ලියනාර්ඩෝ සහ මානව විභවය:කෙන් බර්න්ස්ගේ ලියනාර්ඩෝ ඩා වින්සි මාලා සිනෙරුව පිලිබඳ ඇගැයුමක්

(මෙය Leonardo and the human potential: An appreciation of Ken Burns’ series Leonardo da Vinci මැයෙන් 2024 දෙසැම්බර් 15දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

්‍රවීන සිනමාකරු කෙන් බර්න්ස්, සාරා බර්න්ස් හා ඩේවිඩ් මැක්මැහොන් විසින් නිර්මිත ලියනාර්ඩෝ ඩා වින්සි නමැති සිව් පැයක ද්විභාග වාර්තා චිත්‍රපටය පසුගිය නොවැම්බරයේ දී අමෙරිකානු රාජ්‍ය විකාශන සේවය (පීබීඑස්) ඔස්සේ විසුරුවා හැරිනි. විකාශය පිනිස එය ලබා ගැනුමට දැන් හැකියාව ඇත.

පුලුල් ප්‍රේක්ශක පිරිසක් ඇද ගැනුමට යෝග්‍ය මේ සිනෙරුව අමෙරිකානු නොවන තේමාවක් හෝ පුද්ගලයෙකු කෙරෙහි බර්න්ස්ගේ අවධානය නාභිගත වූ ප්‍රථම නිශ්පාදනය යි. සම්මුඛ සාකච්ඡාවක දී බර්න්ස් පවසා සිටියේ, ස්වකීය මෑත නිශ්පාදනයක ඥාතෘ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ ලියනාර්ඩෝ අතර පවතින සාම්‍යයන් විසින් ඉතාලි පුනරුදයේ දිදුලන ප්‍රාඥයා පිලිබඳව පිරික්සා බැලීමට තමා මෙහෙයවන ලද බව යි.

ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.

ඔහුගේ නාමය මනුශ්‍ය පරිශ්‍රමයෙහි ශිඛා අතරෙහිලා ගැනෙන මස්තකප්‍රාප්ති ගනනාවක් ද, මානව සවිඥානකත්වයේ හා ක්‍රියාකාරිත්වයේ අපරිමිත විභවය ද පුබුදුවයි. ඔහුගේ නොසන්සිඳෙන බුද්ධි මහිමය විස්තර කිරීමේ දී නිබඳ භාවිත කෙරෙන ‘ධීමතා’ සහ ‘වියතා’ යන පද නිසැකව ම උචිත ය. එසේවතුදු, පසලොස්වැනි සියවස අග භාගයෙහි සිට සොලොස්වැනි සියවසේ මුල් කාර්තුව දක්වා විසූ අග්‍රේශ්වර කලාකරු හා විද්‍යාත්මක චින්තකයා ලෙස ඔහුගේ ඉස්මතු වීම අහම්බයක් නොවූ බව ද සැලකුවමනා ය. වඩාත් ප්‍රගතිශීලී වකවානුවේ සිට වඩාත් ප්‍රතිගාමී වකවානුව දක්වා හැම ඓතිහාසික කාලපරිච්ඡේදයක් ම විසින් යුගයේ සාරය මූර්තිමත් කරන පුද්ගලයන් පෙරට දැමෙයි.

ලියනාර්ඩෝ ඩා වින්සි, විටෲවියානු මිනිසා, 1490 ප. (කඩදාසිය මත පන්හිඳ, රිදී තුඩ, දුඹුරු තීන්ත හා දියසායම්, 13.5”x9.6”) [Photo]

ලියනාර්ඩෝගේ කීර්තිය පතල වූයේ, තුදුස්වැනි සියවස මැද භාගයෙහි යුරෝපයේ, මධ්‍යම ආසියාවේ, මෑත පෙරදිග හා උතුරු අප්‍රිකාවේ ජනගහනයෙන් තුනෙන් පංගුවක් මිහිතලයෙන් අතුගා දමන ලද, මානව ඉතිහාසයේ දරුනුතම ව්‍යසන අතරින් එකක් වූ භයංකර “කලු මරනය” හෙවත් කටී හා පුප්ඵුසීය මහමාරිය වසංගතවලින් යුරෝපය හා පැරනි ලෝකය ප්‍රකෘතිමත් වෙමින් තිබියදී ය. ලියනාර්ඩෝ උපත ලැබුවේ යොහැන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රන යන්ත්‍රය නවෝත්පාදිත වසරෙහි දී බව ද සටහන් කල යුතු ය.

මධ්‍යතන යුගය නිමාවට පත් වෙමින් තිබුනු අතර ඒ සමඟ ම, සත්‍ය වසයෙන් ම මානවවාදී හා ඓහික සමාජයක් උදෙසා ප්‍රථම බැරෑරුම් ආලෝලන හට ගති. බැංකු ව්‍යාපාරික හා වානිජමය මධ්‍යස්ථාන ලෙස විකසිත වෙමින් පැවති තරගකාරී ඉතාලි පෞර රාජ්‍යයන්හි මතු වූ පුනරුදය, යුරෝපයේ ෆ්ලෙමිශ් හා ලන්දේසි භාශා වහරන ප්‍රදේශයන්හි සිටි සිය තුල්‍යයන් සමඟ එක් ව අපූර්ව පුද්ගලයන් බිහි කෙරුනු අතර ඔවුන්ගේ කලාත්මක, විද්‍යාත්මක හා සාහිත්‍යික අර්ථසිද්ධි අද දක්වා ම සම්භාවනීය ස්ථානයක් භජනය කරයි.

