චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් තුල ඉරානයේ තෙල් හා ගෑස්වල භූමිකාව

[මෙය The role of Iran’s oil and gas in US war plans against China මැයෙන් 2024 ඔක්තෝබර් 8දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

එක්සත් ජනපදය සහ ඊස්රායලය සිටින්නේ ඉරානයට එරෙහි යුද්ධයේ මුවවිට ය. තමන්ට යුද්ධය “තීව්‍ර කිරීම” අවශ්‍ය නැතැයි බයිඩන් පරිපාලනය ප්‍රසිද්ධියේ සඳහන් කර ඇති නමුත්, නෙතන්යාහු කරන්නේ කුමක් ද යන්න නො තකා එය ඊස්රායලයට සහයෝගය දෙන බව පැහැදිලි කර තිබේ. ගාසා තීරය සහ ලෙබනනය මතට හෙලන ලද සෑම බෝම්බයක් ම එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබ, බයිඩන්-හැරිස් පරිපාලනය විසින් ඊස්රායලයට නොමිලේ දෙනු ලැබී ය.

පර්සියානු බොක්කෝ උතුරු වෙරලේ පිහිටි ඉරානයේ අසලොවුයේ නමැති දකුනු පාර්ස් ගෑස් නිධියේ ස්වාභාවික වායු පිරිපහදු කරන ස්ථානයක්. 2015 නොවැම්බර් 19 [AP Photo/Ebrahim Noroozi]

සිය තනතුරෙන් ඉවත් වෙද්දී බහුවිධ අපරාධ චෝදනාවන්ට මුහුන දෙන නෙතන්යාහුට, මෙම මොහොත ඉදිරිපත් කරන්නේ ඊස්රායල පාලක පන්තියේ දීර්ඝ-කාලීන, විකටරූපී අභිලාෂයන් යථාවත් කරගැනීමට පවතින අවස්ථාවකි: එනම්, යුද්ධය හරහා ඉරාන පාලන තන්ත්‍රය විනාශ කිරීම යි. ගෙවී ගිය සති අන්තයේ දී ද ෆයිනෑන්ෂල් ටයිම්ස් අනතුරු ඇඟ වූ පරිදි “ඉරාන පාලන තන්ත්‍රය පෙරලා දැමීමට දරන ඊස්රායල ප්‍රයත්නයක හැකියාවන් මුලුමනින් ම නො තකා හල නො හැක.” පසුගිය සතියේ දී, “අවසානයේ ඉරානය නිදහස් වන විට -එම මොහොත මහජනයා හිතනවාට වඩා ඉක්මනින් පැමිනේවි- සෑම දෙයක් ම වෙනස් වනු ඇත” යි නෙතන්යාහු ප්‍රකාශ කල බව එම පුවත්පත සටහන් කලේ ය.

ඇමරිකානු පාලක පන්තියේ ට්‍රම්ප් කන්ඩායම එවන් යුද්ධයකට එහි පූර්න පිටුබලය ප්‍රකාශ කර ඇත. ට්‍රම්ප්ගේ බෑනනුවන් හා හිටපු මැද පෙරදිග උපදේශක ජාරෙඩ් කුෂ්නර්, දීර්ඝ එක්ස් (ට්විටර්) සටහනක් ලීවේ ඊස්රායලය හා එක්සත් ජනපදය විසින් ඉරාන පාලන තන්ත්‍රය පෙරලා දැමීම වෙනුවෙන් තර්ක කරමිනි. “ඉරානය දැන් මුලුමනින් ම හෙලිදරවු වේ. ...තර්ජනය ශූන්‍ය කරනු වස් මෙම අවස්ථාවේ සම්පූර්න වාසිය ගැනීමට අසමත් වීම වගකීම් විරහිත කමකි” යි ඔහු සඳහන් කලේ ය.

