ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සහ කම්කරුවන්, පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කල යුතුයි

[මෙය Sri Lankan teachers and workers must defend School Development Officers යන මැයෙන් 2024 දෙසැම්බර් 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

විරෝධතාවයේ නිරත පාසල් සංවර්ධන නිලධාරී ගුරුවරුන්ට (පාසංනි) දෙසැම්බර් 2 දින එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සහ බොරු චෝදනා මත සහභාගීවූවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සති හතරකට ආසන්න කාලයක් ගතවී ඇත.

2024 දෙසැම්බර් 2 දින, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිටත පාසල් සංවර්ධන නිලධාරීන් විරෝධතාවයේ නියැලෙමින් [ඡායාරූපය පාසංනි විරෝධතාකරුවෙකුගෙනි] [Photo by SDO protester]

16,000 ක් පමන වන තම සේවා සගයන්ගේ ඉල්ලීම් නියෝජනය කරමින් පාසංනි 1000 ක් පමන මෙම උද්ඝෝෂනයට සහභාගි වූහ. තමන් ගුරු සේවයට සම්පුර්නයෙන්ම අන්තර්ග්‍රහනය කර ගන්නා ලෙසත්, විඳදරාගැනීමට බලකෙරී ඇති අසමාන ලෙස සැලකීමේ සේවා කොන්දේසි අවසන් කරන ලෙසත් පාසංනි ඉල්ලා සිටිති.

ගුරු සංගම් ඇතුලු සියලුම වෘත්තීය සමිති නිලධරය පාසංනි ඉල්ලීම්වලට විරුද්ධ වන අතර පොලිස් දඩයම ගැන නිහඬව සිටිති.

එකම ඉගැන්වීමේ රාජකාරියේ යෙදෙන නමුත් අඩු වැටුප් සහ දැඩි කොන්දේසි යටතේ සේවය කරන තම පාසංනි සගයන් ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකාවේ 250,000 ක් පමන වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

* පාසංනි හුදකලා කිරීමට වෘත්තීය සමිති නායකත්වයට ඉඩ නොදෙනු. ඔවුන්ගේ අරගලයට සහාය වන ලෙස අනෙකුත් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්න.

*කම්කරුවන් මෙසේ ඉල්ලා සිටිය යුතුය: පාසංනි ට එරෙහි පොලිස් දඩයම නතර කරනු; අත්අඩංගුවට ගත් අයට එරෙහි සියලු පොලිස් චෝදනා ඉවත් කරනු; පාසංනි ඉගැන්වීමේ සේවයට අන්තර්ග්‍රහනය කිරීම සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම ලබා දෙනු.

පාසංනි මෙම මස මුලදී ඔවුන්ගේ විරෝධතාව පැවැත්වූ දා සිට, ඔවුන්ට එරෙහිව දුෂ්ට කුමන්ත්‍රනයක් දිග හැර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශ කාර්යාලයේ දොරටුවෙන් පිටත ඔවුන්ගේ රැලියට එරෙහිව සුපුරුදු පොලිස් මර්දනය එල්ල වෙද්දී, පුදුම සහගත ලෙස, පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුනු ආයුධයකින් තුවාල ලබා ඇත.

විරෝධතාවයේ දී පාසංනි හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දැන් ඇප මත නිදහස්ව සිටින ඔවුන්ට, නීති විරෝධී ලෙස රැස්වීම, රථවාහන ගමනාගමනයට බාධා කිරීම සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා එල්ල වී තිබේ. වැරදිකරුවන් බව ඔප්පු වුවහොත්, ඔවුන්ට සිර දඬුවම් විඳීමට සහ දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇත.

අත්අඩංගුවට ගත් පාසංනි සිවුදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කල අතර, තුවාල ලැබූ කිසිදු පොලිස් නිලධාරියෙකු ඔවුන් සැකකරුවන් ලෙස හඳුනාගෙන නොමැත. බොහෝ පාසංනි විශ්වාස කරන්නේ, ඔවුන් විසින් රැලියේදී අල්ලාගෙන පොලිසියට භාර දුන් ආගන්තුකයෙකු පොලිස් නිලධාරීන් තිදෙනාට තුවාල කර ඇති බවයි.

පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කලේ එම පුද්ගලයා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවයි. කෙසේ වෙතත්, විරෝධතා සංවිධායකයින්ට නොදන්වා ම පොලිසිය ඔහුව නිදහස් කර ඇත.

