“ජීවත් වෙන්න අර්ධ-කාලීන රැකියාවක් කරන්න ම ඕන“ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ප්‍රකාශ කරයි

ගැඹුරු වෙමින් පවත්නා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන ගොදුරක් බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පත් ව සිටිති.

ආහාර, විදුලිය සහ ගෘහමය ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි මිල අධික ලෙස ඉහල යාම හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තම දරුවන් වෙත කිසිදු මූල්‍යමය ආධාරයක් ලබා දීමට රටේ බහුතරයක් දෙමාපියන්ට හැකියාවක් නොමැත. සියලුම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර පහසුකම් ලබා නො දීම හා රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාරය ප්‍රමානවත් නොවීම මේ තත්වය වඩාත් නරක අතට හරවා තිබේ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හතරවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වන ෂාමිනි පසුගිය දා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමග කල සාකච්ඡාව රටපුරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යයාවන් පොදුවේ මුහුන දෙන මෙම ඉහිලුම් නො දෙන කොන්දේසි පිලිබඳව හෙලිදරව්වකි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හතරවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වන ෂාමිනි

ජීවන වියදම ඉහල යෑම පිලිබඳව අදහස් දක්වමින් ඇය මෙසේ කීවාය. “විශ්වවිද්‍යාලය ඇතුලේ මාලු කෑම එකක් රුපියල් 160 ක් වෙනවා. ගොඩක් ලමයි මාලු නැතිව 110 ට බත් එක කනවා. කැන්ටිමේ කෑම රසක් ගුනයක් නෑ. ආහාර විතරක් නෙමේ තව ගොඩක් දේවලට අපිට වියදම් යනවා. ඒ හැම දේම අම්මලාට කියන්න බෑ“.

පදිංචිය රත්නපුරයේ බැවින් ඇයට නේවාසිකාගාර හිමි නමුත්, දෙවන සහ තුන්වන වසර සඳහා දුරබැහැර සිට පැමිනෙන අයට පවා නේවාසික පහසුකම් හිමි නොවේ. “නේවාසිකාගාර ලැබුන ලමයින්ට මාසයකට අවම වශයෙන් රුපියල් 20000 ක් වියදම් වෙනවා. පිට බෝඩින්වල ඉන්න ලමයිට රුපියල් 25000 කටත් වැඩිය යනවා. දැන් බහුතරයක් දෙමාපියන්ගේ පඩිය ප්‍රමාවත්වන්නේ ගෙදර ආහාර වියදමට විතරයි. ඒ නිසා විශ්වවිද්‍යාල ලමයිට අර්ධ-කාලීන (part time) රැකියාවල යෙදෙන්න වෙලා තියෙනවා“ යයි ඇය විස්තර කලා ය.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් මුලුමනින් පාහේ ද ශිෂ්‍යාවන්ගෙන් අඩකට වැඩි පිරිසක් ද අමතර රැකියාවල නිරත වන බව ඇයගේ තක්සේරුවයි. “පිරිමි ලමයි පික්මී (ප්‍රවාහන සේවා) යනවා රෑ 2 විතර වෙනකන්, සමහර අය කෑම ඩිලිවරි කරනවා, ඔන්ලයින් රැකියා කරනවා, කේටරින් යනවා, ගෑනු ලමයි ආබරන විකුනනවා. අමතර පන්ති කරනවා, වෙලඳ ආයතනවල ප්‍රවර්ධන වැඩසටහන්වල පත්‍රිකා බෙදන්න යනවා මේවගේ ලැබෙන ඕනෑ ම දෙයක් කරන නැනට පත් වෙලා. මේ තත්වය අධ්‍යාපන කටයුතුවලට නරක විදිහට බලපාලා තියෙනවා. අපි ජීවත් වෙන්න විශාල වෙහෙසක් ගන්නවා. බඩගින්නෙත් ඉන්න වෙලාවල් තියෙනවා තවත් දුෂ්කරතා රාශියක් තියෙනවා ඒත් කියන්න කෙනෙක් නැහැ“.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල ගරා වැටෙන තත්වය පිලිබඳව ඇය මෙසේ විස්තර කලා ය: “විජේවර්ධන නේවාසිකාගාරයේ ලමයි තුන්දෙනෙකුට ඇඳන් දෙකයි තියෙන්නේ. ඒ නිසා ඇඳන් දෙක එකට එකතු කරල තුන්දෙනා නිදාගන්නවා. ඒ විතරක් නෙමේ නේවාසිකාගාරයේ අධ්‍යන කාමරයක් නැහැ. ප්ලග් පොයින්ට් අඩුයි. මේ විදිහට පාඩම් කරන්න අමාරුයි. ලෙඩදුක් බෝ වෙන එකත් වැඩියි“.