ලියනාර්ඩෝගේ ෆ්ලොරන්ස් සමකාලීනයන් අතර සැන්ඩ්‍රෝ බොට්ටිසෙල්ලි හා ෆ්‍රා ෆිලිප්පෝ ලිප්පි යන සිත්තරු ද වූහ. ඔහු සිය ජීවිතයේ සිව්වැනි දශකයෙහි පසුවන කල්හි මයිකල් ඇන්ජිලෝ විසින් පියේටා (වලප්නාව) නමැති සිය මූර්තිය අඹන ලද අතර නොබෝ කලකින් තරුන රෆායෙල් සිය කලාව සඳහා පුලුල් ප්‍රශංසාවකට ලක් වෙමින් සිටියේ ය. මේ අතර මැකියාවෙල්ලි සිය කීර්තිධර කෘතිය වන ද ප්‍රින්ස් (කුමාරයා) තුල අඩංගු කිරීමට නියමිත ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රය පිලිබඳ ප්‍රථම දේශපාලන න්‍යායයන් සමහරක් වර්ධනය කරමින් සිටියේ ය.

ලියනාර්ඩෝට සිය වාසගම ප්‍රදානය කල ඔහුගේ උපන් ගම වන වින්සි පිහිටියේ කඩිනමින් සමෘද්ධ වෙමින් පැවති ෆ්ලොරන්ස් නුවරට නුදුරිනි. ද්විභාග වාර්තා චිත්‍රපටය පෙන්වා දෙන පරිදි, ඔහුගේ උපත සම්මත විවාහයෙන් පරිබාහිරව සිදු වූ බැවින් ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලැබීමේ ඉඩප්‍රස්ථා ඉබේ ම ඇහිරී තිබුනි. එසේවතුදු, කතෝලික පල්ලි සංස්ථාවේ අඛන්ඩ ආධිපත්‍යය නොතකා නැඟෙමින් පැවති යුගයේ ප්‍රතිවිරෝධී ස්වභාවය – ෆ්ලොරන්ස්හි ප්‍රසිද්ධිය ඉසිලූ මෙඩිසි පෙලපත බඳු කතිපයාධිකාරී පවුල් පාලනය සමඟ සම්පාත වූ සමාජ පර්යායෙහි විමුක්තිදායී ගුනාංග විසින් දීප්තිමත් ප්‍රතිභාවක් සතු ලියනාර්ඩෝට අවස්ථා විවර කෙරිනි. හෙතෙම ස්වකීය යුගයේ සුප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වූ ඇන්ඩ්‍රියා ඩෙල් වෙරෝචිනෝගේ ආධුනිකයා බවට පත් විය. කෙසේ වෙතත්, කල් නෑර ම ගුරුවරයා පරයා යෑමට සිසුවා සමර්ථ විය.

-ලියනාර්ඩෝ ඩා වින්සි, ජිනීව්රා ඩි බෙන්සි, 1474-1478 (දැව මත තෙල් සායම්, 15”x15”) [Photo]

වෝල්ටර් අයිසැක්සන් සහ ඔස්කාර් සම්මානලාභී මෙක්සිකානු සිනමාකරු ගුයියෙර්මෝ ඩෙල් ටෝරෝ ඇතුලු ලියනාර්ඩෝගේ චරිතාපදාන රචකයන් කීප දෙනෙකුගේ ප්‍රතිවේධනීය විවරනයට පරිබාහිර ආඛ්‍යානයක් ද බර්න්ස්-මැක්මැහො න් ප්‍රයත්නයට අන්තර්ගත වෙයි. මොවුන්ගේ සම්ප්‍රදාන මගින් එක්තරා නව්‍ය යමක නියෝජිතයා වසයෙන් ලියනාර්ඩෝ පිලිබඳ අපේ අවබෝධය පෘථුල කෙරේ.

විස්තරකථකයන් විසින් ලියනාර්ඩෝ හඳුන්වා දෙනුයේ මානව පැවැත්ම ද ඇතුලු සියලු ප්‍රපංචයන්හි අධස්ථ සමමිතියක් දැක ගත් “අතිශය තාර්කික” මිනිසෙකු ලෙසිනි. බොහෝ විට දර්පන ප්‍රතිබිම්බ මෙන් පසුපසට ලියැවී ඇති ඔහුගේ සාරගර්භ සටහන්වලින් සහ අපූර්ව අනුලක්ශන සහිත උත්කෘශ්ට සනිදර්ශනවලින් අනාවරනය වනුයේ, ඔහුට අනුව මෙලොව කිසිවක් නිකම් ම ලැබී නැති බව යි. පරිපූර්න අවබෝධය උදෙසා සියලු දෑ පරීක්ශාවට, විමර්ශනයට හා විච්ඡේදනයට භාජන විය යුතු ව තිබිනි. වාර්තා චිත්‍රපටය “වෘත්තයක වර්ගමාතිය”1 පිනිස ලියනාර්ඩෝ තුල පැවති සම්මෝහය අවවධාරනය කරයි. මිනිසා සහ සොබාදහම අතර පවතින ගැඹුරු සබඳතාවත් එහි මායාකාරී සමමිතියත් අනාවරනය කිරීමට හෙතෙම දැරූ තැත රෝමානු වාස්තු විද්‍යාඥ විටෲවියස් හට ප්‍රනාමය පිනිස අංජිත ඔහුගේ සුප්‍රකට ද විටෲවියන් මෑන්a (විටෲවියානු මිනිසා) සිතුවම තුල අමරනීයත්වයට පත් කෙරී ඇත.