සර්පිලාකාර ව වර්ධනය වන තත්ත්වය පිලිබඳ ව පාලක පන්තියේ අනෙකුත් කන්ඩායම් උත්සුකයන් පලකර ඇති නමුත්, ඔවුන්ගේ ආස්ථානයේ -ඊස්රායලයේ ක්‍රියාවන්ට කොන්දේසි විරහිත සහයෝගය දීම - තර්කනය, ඔවුන් ව ඉරානය සමග යුද්ධයේ එම මාවතට ම තල්ලු කරයි. ඉරාන පාලන තන්ත්‍රය පෙරලා දමන්නේ කෙසේද යන්න ගැන ඩිමොක්‍රටිකයන්ට ට්‍රම්ප් සමග උපායාත්මක මතභේද තිබිය හැකි නමුත්, එසේ කිරීමේ භව්‍යතාව ගැන දෙගොල්ලෝ ම කෙල හලති.

ඉරාන පාලන තන්ත්‍රය පෙරලා දැමීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයට භූ-දේශපාලනික අරමුනක අවසානය වන අතර ම, එය එහි ප්‍රධාන ප්‍රතිමල්ලවයා වන චීනයට එරෙහි ආර්ථික හා මිලිටරි මුනගැටුමේ තීරනාත්මක මුරගලක් ද වෙයි. සම්පත්වලින් පොහොසත් මැද පෙරදිග පාලනය කිරීම -සහ අයතුල්ලාගේ පාලනය අවසන් කිරීම- චීනය සමග යුද්ධයක දී ඔවුන්ගේ බලය හා නම්‍යශීලීත්වය සැලකිය යුතු ලෙස ඉහල දමනු ඇතැයි ඔවුන් දන්නා නිසා, ඇමරිකානු පාලක පන්තියේ සියලු කන්ඩායම් ඊස්රායලයට කොන්දේසි විරහිත ව සහයෝගය දෙති.

ඉරානයේ හයිඩ්‍රොකාබනවල වැදගත් කම

ඉරානය වනාහි ස්පාඤ්ඤය, යුක්‍රේනය හා ප්‍රන්සය යන රටවල් ඒකාබද්ධ ව ගත්විට පවතින ප්‍රමානයේ විශාල රටකි. පුද්ගලයින් මිලියන අසූනවයක් එහි ජීවත් වෙති. එක්සත් ජනපදය 2003 දී ආක්‍රමනය කල එහි අසල්වැසියා වන ඉරාකය සමග සන්සන්දනය කරන විට, ඉරානය සතුව මිනිසුන් හතර ගුනයට ආසන්න ප්‍රමානයක් ද වඩා දියුනු මිලිටරියක් හා ආර්ථිකයක් ද ඇත.

20වැනි ශතවර්ෂයේ පලමු අර්ධය තුල ඉරානයේ තෙල් කර්මාන්තය මත බ්‍රිතාන්‍යය පවත්වාගෙන ගිය පාලනය, එහි තෙල් කර්මාන්තය ජනසතු කිරීමට එරෙහි ව 1953 දී ක්‍රියාවට දැමූ සීඅයිඒ-එම්අයි6 කුමන්ත්‍රනය සහ එක්සත් ජනපදයේ පිටුබලය ලබමින් ෂා විසින් ගෙන ගිය ලේවැකි පාලනයක දශක ගනනාවක් ඇතුලු ව ඉරානයට විජිතවාදී යටත් වීමේ දීර්ඝ ඉතිහාසයක් තිබේ.

ඉරානයේ ධනය මූලික වසයෙන් පැමිනෙන්නේ එහි තෙල්වලින් බව සෑම කෙනෙක් ම දනී. ඉරානය දෛනික ව තෙල් බැරල් මිලියන 3කට යන්තම් වැඩි ප්‍රමානයක් නිපදවන අතර, එහි සමස්ත ලෝක නිෂ්පාදනයෙන් සියයට 3ක් පමන වේ. එහෙත්, ඉතා හොඳින් අවබෝධ කර නො ගන්නා දෙයක් වන්නේ, ඉරානයේ තෙල් නිෂ්පාදනය විස්තාරනය කිරීමට පවතින භව්‍යතාව යි. වානිජමය වසයෙන් යථාර්ථවාදී විශාල තෙල් සංචිත තිබෙන්නේ, ලෝකයේ තවත් රටවල් තුනකට -සවුදි අරාබිය, රුසියාව සහ ඉරාකයට- පමනි. ඊට අතිරේක ව, ඉරානය සතු ව රුසියාවට පසුව ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික වායු සංචිතය තිබේ.