දර්ශනවාදය ඉගෙන ගන්නා ඇයගේ පර්යේෂන කටයුතු සඳහා ආචාර්යවරුන් සොයා ගැනීම දුෂ්කර වී තිබෙන බව ඇය ප්‍රකාශ කලා ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලේ නියෝගවල කොටසක් ලෙස පැන වූ ‘උපයන විට බද්දෙන්‘ පසු ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි, 12000 ක් පමන වූ ආචාර්යවරුන්ගෙන් 6000 ක් පමන වන අති දැවැන්ත සංඛ්‍යාවක් විදෙස් ගත වී හෝ වෘත්තිය අත හැර ගොස් හෝ තිබේ. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල බොහොමයක ඇතැම් පාඨමාලා මාර්ගගත ව සිදු කරන බව ඇය පෙන්වා දුන්නා ය.

තරුන විරැකියාව විශේෂයෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිලිබඳ ව ෂාමිනි බලයට පත් ආන්ඩුවලට චෝදනා කලා ය. “දර්ශනවාදය වගේ උපාධි පාඨමාලාවලට ආර්ථිකයේ හෝ අධ්‍යාපනය ක්ෂේත්‍රයේ හෝ රැකියා ඉල්ලුමක් නැති වීම ගැටලුවක්. අනෙක් උපාධිවලත් තත්වය මෙහෙමයි. රැකියාවක් සොයා ගන්න අමතර සුදුසුකම් රාශියක් හදාගන්න ඕනේ. ඒ සඳහාත් මුදල් විශාල වශයෙන් වියදම් වෙනවා“.

මෙම ඉහිලුම් නොදෙන අධ්‍යාපන හා ජීවන කොන්දේසිවලට බලපෑ හේතු කාරනා පිලිබඳ ව සාකච්ඡා කිරීමේ දී ඇගේ අදහස වූයේ පැවති ආන්ඩු විසින් සිදු කර ඇති “දූෂනය, නාස්තිය“ ඒ සඳහා බලපා ඇති බවයි. මේ අදහස, ලංකාවේ අර්බුදය ධනවාදයේ අර්බුදයේ කොටසක් ය යන කාරනා යට ගැසීම සඳහා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති නිලධරය විසින් ප්‍රවර්ධනය කරන ලද්දකි.

විදේශ නය ගෙවා ගත නො හැකි ව බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට සිදු වූ ලංකාවේ ආර්ථික අර්බුදය වනාහි, කෝවිඩ්-19 වසංගතය හා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලයන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ආරම්භ කල යුද්ධය මගින් ලොව පුරා නිෂ්පාදන සැපයුම් දාමයන් අඩපන වීම මගින් ගැඹුරු කල ලෝක පරිමාන ධනේෂ්වර ක්‍රමයේ අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි.

මහජනයා මත අර්බුදයේ බර පටවමින්, විදේශ නය හිමියන්ට නය ගෙවීම සහතික කර, මහ ව්‍යාපාරික ලාභ උත්පාදන ක්‍රියාවලියට බාධා නො වන පරිදි ආර්ථිකය පන ගැන්වීම සහතික කිරීම, 2023 වසරේ මුල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කල නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ එල්ලය විය.

ජාමූඅ සමග එහි කොන්දේසි පිලිබඳ ව සාකච්ඡා කර මහජනයාට සහන ගෙන දෙන බවට බොරු පොරොන්දු දෙමින් බලයට පත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව දැන් අකුරක් නෑර ක්‍රියාවට දමන්නේ එම වැඩපිලිවෙලයි.

එම කරුනු පැහැදිලි කිරීමෙන් පසු ෂාමිනි මෙසේ ප්‍රකාශ කලා ය. “ සාමාන්‍යයෙන් කියනවා එක මිනිහෙක් රුපියල් ලක්ෂ ගනනක් ජාමූඅ නයයි කියලා. නමුත් අපි කිසිම නයක් අරගෙන නැහැ. ධනපති ක්‍රමය තියෙන්නෙ ව්‍යාපාරික ලාභය ආරක්ෂා කර දීම සඳහා. දේශපාලනයේ දී කෙරෙන්නේ ඒ ලාභය ආරක්ෂා කර දීම. එහෙම නැතුව අපේ අවශ්‍යතා සඳහා නොවෙයි. අපි නය ගෙවීමට විරුද්ධ විය යුතුයි“.