ලියනාර්ඩෝ තමා හඳුන්වා ගැනුමට යොදා ගත් “අනුභූතියේ අතවැසියා” යන වාක්‍යංශය අහම්බයක් නොවේ. සැබෑ ප්‍රතිවේධය හට ගනුයේ ස්වාභාවික ලෝකය වටහා ගැනුමෙන් පමනක් බව ඔහු හඳුනා ගති. මෙකී ප්‍රගාඪ සංකල්පනය මගින්, ඔහුගේ කලාමය හා විද්‍යාමය ගවේශන දැනුවත් කෙරුනා මතු නොව, ඒවායෙහි අධස්ථ ඒකීයත්වය, යටත්පිරිසෙයින් ස්වකීය මනස තුල, වඩා වැදගත් ලෙස ස්ථාපිත ද කෙරුනි. එක් ඉතිහාසඥයෙකු ලියා ඇති පරිදි, “කලාකරුවෙකු හා විද්‍යාඥයෙකු හැටියට, සකල ඥානයේ පදනම වසයෙන් ආනුභවික නිරීක්ශනය කෙරෙහි ලියනාර්ඩෝ සිය විප්ලවීය විශ්වාසය රැඳවී ය” (ලියනාර්ඩෝ ඩා වින්සි: මේස්ත්‍රී කෙටුම්පත්කරු).

බර්න්ස්ගේ මාලා සිනෙරුවට දායක වූවෙකු ලියනාර්ඩෝ හැඳින්වූයේ, වෙසෙසා ආගම් භක්තික නොවූ තැනැත්තෙකු ලෙසිනි. පීබීඑස් විදහාපෑමෙහි එන කෙටි, එහෙත්, එක් අසාමාන්‍ය ඛන්ඩයකට අනුව, දර්ශනය කෙරෙහි ලියනාර්ඩෝගේ ලැදියාව විසින් ඔහු මෙහෙයවනු ලැබුනේ, පරමාදර්ශයේ සිට සැබෑ වෛශයික ලෝකය වෙත ප්‍රගමනය වන ප්ලේටෝගේ ප්‍රවේශය විවේචනය කිරීමට ය. එකී ප්‍රවේශයට ප්‍රතිකූල ව, ඥානන මාර්ගය පිලිබඳ අපූර්ව භෞතිකවාදී අර්ථ විවරනයක් තුල ලියනාර්ඩෝ තිරසරව පවසා සිටිනුයේ, අදහස් ජනනය වනුයේ ස්වභාවික ලෝකය අධ්‍යයනය කිරීම ඔස්සේ බව යි.

-ලියනාර්ඩෝ ඩා වින්සි, මොනා ලීසා, 1503-1506/17 (දැව මත තෙල් සායම්, 30”x21”) [Photo]

ලියනාර්ඩෝ සිය කලා කර්තව්‍යයන්හි දී බෙහෙවින් ඇසුරු කලේ නිශ්චිතව ම ජනප්‍රිය විඥානය යි. ෆ්ලෙමිශ් වෙසරදුන්ගේ ඇතැම් කෘති තුල විද්‍යමාන වූ කලාත්මක පර්යාලෝකයේ පුරෝගාමී අභිවර්ධන මත පදනම් වෙමින් ලියනාර්ඩෝ සිය සිතුවම් තුල ත්‍රිමානතාව අත්හදාබැලී ය. කියරොස්කුරෝ නමින් ප්‍රචලිත වීමට නියමිත වූ ශිල්පක්‍රමයේ අනුසාරයෙන්, හෙතෙම ආලෝකයේ හා අඳුරේ ආචරන2 පරීක්ශා කලේ ය. විශේශයෙන් ම, මනුශ්‍ය චර්මය පින්තාරු කිරීමේ දී, දැව හෝ කැන්වස මත නිරූපිත පුද්ගලයා කැපී පෙනෙන පරිදි සහ සමස්ත භූදර්ශනයෙහි ම කොටසක් ලෙස පෙනී යන පරිදි, හෙතෙම තුනී ගෝස් රෙදි සදිසි පාරදෘශ්‍ය වර්න ප්‍රස්තර තැවරී ය. සධූමායනය ( ස්ෆුමාටෝ ) නමැති මේ ක්‍රමය අනුව නිර්මිත ඔහුගේ සිතුවම් තුල ආලෝකය හා අඳුර අතර සංක්‍රාන්තිය අසාමාන්‍ය ලෙස ස්වාභාවික හා විචිත්‍ර කෙරෙන තියුනු වාටි නො තිබුනි.