ගෝලීය ආර්ථිකයේ ජව-සම්පන්න පාදකය ලෙස පවතින්නේ තෙල් හා ස්වාභාවික වායූන් ය. නව විකල්ප බලශක්තීන් දිරිමත් කිරීමට පවතින ප්‍රයත්නයන් පැවතුන ද ධනවාදය යටතේ “බලශක්ති සංක්‍රමනය” දුර්වල හා පරස්පර-විරෝධී කටයුත්තක් ලෙස රැඳී පවතී. විද්‍යුත් වාහන සහ තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යයන් මත යොදන තම ආයෝජනයේ දී එක්සත් ජනපදයේ හා යුරෝපයේ ප්‍රධාන උත්සුකය වන්නේ ගෝලීය උනුසුම් වීම නැවැත්වීම නො ව, මෙම ක්ෂේත්‍රයේ වඩා කාර්යශූර බව පෙන්වා ඇති චීනයට එරෙහි ව ඔවුන්ගේ ආර්ථික හා භූ-දේශපාලනික උත්තරීතරත්වය තහවුරු කිරීම යි. ලෝකයේ බලශක්තියෙන් සියයට පනස්හතක් තෙල් හා ස්වාභාවික වායුවලින් පැමිනෙන අතර, තවත් සියයට 27ක් ගල් අඟුරුවලින් පැමිනෙද්දී සූර්ය බලයෙන් යන්තම් සියයට 1ක් පමනක් ලැබෙන්නේ, වාර්තාගත ඉහල අගයක් සමගිනි.

තෙල් හා ගෑස්වල නොනස්නා උත්තරීතරත්වයේ තතු තුල, එම භාන්ඩවල විශාල, ලාභ සංචිත පවත්නා රටවල් භූ-දේශපාලනික ගනන් බැලීම්වල දී අත්‍යවශ්‍ය ලෙස රැඳී පවතී. සවුදි අරාබියට පසු ව, ලෝකයේ විශාලතම ලාභදායී තෙල් සංචිත දරන්නන් වන්නේ රුසියාව, ඉරාකය හා ඉරානය වීම කැපී පෙනෙයි. පසුගිය ශතවර්ෂ කාල පුරා මේ සෑම රටක් ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ඉලක්කයක් බවට පැමින ඇත. එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කල අතර, තෙල් හා ගෑස්වල දෙවැනි හා තුන්වැනි විශාලතම සංචිත දරන්නන් වන රුසියාව හා ඉරානය යන රටවල් දෙක සමග ම යුද්ධයේ අද්දර සිටී.

ඊට අමතර ව, ඒ සෑම රටක් ම -පාර්ශවීය වසයෙන් ආර්ථික සම්බාධක මගින් මිරිකීම හා පසෙකට තල්ලු කිරීම නිසා- සතුව සාපේක්ෂ ව අව-වර්ධිත තෙල් කර්මාන්තයක් තිබෙන්නේ, නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධනයේ හා අභිවර්ධිත තාක්ෂනයේ තීරනාත්මක ධාරාවන් අහිමි කෙරී තිබෙද්දී ය. එක්සත් ජනපදයේ ම්ලේච්ඡ ආක්‍රමනයෙන් අනතුරු ව ඇමරිකානු හා යුරෝපීය සමාගම් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහල දමා අද වන විට දෛනික ප්‍රතිදානය බැරල් මිලියන 2 සිට මිලියන 5 දක්වා වැඩි කල ඉරාකය සම්බන්ධයෙන් මෙය වඩාත් පැහැදිලි වෙයි.