පසුගිය මැතිවරනවල දී ජාජබ ට ඡන්දය පාවිච්චි කල ඇය එම තීන්දුව කරා එලඹියේ කලින් පැවති ආන්ඩු මහජනයාගේ ප්‍රශ්න නො විසඳීම හේතුවෙන් බව සඳහන් කලා ය. මේ ආන්ඩුවේ බහුතරයක් පෙර විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල (අවිශිමයේ) ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර තිබීම හේතුවෙන් මහජන ගැටලු විසඳනු ඇතැයි යන යන වැරදි විශ්වාසය ඇයට ද පැවතුනි.

1960 ගනන්වල ආරම්භ වූ ජවිපෙ පදනම් වූයේ කස්ත්‍රෝවාදය, මාවෝවාදය බඳු ප්‍රති-මාක්ස්වාදී දෘෂ්ටිවාදයන් හා සිංහල ස්වෝත්තමවාදය කලවම් කරගත් සුලු ධනේශ්වර ජාතිකවාදී සංවිධානයක් ලෙසයි. ජවිපෙ, සිංහල දෙමල කම්කරු පන්තිය භේද කිරීම සඳහා කොලඹ ආන්ඩු විසින් අවුලුවාලු වර්ගවාදී යුද්ධයට ආරම්භයේ පටන් සහයෝගය දී තිබේ. ජවිපෙ යටතේ පාලනය වන වෘත්තීය සමිති මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) කම්කරුවන්ගේ තරුනයන්ගේ අරගල “එල්ටීටිඊ යට සහාය දෙන“ ඒවා ලෙස හෙලා දුටු අතර ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට විවෘත ව උද්ඝෝෂනයේ යෙදුනි.

සමසමාජ පක්ෂයේ සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ පාවාදීම් හේතුවෙන් එම පක්ෂ කෙරෙහි කම්නරුවන් සහ ශිෂ්‍යයන් අතර වැඩුනු කෝපය ගසා කමින්, 1970 ගනන්වල සිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල බලය තහවුරු කරගත් ජවිපෙ ශිෂ්‍ය නායකයෝ, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව “මව්බිම“ රැකීමේ නමින් කම්කරු පන්තියට එරෙහි ව ගෙන ගිය සිංහල ස්වෝතමවාදී ෆැසිස්ට් ව්‍යාපාරයේ පෙරමුන ගත්හ.

ජවිපෙ දේශපාලනය හා පන්ති ස්වභාවය සම්බන්ධ ව සිදු කල සාකච්ඡාවට උනන්දුවෙන් සහභාගි වූ ඇය මෙසේ ප්‍රකාශ කලා ය. “මම ජවිපෙ ඉතිහාසය, එහි දේශපාලනය හරියට දන්නේ නැහැ. ඡන්දදායකයෝ අසරනයි මේක හැර වෙන විකල්පයක් තිබුනේ නැහැ. ආන්ඩුව බොරු කිව්වා තමයි. දැන් ජාමූඅ පොරොන්දු ඉටු කරනවා. මිනිස්සු කට පියාගෙන ඉන්නේ මොකක්ද වෙන්නේ කියලා බලා ගෙන. තවත් ජීවන වියදම වැඩිකරොත් ඒක ඉවසන්න බැහැ“

දැනටමත් ආන්ඩුව කම්කරු පන්තියේ අරගලවලට, රැකියා විරහිතයන්ගේ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතාවන්ට එරෙහි ව මර්දනය දියත් කිරීම “බරපතල කාරනයක්“ ලෙස ගත යුතු යයි ඇය කියා සිටියා ය. වෘත්තීය සමිතිවල, පෙසප හා අවිශිබමයේ ධනපති ගැති පිලිවෙත සම්බන්ධ ව ද සසජාතශි සාකච්ඡාව ඉදිරියට ගෙන ගියේ ය.

පෙසප, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනීම “ජනතා අපේක්ෂාවන්“ ප්‍රකාශයට පත් වීමක් ලෙස ව්‍යාජ ව ගුනාංගීකරනය කර ඇත. ඒ අනුව, සාම්ප්‍රදායික පක්ෂවලට බලයට ඒමට ඉඩ නොතබා, ජවිපෙ/ජාජබ ආන්ඩුව රැක ගන්නා අතරේ එයට පීඩනය යොදා හරි පාරට ගත හැකි යයි මිත්‍යාවන් පෙසප වගා දිගා කරයි. පෙසප මෙලෙස කතා කරන්නේ, ජාමූඅ හි කොන්දේසි අකුරට ම ක්‍රියාත්මක කරන බවට යලි යලිත් සපතවන ආන්ඩුවක් සම්බන්ධයෙනි.