භූදර්ශන කෙටුම්පත් කිරීමට හෝ පින්තාරු කිරීමට, එනම්, ස්වාභාවික ලෝකය කෙරෙහි මූලික ව ම නාභිගත වී කලාකෘති නිර්මානය කිරීමට එලැඹි ප්‍රථම සිත්තරා ලියනාර්ඩෝ ය. ඔහුගේ මුල් ම එවැනි කෘතිය වූයේ (ෆ්ලොරන්ස් නගරය හරහා ගලා යන) අර්නෝ ගංගාවේ අත්තක සවිස්තර වැටිසනකි. ඔහුගේ සිතුවම් තුල, පෙරබිමෙහි ඇති වස්තු අවිචල්‍යව ම වැඩිතර සමස්තයෙහි කොටසකි. ගනිතය කෙරෙහි ලියනාර්ඩෝගේ ලැදියාව නිසා පර්යාලෝකය – චිත්‍ර ශිල්පයෙහි දෘශ්‍යමාන “සංහත ලක්ශය”3 පිලිබඳ අදහස උද්භව වන “තනි-ලක්ශ රේඛීය පර්යාලෝකය” – නිර්මානය කිරීමෙහිලා ජ්‍යාමිතිය යොදා ගැනුමට ඔහුට ඉඩකඩ පෑදුනි.

තමා චිත්‍රනය කල සියල්ලෙහි ම චලනය නිරූපනය කිරීමට ලියනාර්ඩෝ වෙහෙස දැරී ය. පියාඹන යන්ත්‍ර4 සහ පොදුවේ භෞතික විද්‍යාමය ඥානය හෙලි වන යන්ත්‍රසූත්‍ර නිරූපිත රූප සටහන්වලින් ඔහුගේ අත්පොත් පිරී ඇත. ඇත්ත වසයෙන් ම, ඇද වැටෙන වස්තු පිලිබඳ ඔහුගේ අධ්‍යයනය ගැලීලියෝගේ හා නිව්ටන්ගේ කර්තව්‍යයන් පූර්වාපේක්ශා කලේ ය. එමතුදු නොව, ඔහු වූ කලි සත්ව ගමනාගමනය, වෙසෙසා අශ්ව කරත්ත' චිත්‍රනයෙහි අති ශූරයෙකි.

මානව රූපකාය හා ව්‍යවච්ඡේදය පරීක්ශා කෙරෙන ඔහුගේ රේඛා චිත්‍ර අසදෘශ්‍ය වන අතර මානව භෞතවේදය පිලිබඳ ඔහුගේ උනන්දුව විසින් හෘදයවස්තුව අරබයා වැදගත් සොයාගැනීම් දෙකක් කරා හේ මෙහෙයවී ය. ශතවර්ශයක් ආයු වැලඳූ මිනිසෙකුගේ මරන පරීක්ශනය සිදු කිරීමට ඉඩප්‍රස්ථාව ලද කල්හි, එකී තැනැත්තාගේ හදවත කරා දිවෙන රුධිර නාලිකා ඇතුලත සිර වූ රට දෙහි ගෙඩියක හැඩැති වස්තුවක් විසින් ධමනි විවර අවහිර කෙරී ඇති බව හේ විස්තර කලේ ය. ඔහුගේ නිගමනය වූයේ, එකී බාධකය හෙවත් රුධිර නාලිකා සිහින් වීම (ඇතරොස්ක්ලෙරෝසිස්) ලෙස මෙවක අප හඳුන්වන රෝගී තත්වය වෘද්ධයාගේ මරනයට හේතුව බව යි. මෘතදේහය විච්ඡේදනයෙහි දී මනුශ්‍ය හෘදයවස්තුව කුටීර සතරකින් සමන්විත බව ද අනාවරනය විය.

ලියනාර්ඩෝගේ සිතුවම් තුල අන්තර්ගත නවෝත්පාදනයෙහි තවත් අංශයක් වනුයේ නාරි ආලේඛනය යි. ලලනා මුහුනු හුදෙක් පැතිකඩ හැටියට චිත්‍රනය කිරීමේ අතිගුප්ත හා අවිවාදක සිරිතෙන් හේ බිඳී ගති. එතැන් සිට ඔවුහු, ජිනීව්රා ඩි බෙන්සි නමැති අමරනීය ආලේඛ්‍යයෙහි දැකිය හැකි පරිදි, සිය නරඹන්නාට මුහුනලා සිටීමට පටන් ගත්හ. අනතුරුව, ඔහුගේ චිර පතල මොනා ලීසා සිතුවම මෙකී ආකල්පයේ සනාතන පරිසමාප්තිය බවට පත් විය.

