වැඩ තහනමට ලක්ව සිටි ලංවිම සේවකයෝ සියලු චෝදනා වලින් නිදහස් කෙරෙති

විදුලිබල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි ගේ නියෝගයක් මත පුද්ගලිකරනයට එරෙහි උද්ඝෝෂනයකට සහභාගිවීම හේතුවෙන් වැඩ තහනමට ලක් කර සිටි ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම) කම්කරුවන් 62 ඔවුන්ට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට, නිදහස් කොට නොගෙවූ හිඟ වැටුප් සහිතව, 2024 දෙසම්බර් 24 වෙනිදා සිට, පෙර සේවා ස්ථානවල ම යලි සේවයේ පිහිටුවීමට ලංවිම බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

පෞද්ගලීකරනයට එරෙහිව ලංකා විදුලිබල මන්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොලඹදී විරෝධතාවයක නිරත වේ. [Photo: WSWS]

මෙය, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ කම්කරු හිතැති සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස හුවා දැක්වීමට ලංවිම වෘත්තීය සමිති නිලධරය, විශේෂයෙන් ම ජවිපෙ විසින් පාලනය කරනු ලබන ලංකා විදුලි සේවක සංගමයේ (ලවිසේස) නායකයෝ උත්සාහ කරති. එහෙත් කිසිදු කම්කරුවෙකු එවන් මිත්‍යාවක් ඇතිකර නොගත යුතුය.

රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් මෙම කම්කරුවන් ගේ වැඩ තහනම් කෙරුනේ ලංවිම පුද්ගලීකරනයට එරෙහිව පසුගිය ජනවාරි 3-5 තෙදින තුල වර්ජනයට සහභාගිවීම හේතුකොට ගෙනය. ලංවිම කම්කරුවෝ දසදහස් ගනනක් මෙම වර්ජනයට සහභාගී වූහ. මෙම කම්කරුවන් 62 වැඩ තහනම, පුද්ගලීකරනය ඇතුලු ව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව වර්ධනය වෙමින් පැවති අරගල රුදුරු ලෙස මර්දනය කිරීමේ කොටසකි.

උද්ඝෝෂනය පැවති දිනවල මුදල් ගෙවීමේ කවුලු වසා තැබීම මගින් “බරපතල විෂමාචාර” ක්‍රියාවක නිරතවීම, විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ තතු තුල සේවයට නො පැමිනීම හා මුදල් අයකර ගැනීම පැහැරහැරීම මගින් ලංවිම ට මුල්‍ය අලාබයක් ඇති කිරීම ඔවුන්ට එරෙහිව නගා තිබූ මූලික චෝදනාවන් විය.

මෙම දඩයමට විරුද්ධව ලංවිම සහ අවශේෂ කම්කරුවන් ගේ විරෝධය වැඩුනු තතු තුල පසුව ඔවුන් සේවයේ පිහිටවනු ලැබුව ද, එසේ කරනු ලැබුවේ අභ්‍යන්තර විනය පරීක්ෂනයකින් පසු ඔවුන්ගේ රැකියාවන් සම්බන්ධ නිගමන වලට එලැඹීමේ කොන්දේසියට යටත්ව ය. ඔවුහු සියලු දෙනාම පාහේ වෙනත් සේවා ස්ථාන වලට මාරු කරනු ලැබූහ.

ලංවිම කම්කරුවන් මෙම දඩයමට එරෙහිව සටන් කිරීමට ඇති සූදානම සහ අධිෂ්ඨානය පෙන්නුම් කල නමුත් ඒ සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ (ඒවෘසස) නායකයෝ මුලුමනින් ම ප්‍රතික්ෂේප කලහ. ඒවෘසස වනාහි, ලංකා විදුලි සේවක සංගමය (ලවිසේස), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, පාරිභෝගික සම්බන්ධීකරන නිලධාරි සංගමය, ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තීය සමිති දුසිම් දෙකක පමන එකතුවකි. මෙහි මුදුනත අරක්ගෙන සිටින්නේ ජවිපෙ විසින් පාලනය කරන ලංකා විදුලි සේවක සංගමයයි.

දඩයමට එරෙහිව අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනුකරගත් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනයවීම වැලැක්වීමට ඒවෘසස හිතාමතාම වැඩ කලේ ය. කම්කරු පන්තියේ එවන් ඒකාබද්ධ අරගලයක් මගින්, ඔවුන්ගේ පන්ති විඥානය ද, එහි කොටසක් ලෙස, තම පන්තිය සතු දැවැන්ත ශක්තිය පිලිබඳ විශ්වාසය ද වර්ධනය කෙරෙනු ඇත. එය, ලංවිම වැඩ තහනම ඇතුලු ප්‍රහාරයන්ගේ මූලය වන ගෝලීය ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ පදනමක් වනු ඇත. ධනපති ක්‍රමයට හිසේ සිට දෙපතුල දක්වා බැඳීගත් සමිති නිලධරය ඒ වෙනුවට කලේ, වික්‍රමසිංහ ආන්ඩුව, ධනපති දේශපාලන පක්ෂ සහ ධනේශ්වර අධිකරනය වෙත බඩගෑමට ලංවිම කම්කරුවන් තල්ලු කිරීමයි.