අධිරාජ්‍යවාදී මූලෝපාය තුල එක්සත් ජනපද තෙල් මිල උද්ධමනයේ භූමිකාව

අද දින පවතින එක්සත් ජනපද-ඊස්රායල ප්‍රහාරය වසර 10 හෝ 15කට පෙර සිදු වූයේ නම්, ගෝලීය වෙලඳපොලවල් මත එහි බලපෑම සැලකිය යුතු ගැඹුරු වනු ඇත. ගෙවී ගිය දවස් කිහිපය තුල, තෙල් මිල ගනන් සියයට 10කින් පමන ඉහල ගොස් ඇත්තේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීම ආරම්භ කල තැන් පටන් ගෙවී ගිය වසර දෙක තුල විශාලතම තෙල් මිල ඉහල යාම වාර්තා කරමිනි. එහෙත්, ගෝලීය තෙල් හා ගෑස් වෙලඳපොලවල් තුල නාටකාකාර මාරුවක් මෙහි බලපෑම බාල කර තිබේ.

පසුගිය වසර 15 තුල, ද්‍රව කැනීම හරහා ලෝක ඉතිහාසය තුල සිදු වුනු විශාලතම තෙල් හා ගෑස් මිල ඉහල යාම් අත්දැක ඇත්තේ එක්සත් ජනපදය යි. මෙම ක්‍රමය දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 5 සිට මිලියන 13ට අධික ප්‍රමානයක් දක්වා වර්ධනය කිරීමට එක්සත් ජනපදයට ඉඩ ලබා දුන්නේ ය. ලෝක තෙල් සැපයුමෙන් සියයට 15ක් පමන නියෝජනය කරන මෙය, මේ කාලය තුල ජාත්‍යන්තර ව සිදු වූ එක ම ප්‍රධාන සැපයුම් වර්ධන මූලාශ්‍රය යි.

1990 ගනන් අග හා 2000 ගනන් මුල දී, එක්සත් ජනපද පාලක පන්තිය ඉරාක ආක්‍රමනය සැලසුම් කරමින් සිටි සමයට වඩා, ගෝලීය තෙල් හා ගෑස් නිෂ්පාදනය පාලනය කිරීමේ සම්බන්ධයෙන් මුලුමනින් ම වෙනස් තත්ත්වයක අද සිටී. කැනීම් හරහා තෙල් හා ගෑස් මිල ගනන් ඉහල යාමක් ඇති කිරීමට සමත්වීම මගින්, ලෝක වෙලඳපොලේ දී ලිබියාව, රුසියාව සහ ඉරානය යන රටවල තෙල් අහිමි වීම දරා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමත් වී ඇත්තේ, එක්සත් ජනපදයටත් එහි නැටෝ සගයින්ටත් මෙම රටවල් මිරිකා ඒවායේ පාලන තන්ත්‍ර පෙරලා දැමීමේ සැලසුම් සකස් කිරීමට ඉඩ ලබා දෙමිනි. (ලිබියාව සම්බන්ධයෙන් ගත් විට “සාර්ථක” සැලසුමක් නොනවතින සිවිල් යුද තත්ත්වයකට තුඩු දී ඇත.)

එහෙත්, එක්සත් ජනපද තෙල් මිල ඉහල යාම සදාකල් නො පවතිනු ඇත. සාධාරන තක්සේරු කිරීම් එයට තවත් අවුරුදු 10ක් ලබා දෙන අතර, ඉන් පසුව එය හැල්මේ ඇද වැටෙනු ඇත.

1916 දී ලියූ අධිරාජ්‍යවාදය: ධනපති ක්‍රමයේ ඉහල ම අවධිය නමැති විවේචනාත්මක කෘතිය තුල, ලෙනින් අධිරාජ්‍යවාදය තම වර්තමාන අවශ්‍යතාවන්ගෙන් එක් පියවරයක් ඉදිරියෙන් සිටීමේ වැදගත් කම විස්තර කලේ ය. ඔහු මෙසේ ලිවී ය:

ධනවාදය වඩ වඩා වර්ධනය වනවිට, අමුද්‍රව්‍යයන් සඳහා අවශ්‍යතාව ඉහල යමින්, තරඟය වඩා කටුක බවට පත්වෙමින්, සමස්ත ලෝකය පුරා අමුද්‍රව්‍යයන් සඳහා දඩයම වඩා උත්තේජනය වන්නේ, යටත් විජිත අත්පත් කරගැනීමේ අරගලය වඩා මංමුලා සහගත බවට පත්කරමිනි.