-. ලියනාර්ඩෝ ඩා වින්සි, ශාන්ත ඈන් හා ශාන්ත ජෝන් ද බැප්ටිස්ට් සමඟ කන්‍යාව හා ලදරුවා, 1499-1508 (කැන්වසයට සවි කල වර්න කඩදාසි මත අඟුරු හා රටහුනු" 55.7”x41.2”) [Photo]

බර්න්ස්-මැක්මැහොන් සිනෙරුව කලාකරුගේ සමලිංගිකතාව සමඟ ලුහුඬින් ගනුදෙනු කරන අතර එය අනුමත නොකිරීමට ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත නොවලහා පෙලැඹුනි: “වාර්තා චිත්‍රපටය සිය ඥාතෘගේ සමරිසි ජීවිතය පිලිගන්නා නමුදු මර්දනකාරී සමාජ වාතාවරනයක වෙසෙන කලාකරුවෙකු උදෙසා එහි ගම්‍යයන් මුලුමනින් ගවේශනය නොකරයි.” එහෙත්, සැබවින් ම, පසලොස්වැනි සියවසේ ඉතාලි සමලිංගික සේවනයෙහි ගම්‍යයන්, එහි සුවිශේශීතාව අතිවාචනයට නොනඟමින්, බර්න්ස් ගවේශනය කරයි.

බර්න්ස්ගේ කෙටි මාලා සිනෙරුවට අනුව, කතෝලික පල්ලි සංස්ථාව විසින් පැනවී තිබුනු පුංමෛථුන විරෝධී නීති යටතේ, තරුන පිරිසකට නඩු පැවරුනු අතර ලියනාර්ඩෝගේ නම ද ඊට ඇතුලත් විය. කෙසේවෙතත්, එක් තරුනයෙකු ෆ්ලොරන්ස්හි ප්‍රසිද්ධ පවුලක පුතෙකු වූ අතර එම පවුලේ මැදිහත් වීම මත අදාල චෝදනා වහා අකුලා ගැනුනි. පුනරුද සමයේ මුල් අවධියෙහි සමාජ තතු මත යැපෙමින් සමලිංගික සබඳතා පුලුල් ලෙස ඉවසනු ලැබුනි. සිය අභ්‍යාසලාභියා හා සහායකයා ලෙස ගියාන් ගියාකොමෝ කැප්රොට්ටි හෙවත් හැම දෙයට ම ඇඟිලි ගසන බැවින් “පොඩි යකා” නමින් හංවඩු ගැසුනු ගැටවරයා තරුන ලියනාර්ඩෝට “දෙන ලද” අතර හෙතෙම ඔහුගේ යාවජීව සහකරු බවට පත් විය. මොහුගේ තරමක් උභයපුමිතිරි මුහුනුවර ලියනාර්ඩෝගේ සිතුවම් ගනනාවක ම දැකිය හැකි ය.

පුනරුද සමයේ අභිප්‍රාය වූයේ, ග්‍රීක-රෝමානු සංස්කෘතියේ සම්භාව්‍ය යුගය කරා ආපසු යෑමක් හෙවත්, මධ්‍යතන යුගයෙහි – වෙසෙසා රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව එලැඹි සියවස් ගනනාවක “අඳුරු යුගය” තුල රැජැයූ පසුගැමියාවේ නිශේධයකි. කෙසේවෙතත්, නිල දෘශ්ටිවාදය මත ආධිපත්‍යය දැරුවේ කතෝලික පල්ලිය යි. ග්‍රීක-රෝමානු පුරානෝක්තීන්හි එන දෙවිදේවතාවන් නොවේ නම් ක්‍රිස්තියානි ආගමික තේමා කලාකෘතීන්ට විශය විය. මේවා අතරින් කන්නි මරිය, ජේසු බිලිඳා, දේවමෑනි හා ලදරුවා ආදී නිරූපන වඩාත් ජනප්‍රිය වී ඇත.

සිය දීප්තිමත් කලා කෞශල්‍යය කරනකොටගෙන ලියනාර්ඩෝ වඩවඩා පිලිගැනුමට භාජන වෙත් ම නොයෙක් ආගමික ආයතන විසින් කලාකෘති නිපදවීමේ කාර්යය ඔහු වෙත පැවරිනි. කෙසේවෙතත්, ස්වකීය කෘතීන්හි අඩුපාඩු දකින සර්වතෝභද්‍රිකයෙකු හැටියට හේ ප්‍රකටව සිටි හෙයින් ඔහුගේ අනුග්‍රාහකයෝ එක්කෝ ගාස්තු අඩු කලහ; නැතහොත් ගෙවීම් පැහැර හැරියහ. එනයින්, බොහෝ ව්‍යාපෘති අතරමග අත්හැර දැමීමට ඔහුට සිදු විය. ලියනාර්ඩෝ සිය ජීවිතයේ මඳක් පසුකාලීනව බාර ගත්, ප්‍රංශ රජු විසින් පැවරුනු ශාන්ත ඈන් හා ශාන්ත ජෝන් ද බැප්ටිස්ට් සමඟ කන්‍යාව හා ලදරුවා එබඳු එක් සිතුවමකි.