වැඩ තහනමට විරුද්ධව අධිකරනයේ නඩුවක් පැවරූ ඒවෘසස, ටෙලිකොම්, තැපැල්, දුම්රිය සහ බැංකු ඇතුලු රාජ්‍ය අංශයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් සමග එක්ව වැඩ තහනම් කල සේවකයන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා වික්‍රමසිංහ ආන්ඩුවට බලකිරීමේ විසිරුනු සහ නිස්සාර උද්ඝෝෂන කිහිපයක් සංවිධානය කිරීම සහ විදුලිබල ඇමති කාංචන විජේසේකරට පෙත්සමක් භාර දුන්හ. එමගින් ඔවුහු දඩයමට එරෙහිව සටන් කිරීම සඳහා ලංවිම කම්කරුවන් තුල පැවති සටන්කාමිත්වය මොටකර දියකර දැමූහ.

ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට පත් වූ පසු කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳන බවත් එතෙක් ඉවසන ලෙසත් ලවිස ප්‍රධාන ලේකම් සහ ජවිපෙ මධ්‍යම කාරක සභික රන්ජන් ජයලාල් 2024 පෙබරවාරි 20 වෙනිදා පැවති විරෝධතා උද්ඝෝෂනයක දී පැවසිය. “මේ රටේ ජනතාව රටට ජනතා ජයග්‍රහනයක් ගෙන එන” බවත් “ජනාධිපතිවරනයේ දී ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට පත්වන තුරු මාස හතක් ඉවසන” ලෙසත් ඔහු එහි දී සඳහන් කලේ ය.

පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ විරෝධය පුලුල්ව වර්ධනය වන තතු තුල, ජනාධිපතිවරනය ට මාස තුනකට පෙර කම්කරු පන්තියේ සියලු අරගල නතර කිරීමට ජවිපෙ සහ එහි වෘත්තීය සමිති පියවර ගත්හ. රට “බරපතල අර්බුදයකට” මුහුන දී ඇති හෙයින් “මහජනයා පීඩාවට පත්කරන” වර්ජන නොකල යුතු බවත් ඒ වෙනුවට එම විරෝධතා ජවිපෙ/ජාජබ මැතිවරන උද්ඝෝෂනය සමග බද්ධ කල යුතු බවත් තම ආන්ඩුවක් බලයට පත්වූ පසු කම්කරුවන්ගේ සියලු ප්‍රශ්න විසඳන බවත් ජවිපෙ සහ එහි සමිති නායකයෝ කියා සිටියහ.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු අරගල මධ්‍යස්ථානය (කඅම) වෘත්තීය සමිති නිලධරය සමග පෙල ගැසෙමින් වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීම සහ බොරු ගර්ජනා මගින් ලංවිම කම්කරුවන්ට එරෙහි දඩයම් පරාජය කල හැකිය යන මිත්‍යාව වගා දිගා කරමින් ඔවුන් ව දේශපාලනිකව අවමංගත කිරීමේ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේ ය.

වැඩ තහනමට ලක්ව සිටි කම්කරුවන් වෙනුවෙන් ලොකු අරගලයක් කරන බව මවාපෑම පිනිස ලංවිම සහ රාජ්‍ය අංශයේ සමිති නායකයන් 2024 ජනවාරි 22 කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ හුදු මාධ්‍ය සංදර්ශනයකදී කතා කල කඅම නායක දුමින්ද නාගමුව විදුලිබල ඇමති සහ ආන්ඩුව ලංවිම කම්කරුවන්ට එරෙහි මර්දනය ඉවත් කර නොගතහොත් “වෘත්තීය සමිති ව්‍යාපාරය දැඩි ක්‍රියාවන් ට එලැඹෙන” බවට තර්ජනය කලේ ය. එහෙත් එය හුදෙක් ම බොරු තර්ජනයක් පමනක් ම විය.

ලංවිම පුද්ගලීකරනයට විරුද්ධව දිවිහිමියෙන් සටන් කරන බවට කම්කරුවන් ඉදිරියේ සපත කල ලංවිම සමිති නායකයෝ මැයි මාසයේ පුද්ගලීකරන පනත සම්මතවීමෙන් පසුව ඇමති කාංචන විජේසේකර සහ ලංවිම බලධාරින් සමග වටමේස සාකච්ඡාවන්ට සහභාගී වෙමින් ලංවිම කැබලිකර පුද්ගලීකරනය කිරීම සහ සේවකයන් දහස් ගනනක ගේ රැකියා කප්පාදු කිරීමේ සැලසුම් ක්‍රියාවට දැමීම ගැන සාකච්ඡා කලහ.

ජවිපෙ සහ සමිති නායකයන්ගේ මෙම ද්‍රෝහී පිලිවෙතට ප්‍රතිවිරුද්ධව ලංවිම කම්කරු දඩයමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමට සටන් කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එය විසින් මඟ පෙන්වනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) පමනි.