අවිශිබමය, “අධ්‍යාපනය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ක් වත් වෙන් කරනු, ශිෂ්‍යාධාරය අවම වශයෙන් රුපියල් 10000 ක් කරනු සහ පාසල් උපකරන මත පනවා ඇති වැට් බදු හෝ ඉවත් කරනු“ යන ඉල්ලීම් මුල් කර ගෙන, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ 2025 අයවැයට පෙර උද්ඝෝෂනයේ නිරත විය. එය ශිෂ්‍ය ඉල්ලීම් හකුලා, ආන්ඩුවට සහන දෙන සහ ජාමූඅ ප්‍රහාරවලට සිසුන් යට කිරීමේ පිලිවෙතකි.

මෙවර අය-වැයෙන් මාසික ශිෂ්‍යාධාරය රුපියල් 2500 කින්, එනම් රුපියල් 7500 දක්වා සොච්චමකින් වැඩි කර තිබේ. ඒ සම්බන්ධව ඇය මෙසේ ප්‍රකාශ කලා ය. “වැඩිවෙලා තියෙන වියදම් එක්ක බලද්දි රුපියල් 7500ක ශිෂ්‍යධාරය ජීවත් වීමට කිසිසේත් ම ප්‍රමානවත් නැහැ. මාසෙකට ලමයෙකුට 20000 ක් ලැබුනොත් යන්තම් ජීවත් වෙන්න පුලුවන්. ඔබ කියන විදියට, අධ්‍යාපන ද්‍රව්‍යවල වැට් බද්ධවත් ඉවත් කරන්න, අධ්‍යාපනයට සියයට 3 ක්වත් වෙන් කරන්න කියලා උද්ඝෝෂනයේ යෙදීම ආන්ඩුවට සහන දීමක්. නමුත් ඒ ටිකවත් කරලා නෑ. මේ ඉල්ලීම්වලින් ම පේන්නේ අවිශිබමය, වෘත්තීය සමිති ආන්ඩුවට පක්ෂ බවයි“.

ධනපති ක්‍රමයට බලපෑම් දැමීම මගින් කම්කරුවන්ගේ තරුනයන්ගේ කිසිදු ඉල්ලීමක් දිනාගත නො හැකිවීම ලෝක පරිමාන ව ධනපති ක්‍රමය මුහුන දී ඇති අර්බුදයේ ප්‍රතිඵලයක් බව ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු ගෙන යන මංමුලා සහගත පිලිවෙත පාදක කොට ගෙන සසජාතශි පැහැදිලි කලේ ය.

නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය හා ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ධනේෂ්වර ජාතික රාජ්‍ය පද්ධතිය මානව වර්ගයා ඉදිරි සංවර්ධනයට බාධක ලෙස පිහිටා තිබේ. ධනපති ක්‍රමය යටතේ තරුනයන්ට ලබා දිය හැක්කේ ලෝක යුද්ධය, දැවැන්ත පාරිසරික විනාශය, වසංගතය හා අනාගතය පිලිබඳ විශ්වාස භංගය පමනි.

ජාත්‍යන්තර සමාජවාදය තීරනාත්මක සාධකය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස උගන්වා බලමුලු ගැන්වීමයි. කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය කිරීමට සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ගෙනයන සටන සමග ඒකාබද්ධ වන්නැයි කල කැඳවුමට ඇය මෙසේ ප්‍රතිචාර දැක්වූවා ය.

“මේ ලෝකේ වඩා බලගතු පංතිය කම්කරු පන්තිය. ධනපති පන්තිය යැපෙන්නේ කම්කරුවන් වැඩ කලොත් විතරයි. කම්කරුවන්ට තමන්ගේ ශක්තිය ගැන අවබෝධයක් නැහැ. ඒ නිසයි සූරා කෑම ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙලා තියෙන්නේ. පාසල් අධ්‍යාපනයේ පටන්ම මේ සත්‍යය විකෘති කරලා තියෙනවා. මම සමාජවාදය ගැන කෙටියෙන් හෝ ඉගෙන ගත්තේ උසස් පෙලින්. මෙම සාකච්ඡාව එය වැඩිදුර හැදෑරීමට මාව දැඩි ලෙස උනන්දු කලා“.

Loading