- ලියනාර්ඩෝ ඩා වින්සි, පාරසික පූජකයන්ගේ පිනිපාව, 1481 (දැව මත තෙල් සායම්, 97”x96”) [Photo]

කෙසේවෙතත්, යට කී නොනිමි කෘති අතරින් වඩාත් ප්‍රකට වනුයේ, ෆ්ලෝරන්ස්හි පවුරුවලින් එපිට ස්කොපෙටෝහි පිහිටි දේවස්ථානයක් විසින් පැවරුනු,ඇඩෝරේශන් ඔෆ් ද මැගි (පාරසික පූජකයන්ගේ පිනිපාව) යි. මේ චිත්‍රය නයනකාන්ත මෙන් ම සංකීර්න ද වේ. පාරසික පූජකයන් (ඥානවන්ත මිනිසුන් තිදෙනා හෝ රජතුන්කට්ටුව) මරියා සහ ජේසු බිලිඳා බැහැදැකීම මෙහි කේන්ද්‍රීය තේමාව ලෙස සැලකෙතුදු තව බොහෝ දෑ සිදුවෙමින් ඇත. හැම තැනක ම චලනය පවතී. පසුබිමෙහි සටනක් සිදු වන අතර දෙව්මව් සහ ලදරුවා වට කර ගත් බොහෝ මිනිස්සු එකිනෙකා සමඟ කතාබහේ යෙදී සිටිති. ඇතැමෙකු අනවධානයෙන් පසුවන බවක් පෙනේ. පාරසික පූජකවරු පවා නමස්කාරයේ සිට සැකය දක්වා මනෝභාව පරාසයක් පල කරති. දකුනුපසින්, එක් මුහුනක් ඉවත හැරී ඇත. බර්න්ස්-මැක්මැහොන් මාලා සිනෙරුව අනුමාන කරන පරිදි, ඒ වනාහි කලාකරුගේ ම ගතරුව යි.

අනතුරුව, ෆ්ලෝරන්ස් හැරපියා මිලානෝ වෙත පැමිනි ලියනාර්ඩෝ, “මරක්කලයා” හෙවත් ලුඩොවිකෝ ස්ෆොර්සාගේ අනුග්‍රාහකත්වය යටතේ වැඩ කලේ ය. මෙකී ආදිපාදවරයාගේ සොලොස් හැවිරිදි දියනියගේ [නොවේ නම් අනියම් බිරියකගේ -පරි.] ආලේඛ්‍යය වන ලේඩි විත් ඇන් අර්මින් (සුදු මුගටියෙකු රැගත් කත) ඔහුගේ ප්‍රථම මිලානෝ කෘති අතර වෙයි. එහෙත්, එම නගරය තුල ඔහුගේ කිරුලු පලන් කෘතිය බවට පත් වූයේ ද ලාස්ට් සපර් (අන්තිම රාත්‍රි භෝජනය) නමැති බිතුසිතුවම යි.

යථොක්ත කෘතියෙන් ලියනාර්ඩෝගේ සුධීමත්භාවය මොනවට විද්‍යමාන වෙයි. සිය කාර්යය සඳහා අතගැසීමට පෙර ධර්ම දූතයන් පිලිබඳ වඩා හොඳ අවබෝධයක් ලැබ ගනු වස්, හෙතෙම බයිබලයේ ඉතාලි පරිවර්තනයක් මිල දී ගති. ජ්‍යාමිතිය පිලිබඳව තමාට පැවති දැනුම නිසා සමස්ත බිතුසිතුවම යේසුස් මැදි වන සේ රාමුගත කිරීමට ලියනාර්ඩෝට හැකි විය. එහෙත්, මෙය ප්‍රස්තුත අවස්ථාව පිලිබඳ එක්තරා දාරුජ නිරූපනයක් වෙනුවට යේසුස්ගේ අවසන් දවස්වල පැවති බවට සැලකෙන අඬදබර අනාවරනය වන සිතුවමකි. නොඑසේ නම්, බර්න්ස්ගේ චිත්‍රපටයෙහි පෙනී සිටින කථකයා විසින් විස්තර කෙරුනු පරිදි, “වියවුල තුලින් සුසංගමය” නිර්මානය වීමකි. මානව මනෝභාවයේ සකල වර්නාවලිය යමෙකු ලියනාර්ඩෝගේ කෘතිය තුල දකී: “මා පාවා දෙන්නේ කවුද?” යනුවෙන් යේසුස් විමසන විට ගෝලයන් කෙරෙන් වික්ශෝභය මතු නොව භීතිය පවා දිස්වේ. සැබෑ ද්‍රෝහියා හෙවත් ජුදාස් තැති ගනු වෙනුවට සාවධානව සිටී.5 මීලඟට, යේසුස්ගේ දකුනුපසින් සිටින ස්ත්‍රිය (මරියා මග්දලේනා?) ධර්ම දූතයෙකු සමඟ මුකුලුපාන සෙයකි.

- ලියනාර්ඩෝ ඩා වින්සි, සුදු මුගටියෙකු රැගත් කත, 1489-1491 (දැව මත තෙල් සායම්, 21”x15”) [Photo]

රුසියානු මාක්ස්වාදියෙකු වූ ජෝර්ජි ප්ලෙහානොව් බිතුසිතුවමෙහි වස්තුවිශය පිලිබඳ ව මෙලෙස තර්ක කලේ ය:

“ඔබ අතරින් කෙනෙකු මා පාවා දෙනු ඇත” යි යේසුස් පවසන විට, එය ස්වකීය ගෝලයන් සමඟ ඔහුට පවතින සබඳතාවෙහි අතිශය නාටකීය මොහොත යි. ලියනාර්ඩෝ ඩා වින්සිගේ කාර්යභාරය වූයේ, සිය භයංකර හෙලිදරව්වෙන් දැඩිව සංවේගයට පත් යේසුස්ගේ ම සහ ඔවුන්ගේ කුඩා සංගමය තුල ද්‍රෝහියෙකු සිටිතැයි අදහාගත නොහැකි වූ ගෝලයන්ගේ ද මානසික තතු නිරූපනය කිරීම යි.”