යමෙක්ට මෙයට සම්පත් ක්ෂය ව යාම එකතු කල හැකි අතර, ඒවා ක්ෂය ව යද්දී මෙම “උත්තේජනීය දඩයම” වැඩිදුර තීව්‍ර වෙයි.

එක්සත් ජනපද කැනීම් වැනි අනෙකුත් මූලාශ්‍ර දිය වී යද්දී, ගෝලීය ආර්ථිකයට එතරම් ම තීරනාත්මක වන තෙල් හා ස්වාභාවිය වායුවල අනාගත සැපයුම් අඛන්ඩ ව පවතිනු ඇත්තේ කොහි ද? ඉරානය, රුසියාව, ඉරාකය හා සවුදි අරාබිය යන රටවල් වඩාත් ම වැදගත් අනාගත මූලාශ්‍රවලින් කිහිපයක් බවට පත්වෙමින්, ඒවා රැඳී සිටිනු ඇත්තේ මැද පෙරදිග හා රුසියාව තුල ය.

චීනය සහ එක්සත් ජනපදය

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලික ධාවකයක් වන්නේ චීනයේ සංවර්ධනය සමග වැඩෙන මිලිටරි හා ආර්ථික ඝට්ටනය බව අවධාරනය කිරීම වැදගත් ය. වඩාත් ම දියුනු ධනවාදී රටවල් අතර “වටමේසයේ පුටුවක්” චීන ධනවාදයට ලබා දීමට එක්සත් ජනපදය හා එහි සගයෝ මූලික ව විරුද්ධ වෙති.

ලෝකයේ ප්‍රධාන සංගතවලට ලාභ භාන්ඩ ලබා දෙන වේදිකාවක් ලෙස චීනය දශක ගනනාවක් සේවය කලේ ය. එහෙත්, එහි ම අභ්‍යන්තර සංවර්ධනය -විශේෂයෙන් ම අධ්‍යාපනය සහ වඩා අභිවර්ධිත නිෂ්පාදන ක්‍රියාවලීන් හේතුවෙන් - නිසා, එක්සත් ජනපද හා යුරෝපීය සංගතවලට බැරෑරුම් ලෙස අභියෝග කරන දේශීය ව පාලිත කර්මාන්ත චීනය විසින් නිර්මානය කර ඇත.

එක්සත් ජනපදයේ විද්‍යුත් වාහනවලට වඩා දියුනු හා ලාභ වන චීන විද්‍යුත් වාහන වේගවත් වර්ධනයක් අත්දැක තිබෙන මෝටර් රථ ක්ෂෙත්‍රය තුල මෙය වඩාත් ම පැහැදිලි ය. යන්තම් වසර කිහිපයක් තුල, ජපානයේ, එක්සත් ජනපදයේ හා ජර්මානයේ මෝටර් රථ අපනයන්ගෙන් කුඩා කොටසක සිට ඒ සියලු රටවල් පරයා යන මට්ටමට චීනයේ මෝටර් රථ අපනයනය ඉහල ගොස් තිබේ.

“නිදහස් වෙලඳාම” පිලිබඳ අතීත පූච්චානම් මුලුමනින් ම අත්හැර දමා ඇති එක්සත් ජනපදය හා එහි මිතුරු රටවල් සියලු පිරිවැය දරමින් උත්සාහ කරන්නේ, චීන සංගත ගෝලීය ආර්ථිකය තුල ප්‍රධාන භූමිකාවක් ඉටුකිරීමෙන් වැලැක්වීමට ය. තමන්ගේ ම ගැඹුරු වන ආර්ථික හා සමාජීය පරස්පර-විරෝධයන්ට මුහුන දෙන එක්සත් ජනපදය, චීනයේ ආර්ථික නැග්මට වලකපනු වස් තවමත් ආධිපත්‍යධාරී වන මිලිටරි හා මූල්‍ය බලය යොදාගැනීමට උත්සාහ කරයි.