2024 ජනවාරි 15 දා, “ආන්ඩුව ලංකා විදුලිබල මන්ඩලයේ සේවකයින්ට එරෙහිව මුදාහැර ඇති දඩයමට විරුද්ධව නැගී සිටිමු!” මැයෙන් කක්‍රිකසා නිකුත් කල ප්‍රකාශය: ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමේ “එක්සත් ක්‍රියාමාර්ගයක් සංවිධානය කිරීම” සඳහා තම “පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරෙන” ලෙස ලංවිම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි අතර “රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම කම්කරුවන් 'අපගේ ලංවිම සගයන් දඩයම් නොකරනු! අත්‍යවශ්‍ය සේවා පනත ඉවත්කරනු!' යන ඉල්ලීම් මත සහයෝගීතා ක්‍රියාමාර්ග සූදානම් කල යුතු” බවත් අවධාරනය කලේ ය.

ජනවාරි 23 කක්‍රිකසා විසින් “විදුලිබල කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ දඩයමට විරුද්ධ වෙනු! ප්‍රති ප්‍රහාරයක් සූදානම් කරමු!” මැයෙන් නිකුත් කල තවත් ප්‍රකාශයකින් “ලංවිම සහෝදර සහෝදරියන්ට එල්ල වූ ප්‍රහාරය අප සැමට එල්ල කල ප්‍රහාරයකි! …තම ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා මහ වැඩවර්ජනයක් ඇතුලු ස්වාධීන පන්ති ක්‍රියා සූදානම් කර සංවිධානය කරන” ලෙස කම්කරු පන්තියට කැඳවුම් කලේය. “ලංවිම සේවකයින්ට එරෙහි දඩයමට විරුද්ධ වීම, සියලු පන්ති සහෝදර සහෝදරියන් රැලි කර ගැනීමේ කේන්ද්‍රයක් විය යුතු” බව ප්‍රකාශය අවධාරනය කලේ ය.

කක්‍රිකසා පෙබරවාරි 1 වෙනිදා කොලඹ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වමින් ලංවිම කම්කරු දඩයමට සහ ජාමූඅ නියෝග යටතේ වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන පුද්ගලීකරනය ඇතුලු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලය සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කරනු ලැබීය. මෙම සාකච්ඡාවට සෞඛ්‍ය, වතු, වරාය, ඇඟලුම් හා අනධ්‍යයන කම්‍කරුවන් සහ ගුරුවරු හා තරුනයනයෝ ද සම්බන්ධ වූහ.

ජවිපෙ සහ සමිති නිලධරය කලේ එවන් අරගලයක් සංවිධානය කිරීම වලක්වාලීමයි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ කම්කරු පන්තියේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇතැයි හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කෙරෙනු ඇතැයි කම්කරුවන් කිසිදු මිත්‍යාවක් තබා නොගත යුතුය.

ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 21පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමන බවට සහතික විය. ඔහු එහි දී මෙසේ සඳහන් කලේ ය: යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම හොඳ ද නරක ද, වාසිදායක ද අවාසි ද යන්න විවාද කිරීමෙන් කිසිදු අරමුනක් ඉටු නොවේ.'

එනම් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය /පුද්ගලීකරනය සහ රැකියා කප්පාදුව ඇතුලු ප්‍රහාරයන් රුදුරු ලෙස කම්කරු පන්තිය මතට කඩාපාත් කෙරෙනු ඇත. ඊට එරෙහිව මතුවන කවර හෝ විරෝධයක් නිර්දය ලෙස මර්දනය කිරීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව පසුබට නොවේ.

තමන් රාජ්‍ය ගුරුසේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා දෙසැම්බර් 2 අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනය කල පාසල් සංවර්ධන නිලධාරීන්ට එල්ල කල මෘග පොලිස් ප්‍රහාරය සහ හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව මුදාහැර ඇති දඩයම, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ක්ෂමා විරහිතව මැඩලන බවට ආන්ඩුව කල අනතුරු ඇඟවීමකි.

ධනපති ආන්ඩුව, ධනපති දේශපාලන පක්ෂ සහ ධනපති අධිකරනය පිටුපස බඩගෑමේ වෘත්තීය සමිති නායකයන් ගේ නිවට පිලිවෙත කම්කරුවන් ප්‍රතික්ෂේප කලයුතුය. රාජ්‍ය දඩයමට එරෙහිව සහ තම අයිතීන් සඳහා සටන් කිරීමේ දී කම්කරු පන්තියට ස්වාධීන පන්ති පිලිවෙතක් ඇත. එනම් ධනපති පක්ෂ සහ ඒවා සමග පෙල ගැසුනු වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව ගොඩනගා ගන්නා ක්‍රියාකාරී කමිටු විසින් කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීමයි. එවන් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් තුලින් සිය ජාත්‍යන්තර පන්ති සහෝදර/සහෝදරියන් සමග එකමුතුව තහවුරුකර ගැනීමට ශ්‍රී ලංකාවේ කම්කරුවෝ පියවර ගත යුත්තාහ.

Loading