අන්තිම රාත්‍රි භෝජනය සම්පූර්න කල ලියනාර්ඩෝ මෙලෙස පැවසූ බව ප්‍රකට ය: “කවදා හරි මෙවැන්නක් චිත්‍රගත වී තිබේ දැයි මට කියන්න!” ලියනාර්ඩෝට අනුව, සියල්ල චලනය වෙමින් ද, වෙනස් වෙමින් ද පැවතුනු අතර කිසිදු කෘතියක් සැබවින් ම නිම නොවිනි. ෆ්ලොරන්ස් වෙත පෙරලා පැමිනීමෙන් පසුව, ඔහුගේ අවසන් කෘතිය වන සුරුවමක් සදිසි මොනා ලීසා (1503) නිම කෙරිනි. 1498 දී ඝාතනයට ලක් වන තෙක්, (පියෙරෝ ඩි) මෙඩිසි විස්ථාපනය කරමින් පත් වූ, කතෝලික “ප්‍රතිසංස්කාරක” ගිරොලමෝ සැවොනරෝලාගේ අහිතකර බලපෑම්වලින් පසුව නගරය ප්‍රකෘතිමත් වෙමින් පැවතුනි.

මොනා ලීසා පිලිබඳව බර්න්ස් මෙලෙස පවසයි: “මොනා ලීසා ආලේඛ්‍යයකට වැඩි යමකි. ඒ වනාහි කලාවේ, විද්‍යාවේ හා ස්වාභාවික ලෝකයේ විලයනය ගවේශනය කරනුව කැප කල ජීවිතයක කූටප්‍රාප්තිය වන අතර, එහිලා ලියනාර්ඩෝ මනසෙහි හා මානව අත්දැකීමෙහි අබිරහස් ග්‍රහනය කරයි.”

1519 දී, යුරෝපයීය දේශපාලන හා සංස්කෘතික භූදර්ශනය වෙනස් වෙමින් පැවතුනු සේ ම ලියනාර්ඩෝ ද මිය ගියේ ය. රෙපරමාදු ප්‍රතිසංස්කරන ව්‍යාපාරය ලදරු අවධියෙහි පැවතුනු අතර දෙවසරකට පෙර මාටින් ලූතර් කතෝලික පල්ලියට එරෙහිව මැසිවිලි 95ක් නඟා තිබුනි. 1530 ගනන් වන විට, වතිකානුවෙන් බිඳෙන ලෙස එංගලන්තයේ අටවැනි හෙන්රි රජුට බල කිරීමට ද, අනතුරුව, (ලතින් බසින් විරචිත) ශේක්ස්පියර්ගේ කෘති, ඉංග්‍රීසි භාශාවට පෙරැලී ලෝක සාහිත්‍යයට එකතු වීමට ද නියමිත විය.

විද්‍යාත්මක විප්ලවය ඇරැඹෙනුයේ කොපර්නිකස් හා ගැලීලියෝ පෘථිවි කේන්ද්‍රීය විශ්වය පිලිබඳ ආධානග්‍රාහී මතයට අභියෝග කොට එය මුලිනුපුටා දැමීමත් සමඟිනි. කුප්‍රකට ධර්මාධිකරනය සහිත කතෝලික පල්ලිය ද, අනතුරුව [කතෝලික යලි පිබිදීමක් අපේක්ශිත] ප්‍රති-ප්‍රතිසංස්කරන ව්‍යාපාරය ද මෙකී බරපතල වෙනස්කම්වලට ප්‍රකෝපකාරීව ප්‍රතිචාර දැක්වී ය. මේ අතර, සෙවිල්ලේ යුගය සමඟ බැඳුනු යුරෝපා බලවතුන්ගේ ව්‍යාප්තිය ලෝක පරිමානව නැඟෙමින් පැවතුනි.

- ලියනාර්ඩෝ ඩා වින්සි, අන්තිම රාත්‍රි භෝජනය, 1495-1498 (ගෙසෝ තලය මත මැලියම් සමඟ ටෙම්පරා තීන්ත, 181”x346”) [Photo]

ලියනාර්ඩෝ ඩා වින්සි නිපදවීමට, බර්න්ස් හා ඔහුගේ හවුල්කරුවන් විසින් ගනු ලැබුනු තීරනය එලදායී ප්‍රතිඑල ගෙනැවිත් දී ඇත. මානව ප්‍රගතියේ ඊතලය තවදුරටත් එල්ල වී ඇති අතර ජරාජීර්න ධනේශ්වර ක්‍රමය හේතුකොටගෙන මානව සංහතිය මුහුන පා සිටින සියලු ගැටලු විසඳාගත හැකි ව පවතින බව ලියනාර්ඩෝගේ ජීවිතය අපට දෘඩතරව කියා සිටී. මනුශ්‍ය වර්ගයාගේ ඉරනම ගැන ලියොන් ට්‍රොට්ස්කිගේ ආකල්පය ශුභවාදී විය. ඔහු සිය සාහිත්‍යය හා විප්ලවය (1924) හමාර කලේ මතු දැක්වෙන අපූර්ව ඡේදයෙනි:

“අනාගත මිනිසා සේන්දු වනු ඇති ස්වයං-පාලනයේ අයම්විතර හෝ ස්වකීය ශිල්පක්‍රමය විසින් ඔහු රැගෙන යනු ඇති උන්නතාංශ හෝ පුරෝකථනය කිරීම උගහට ය. සමාජීය ගොඩනැඟීම සහ මනෝ-භෞතික ස්වයං-අධ්‍යාපනය එක ම සන්තතියෙහි දෙපැති බවට පත් වනු ඇත. සාහිත්‍යය, නෘත්‍යය, චිත්‍රකර්මය, සංගීතය හා ගෘහ නිර්මාන ශිල්පය ආදී සකල කලා මෙකී සන්තතියට රමනීය ස්වරූපයක් හිමි කර දෙනු ඇත. වඩා නිවැරදිව කියතොත්, කොමියුනිස්ට් මිනිසාගේ සංස්කෘතිකමය ගොඩනැඟීම හා ස්වයං-අධ්‍යාපනය බහාලීමට නියමිත කවචය විසින් සමකාලීන කලාවේ සියලු ප්‍රානභූත මූලිකාංග උච්චතම ලක්ශය කරා වර්ධනය කෙරෙනු ඇත. මිනිසා නොමිනිය හැකි සේ ශක්තිසම්පන්න ද, ප්‍රඥාවන්ත ද, විචක්ශනශීලී ද වනු ඇත. ඔහුගේ කය වඩා සුසංගත ද ඔහුගේ ගමන වඩා රිද්මයානුකූල ද, ඔහුගේ කටහඬ වඩා ලයාන්විත ද වනු ඇත. ජීවන රූපාකාර ගතිකව නාටකීය වනු ඇත. පොදු මානව ප්‍රවර්ගය ඇරිස්ටෝටල් කෙනෙකුගේ, ගර්තේ කෙනෙකුගේ නැතහොත් මාක්ස් කෙනෙකුගේ උච්චතර මට්ටමට නැඟී ගනු ඇත. මෙකී කඳුවැටියට ඉහලින් අභිනව ගිරිකුලු ඉස්මතු වනු ඇත.”

සමාජවාදය යටතේ මිනිසුන් නැඟී ගනු ලබන සහ අභිභවනු ලබන එකී ‘ශිඛර’ අතරට ලියනාර්ඩෝගේ නාමය ද මම එකතු කරමි.

පරිවර්තනය: දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකගේ අභිමතය පරිදි ය)

පරිවර්තකගේ සටහන්:

1. මාලිමාවක හා කෝදුවක (straight-edge) පමනක් ආධාරයෙන් හා අවම පියවර ගනනකින් දෙන ලද වෘත්තයක් තුල සමාන වර්ගඑලයක් සහිත චතුරස්‍රයක් ගොඩනැඟීමේ අභියෝගය (පුරාන භාරතීය හා ග්‍රීක ජ්‍යාමිතියෙහි අති දුශ්කර ගැටලුවකි.)

2. ආලෝකයේ හා අඳුරේ අපෝහකමය ස්වභාවය, එනම්, චලනය හා ගතිකය මතු නොව ප්‍රතිවිරෝධී ප්‍රපංචද්වය අතර පවතින අන්‍යොන්‍ය සබඳතාව – ඒකත්වය හා අන්තර් විනිවිදීම ද මෙකී ශිල්පක්‍රමයෙන් සුවිශද ව නිරූපනය වෙයි.

3. ත්‍රිමාන අවකාශයක සමාන්තර රේඛාද්වයක් “එකිනෙක හමුවන” හෙවත් බැලූබැල්මට “අතුරුදහන් වන” ලක්ශය; නිදසුන: ඈතට දිවෙන දුම්රිය පීලි.

4. ගුවන් යානා තාක්ශනයට මඟ පෑදුනු, පියාඹන පක්ශීන්ගේ ස්කන්ධ කේන්ද්‍රය හා පීඩන කේන්ද්‍රය අතර වෙනස මුල් වරට පැහැදිලි කෙරුනේ ලියනාර්ඩෝ විසිනි. ඔහුගේ කෝඩෙක්ස් ඔන් ද ෆ්ලයිට් ඔෆ් බර්ඩ්ස් (කුරුලු සැරි අත්පොත) තුල නිරූපිත විහඟ කොප්ටරය (ornithopter) බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් 2003 දී ප්‍රතිනිර්මානය කෙරී සාර්ථකව අත්හදාබැලිනි.

5. ජුදාස්ට ගැලපෙන ආදර්ශයක් සොයමින් ලියනාර්ඩෝ දින ගනන් මිලානෝහි වීදි පුරා සැරිසැරී ය. හේ අලසයෙකැයි පල්ලියේ උප පූජක තැන ආදිපාදවරයාට පැමිනිලි කල විට සුදුස්සෙකු හමු නොවුවහොත් තමා ඔහුගේ මුහුනුවර යොදා ගන්නා බවට හේ ගර්ජනා කලේ ය.

Loading