තෙල් හා ඛනිජ ද්‍රව්‍ය වැනි භූ-මූලෝපායික සම්පත් පාලනය කිරීමට පවතින කේන්ද්‍රීය හේතුව වන්නේ, හුදෙක් ඒවායින් ලාභ ලැබීම පමනක් නො ව බලශක්තියේ හා සම්පත්වල මෙම තීරනාත්මක සැපයුම්වලට ප්‍රවේශය සෙසු රටවලට නැති කිරීමෙන් එම රටවලට පීඩනය ද යෙදීම යි.

තමන්ගේ පැත්තෙන් චීනය සතුව රට තුල ලෝකයේ තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය පිරිපහදු කරන ස්ථානවලින් බොහොමයක් තිබෙන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සැලසුම්වලට ගැටලුවක් මතු කරමිනි. එහෙත්, චීනයට තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය හා බැටරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුල සාපේක්ෂ වාසියක් තිබෙන අතර ම, අවම වසයෙන් ඊලඟ වසර පහ සිට 10 තෙක් එක්සත් ජනපදයට තෙල් හා ගෑස් ක්ෂේත්‍ර තුල වාසිය තිබේ.

“එක්සත් ජනපදය සමග යුද්ධයක දී චීනය තීරනාත්මක හිඟයන්ට ගොදුරුවනසුලු නම්, ඒ වනාහි එය සියයට 60ක් ම ආනයනය කරන හා දවස් දහයකට පමනක් ප්‍රමානවත් ප්‍රකාශිත මූලෝපායික සංචිතයක් තිබෙන තෙල් සැපයුම් අංශය යි” යි එක්සත් ජනපදයට චීනයට එරෙහි යුද්ධයක් ජයග්‍රහනය කල හැක්කේ කෙසේද යන්න පිලිබඳ රෑන්ඩ් සංගතයේ වාර්තාවක් සටහන් කලේ ය. ඇත්ත වසයෙන් ම, විද්‍යුත් වාහන තාක්ෂනය තුල පුරෝගාමීත්වය ලබාගැනීමට චීනය එතරම් හදිසි වීමට මූලික හේතූන්ගෙන් එකක් විය හැක්කේ, මෙම බැරෑරුම් දුර්වලකම ගැන චීන පාලක පන්තියට තිබූ දැනුවත් භාවය යි.

චීනයේ තෙල් ආනයනයන් මුලුමනින් ම පාහේ එන්නේ මැද පෙරදිගිනි. කැනීම් උත්පාතය නිසා තව දුරටත් එක්සත් ජනපදයට තෙල් නොයන තතු තුල, සවුදි අරාබිය, ඉරානය, රුසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ තෙල් පෙරදිග චීනයට යවති. ඇඟ කිලිපොලා යන බැරල් මිලියන 11.4ක තෙල් චීනය විසින් ආනයනය කරන්නේ, ලෝකයේ විශාලතම තෙල් ආනයනය කරන්නා බවට පත්වෙමිනි. ඉරාන තෙල්වල ඉහල ම ආනයනිකයා වන්නේ චීනය යි.

තෙල් සහ තුන්වැනි ලෝක යුද්ධය

සමස්තයක් ලෙස භූ-දේශපාලනික තත්ත්වය ගත් විට:

