහු කීවේ ය.
එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර වෙලඳපොල ඇනහිටීම සිදු වූ 2008 ගෝලීය මූල්‍ය අර්බුදය සහ 2020 මාර්තු මූල්‍ය අර්බුදය ඇතුලත් වන බව මෑත මතකයන් තුල අඩංගු වන බව සටහන් කර ගත යුතු ය.
ජනාධිපති කාටර්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනය යටතේ 1977 දී සම්මත කරන ලද “ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත” යටතේ ට්‍රම්ප් මෙම දුරදිග යන තීරුබදු පද්ධතිය පනවමින් සිටී. ජාතික ආරක්ෂාව, විදෙස් පිලිවෙත හෝ ආර්ථිකයට බලපාමින් එක්සත් ජනපදයට පිටතින් “අසාමාන්‍ය හා අතිවිශේෂ” තර්ජනයක් පවතී නම්, ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එම පනත ඔහුට බලය ලබා දෙයි.
ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද ඊනියා “කරුනු ගොනුව”ට අනුව, ජාතික හදිසි තත්ත්වය විශාල හා අනවරත වෙලඳ හිඟයෙහි ප්‍රතිඵලයයි. 2024 දී එය ඩොලර් බිලියන 918ක් වූයේ, ඊට පෙර වසරට වඩා සියයට 17ක නැග්මක් සමගිනි.
නව තීරුබදු පද්ධතියෙහි කේන්ද්‍රීය ධාවක බලයක් වන්නේ, මිලිටරි සලකා බැලීම් බව ධවල මන්දිර ප්‍රකාශය පැහැදිලි කලේ ය. “එක්සත් ජනපදයට විශාලත ම වෙලඳ හිඟයන් පවතින” රටවලට එරෙහි ව “අන්‍යෝන්‍ය තීරුබදු” දිශාගත කරනු ලැබුව ද ලේඛනය තුල ආර්ථික කරුනු ඉස්මතු කරන සෑම අවස්ථාවක දී ම, ඒවා මිලිටරි ප්‍රශ්න සමග සම්බන්ධ කර ඇත.
වෙලඳ හවුල්කරුවන්ගේ “දුෂ්ට” ආර්ථික පිලිවෙත් හා භාවිතාවන්, රටේ මහජනයාට “සහ මිලිටරියට”උවමනා භාන්ඩ නිෂ්පාදනය සඳහා එක්සත් ජනපදයට ඇති හැකියාවට වල කැපුවේ “ජාතික ආරක්ෂාවට තර්ජනය කරමින්” යයි එම ප්‍රකාශය සඳහන් කලේ ය.
“‘ඇමරිකාවේ නිෂ්පාදිතයක්’ යන්න, හුදු ප්‍රචාරක වාක්‍යයක් නොව, මෙම පරිපාලනයෙහි ආර්ථික හා ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයි” යනුවෙන් එම ලියවිල්ල ප්‍රකාශ කලේ ය.
එක්සත් ජනපදයේ දැනට තිබෙන මිලිටරි භාන්ඩ තොග “ජාතික ආරක්ෂක අවශ්‍යතා සමග ගැලපීමට තරම් ඉහල මට්ටමක නොතිබෙන” අතර, ජෛව-නිෂ්පාදන, බැටරි හා ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික භාන්ඩ ජාතික ආරක්ෂක අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සංවර්ධනය කල යුතු ය.
විශේෂයෙන් ම චීනය සම්බන්ධයෙන් ගත් කල, චීනයේ තීරුබදු නොවන බාධක මත කේන්ද්‍රගත වීම විස්තර කරමින්, එම බාධක හුදෙක් එක්සත් ජනපදයේ තරඟකාරීත්වයට වල කපා තිබුනා පමනක් නො ව, තීරනාත්මක කර්මාන්ත මෙන් ම එදිනෙදා භාන්ඩ ද සඳහා විදේශයන් විසින් පාලනය කෙරෙන සැපයුම් දාම මත අපේ රඳා පැවැත්ම ඉහල දැමීම මගින් “එක්සත් ජනපද ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට” තර්ජනය ද කර තිබුනු බවද එය කියා සිටියේ ය.
ධවල මන්දිරයේ “කරුනු ගොනුව” ආර්ථික යුද්ධයෙහි කේන්ද්‍රීය අරටුව මෙසේ කැටි කොට දැක්වී ය.
“අද දින ‘ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත් පර්යාය’ අවශ්‍ය වෙනස්කම් කිරීමේ අධිකාරයක් ද සමන්විත කරගන්නේ, වෙලඳ හවුල්කරුවන් ප්‍රතිප්‍රහාර දෙන්නේ නම් තීරුබදු වැඩි කිරීමට ද ඔවුන් වෙලඳ බාධක නිවැරදි කිරීමට සැලකිය යුතු පියවරයන් ගන්නේ නමි තීරුබදු අඩු කිරීමට ද ජනාධිපති ට්‍රම්ප්ට ඉඩ ලබා දෙමින්, ආර්ථික හා ජාතික ආරක්ෂක කාරනා පිලිබඳ ව එක්සත් ජනපදය එකඟත්වයට පමුනුවමිනි” යි එම ප්‍රකාශය කීවේ ය.
වෙනත් වචනවලින් කියන්නේ නම්, “එක්කෝ අප සමග පෙලගැසෙනු; නැතහොත් අපි ඔබට පහර දෙන්නෙමු, ඔබ ඇඟිල්ලක් හෝ ඔසවන්නේ නම්, ප්‍රහාරය වඩා බරපතල වනු ඇත”.
ට්‍රම්ප් ගේ තීරුබදු හුදු යුද්ධය සඳහා සූදානම් වීමක් පමනක් නො වේ - ඒවා නිශ්චිත ව ම එසේ වන්නේ, (මීට පෙර කාලයක එය යුදමය ක්‍රියාවක් ලෙස සැලකිය හැකි ව තිබුනි) අද දින, යුද්ධය හා සාමය අතර තත්වයන්ගේ රේඛා බොඳ කරනු ලබන්නේ, ආර්ථික පෙරමුන මත යුද්ධය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රසාරනවාදී ධාවනයට ඍජු ව ගැටගසමිනි. කැනඩාව 51වැනි ප්‍රාන්තය බවට පත් කරගැනීමේ තර්ජනය, ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ගෙන යන මෙහෙයුම් සහ යේමනයේ හූති සටන්කරුවන් ට මතට වඩ වඩා බෝම්බ හෙලීම ඒවායින් කිහිපයකි.