  • ලෝකයේ අන් කිසිදු රටකට වඩා වර්තමානයේ දී එක්සත් ජනපදයට ගෝලීය තෙල් හා ගෑස් වෙලඳපොලවල් මත පාලනය තිබේ.
  • එහෙත්, ආධිපත්‍යයේ මෙම මට්ටම සතුව, වසර පහ සිට දහයක් දක්වා පමන වන සීමිත ඉඩකඩක් තිබෙන අතර, අවසානයේ කැනීම් ඛාදනය හේතුවෙන් එම පාලනය සැලකිය යුතු ලෙස මැකී යයි.
  • ආර්ථික ව තර්ජනයට ලක් වී ඇති එක්සත් ජනපදය තායිවානය කේන්ද්‍ර කරගෙන චීනය සමග මිලිටරි මුනගැටුමකට සැලසුම් කරයි.
  • තෙල් සම්බන්ධයෙන් ගත්විට චීනය මූලෝපායික ව තර්ජනයට ලක්වන්නේ, මැද පෙරදිගින් දෛනික ව ලැබෙන යෝධ ගලා ඒම් මත රඳා සිටින නිසා ය. ඉරානයේ විශාලතම තෙල් අපනයන හවුල්කරුවා වන්නේ චීනය යි.
  • දීර්ඝ කාලයේ දී ලෝකයේ ප්‍රධානතම තෙල් හා ගෑස් මූලාශ්‍ර වන්නේ මැද පෙරදිග හා රුසියාව යි. අසංවර්ධිත තෙල් හා ගෑස් සංචිතවල විශාලතම මූලාශ්‍රවලින් එකක් වන්නේ ඉරානය යි.

මෙම සංරචක එක් ව සලකන විට, ඉරානයේ තෙල් හා ගෑස් එක්සත් ජනපදයට හා එහි හවුල්කරුවන්ට විශාල උත්සුකයක් බව පැහැදිලි ය. යුද්ධයේ සලකා බැලීම්වලට තවත් බොහෝ සාධක පවතින අතර ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ඉලක්කයන් වන්නේ ලෝකයේ ඉහල ම සම්පත්වලින් පොහොසත් රටවල්ය යන්න අහම්බයක් නො වේ.

ඉරානය “ඉක්මනින් ම නිදහස් වනු ඇත” යි නෙතන්යාහුගේ තර්ජනයන් පිලිබිඹු කරන්නේ, එක්සත් ජනපදයේ ප්‍රහාරක බල්ලෙක් ලෙස ක්‍රියා කරන ඊස්රායලයට මැද පෙරදිග ප්‍රතිව්‍යුහකරනය කිරීම සඳහා හිස් චෙක්පතක් ලබා දී ඇති බව යි. ඊස්රායල පාලක පන්තියට තමන්ගේ නිශ්චිත අවශ්‍යතා තිබෙන නමුත්, අවසානයේ දී ඊස්රායල යුද යාන්ත්‍රනයට අරමුදල් සැපයීම, සන්නද්ධ කිරීම හා ධාවනය කිරීම කරන්නේ, කලාපය තුල එක්සත් ජනපදයේ භූ-මූලෝපායික අවශ්‍යතා විසිනි.

ඉරානයට හා මැද පෙරදිග එහි සහකරුවන්ට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල යුද්ධයට යටින් දිවෙන සීතල භූ-මූලෝපායික තර්කනය මෙය යි. චීනයට එරෙහි භව්‍ය යුද්ධයකට සූදානම් වන එක්සත් ජනපදය, මෙම තීරනාත්මක කලාපය මත එහි පාලනය ශක්තිමත් කිරීමට හා ගැඹුරු කිරීමට උත්සාහ කරයි.

කලාපය තුල ඊස්රායලයේ ප්‍රහාරය හා එක්සත් ජනපදයේ ලේ නාගත්, කුහක භූමිකාව හේතුවෙන් අපහසුවට පත්වන අයට, මෙම යුද්ධය “තෝරාගත් පිලිවෙතක්” නො වන බව අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය ය. සියලු පිරිවැය දරා සිය ජාතිකවාදී ලාභ ලුහුබැඳීමේ දී, ධනවාදය මිනිසුන් බිලියන ගනනකගේ ජීවිතවලට තර්ජනය කරන ගැටුමක් කරා ඇමරිකානු අධිරාජ්‍යවාදය ධාවනය කරයි. කොතරම් අතාර්කික හා අන්තරායකාරී වුවත්, ඇමරිකානු පාලක පන්තිය සිය ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදයේ ගැඹුරු වන සර්පිලයෙන් එලියට වෙනත් මාවතක් දැක ගන්නේ නැත.

Loading