දෙසැම්බර් 12 වැනිදා, වැඩබලන පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා බුද්ධි අංශ නිලධාරියකු නොවන බවයි.

කෙසේ වෙතත්, එම ප්‍රකාශයේ පුද්ගලයාගේ නම හෝ ඔහු විරෝධතාව තුල සිටියේ මන්ද, ඔහු නිදහස් කලේ කුමන හේතු මතද යන්න පැහැදිලි කර නැත. ඉන්පසුව, රාජ්‍ය බුද්ධි සේවය (එස්අයිඑස්), අනෙකුත් පාසංනි විමර්ශනය කිරීම සහ චෝදනා කිරීම අරඹා තිබේ.

දෙසැම්බර් 15 වෙනිදා, පොලිසිය විවිධ ප්‍රදේශවලින් පාසංනි තුන්දෙනෙකු කුදලාගෙන ගියේය. එක් අයෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ නමුත් තුවාල ලැබූ සියලුම පොලිස් නිලධාරීහු ඔහු තමන්ට පහර දුන් බව ප්‍රතික්ෂේප කලහ. පාසංනි තිදෙනා ඇප මත නිදහස් කර සිටිති.

පොලිසියට තුවාල කිරීම වෙනුවෙන් වගකිව යුතු “ප්‍රධාන සැකකරු” හඳුනාගෙන ඇති නමුත් ඔහු පලා ගොස් ඇති බව පවසමින්, පොලිසිය තවත් කතාවක් ගොතා ඇති බව දැන් පෙනෙන්නට තිබේ. ඔහුගේ ඡායාරූපය ලඟදීම මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත ය.

මාසයකට ආසන්න කාලයක් පුරා පැවති පොලිස් මෙහෙයුමේ ඉහල-මට්ටමේ ස්වභාවය පෙන්නුම් කරන්නේ, පාසංනි බිය ගැන්වීමට සහ ඔවුන්ගේ අරගලය ද, වඩාත් පුලුල් ලෙස, සමස්තයක් වශයෙන් කම්කරු පන්තියේ ප්‍රතිරෝධයත් තලා දැමීමට දිසානායක ආන්ඩුව අධිෂ්ඨානය කර ඇති බව යි.

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනාධිපති ධුරය සතු වුව ද, එහි ධනේශ්වර-ගැති පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තියේ කවර හෝ කොටසකින් මතුවන යම් හෝ විරුද්ධත්වයේ සලකුනක් පිලිබඳව එයට ඇත්තේ දැඩි චකිතයකි.

ජවිපෙ/ජාජබ බලයට පත් වූයේ, පසුගිය දශක හතක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කල සහ සමාජ ව්‍යසනයන් ඇති කල සම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි මහජන සතුරුකම ගසාකමිනි. 2022 මුල් භාගයේ ඓතිහාසික ආර්ථික බිඳවැටීමකට මුහුන දුන් පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටස්වල පිටුබලය නව පාලනයට ඇත. එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනු අප්‍රේල්-ජූලි ආන්ඩු විරෝධී මහජන නැගිටීම ඉක්මන් කලේ එම ආර්ථික බිඳවැටීමයි.

වෘත්තීය සමිති නායකයින් සහ ව්‍යාජ-වාම කන්ඩායම් විසින් මහජන ව්‍යාපාරය පාවා දුන් අතර, එය විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජවිපෙ සහ ඔවුන්ගේ අන්තර්වාර ආන්ඩුවක් සඳහා වන ඉල්ලීම් පිටුපසට හරවා යවන ලදී. මෙය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ඔසවා තැබීමටත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ප්‍රහාර පැනවීමටත් මග විවර කලේය.

එහි මැතිවරන මවාපෑම්වලට පටහැනිව, ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාමූඅ ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට මුලුමනින්ම කැපවී සිටී.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා දුගීන් විසින් මතු කරන ලද සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් කිසිවක් නව පාලන තන්ත්‍රය නොවිසඳනු ඇත. එය, කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල අරගල දිරිමත් කරනු ඇතැයි සැලකෙන කම්කරුවන්ගේ අවම ක්‍රියාවන් පවා තලා දැමීමට අධිෂ්ඨාන කර තිබේ.

පාසංනි අරගලය පොලිසිය විසින් මර්දනය කිරීම, කම්කරු පන්තියේ අනෙකුත් සෑම කොටසකම ඉල්ලීම් වලට මෙම ආන්ඩුව ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳ පැහැදිලි ඇඟවුමකි.

ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් සහ ආන්ඩුවට අයත් සංස්ථාවල සහ බැංකු අංශයේ සේවයේ නියුතු අනෙකුත් කම්කරුවන් 2023 සහ 2024 දී වික්‍රමසිංහ ආන්ඩුවෙන් වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා ඉදිරියට පැමිනයහ.

මෙම සියලු ක්‍රියා වලට වල කැපූ වෘත්තීය සමිති නිලධරය, ආන්ඩුවට බලපෑම් කල හැකි බව පවසමින් කම්කරුවන් නිෂ්ඵල විරෝධතා වලට යොමු කලහ. ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් ලැබුනේ නැත. මෙම නිලධරයන් දැන් මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් මාරාන්තික නිශ්ශබ්දතාවයක් රකිති. ඔවුන්ගේ මන්ත්‍රය, “ආන්ඩුව තවම අලුත්; එයට කාලය ලබා දිය යුතුයි!” යන්න යි.

ජවිපෙ මගින් පාලනය වන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේසං), ලංකා ගුරු සංගමය සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ඒකාබද්ධ ගුරු සේවා සංගමය පාසංනි ඉල්ලීම්වලට විරුද්ධ ය.

නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා ද වන ලංගුසේසං ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, දෙසැම්බර් 2 විරෝධතාව පැවැත්වීම සම්බන්ධයෙන් පාසංනි හෙලා දුටු අතර පොලිසියට තුවාල කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරීය. අනෙකුත් ගුරු සංගම් නිලධරයන් ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති නායකයෝ පාසංනි ඉල්ලීම් සහ ඔවුන්ට එරෙහි පොලිස් දඩයම ගැන මුලුමනින්ම නිහඬව සිටිති.

බදාදා (25), සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නායකයෝ සංගමයේ ඉල්ලීම් පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා මහනුවර ප්‍රධාන බෞද්ධ නිකායන්හි ප්‍රධාන සංඝනායකවරුන් හමුවූහ.

එම සංගමයේ නායකත්වය දරන දිනුදු බන්ඩාර පැවසුවේ, දෙසැම්බර් 2 විරෝධතාවට තම සංවිධානය සහභාගි නොවූයේ “ආන්ඩුවට කල් දිය යුතු” නිසා බවයි.

කාර්මික ක්‍රියාමාර්ග ගැන සිතිය යුත්තේ, සිවිල් සමාජයේ සහ දේශපාලන පක්ෂවල සහයෝගය ලබාගෙන බව ඔහු පැවසීය. නමුත් මෙම ඊනියා සිවිල් සමාජ කන්ඩායම් සහ විරුද්ධ පක්ෂ ශ්‍රී ලංකාවේ ධනවාදයට සහ ජාමූඅ වැඩපිලිවෙලට කැපවී සිටිති.

අතීතයේ දී මෙන්, පාසංනි ක්ෂේත්‍රයේ සමිති ඇතුලු වෘත්තීය සමිති නිලධරය, ආන්ඩුව සහ හාම්පුතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරමින්, කම්කරුවන්ගේ ඉල්ලීම් අවහිර කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය හෝ පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ ප්‍රහාරවල මීලඟ වටයට සූදානම් වෙමින් සිටී. දිසානායකගේ ආර්ථික උපදේශකයා මෑතකදී පැහැදිලි කල පරිදි, ආන්ඩුවේ වියදම් කපා හැරීම සඳහා රාජ්‍ය අංශයේ රැකියා 550,000 කට වැඩි ප්‍රමානයක් අතුගා දැමීමට සැලසුම් කර තිබේ. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන බදු වැඩිකිරීම් ද සූදානමේ පවතී.

ඒවායේ ආසන්නතම ස්වරූපය කුමක් වුවත්, මෙම දුෂ්ට සමාජ ප්‍රහාර සෑම රටකම කම්කරු පන්තියට එරෙහිව මුදා හරිමින් පවතී. මෙම ප්‍රහාරයට එරෙහිව එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපය සහ ඉන්දියාව තුල අරගල පුපුරා ගොස් ඇත.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) වෘත්තීය සමිති නිලධරයන්ගේ “බලා සිටීමේ ප්‍රතිපත්තිය” සහ කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කිරීමේ අනෙකුත් උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. කම්කරුවන් තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීම සඳහා, වතුකරයේ සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල සෑම සේවා ස්ථානයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හදිසි අවශ්‍යතාවයකි.

පාසංනි තම වෘත්තීය සමිති නායකයන් විසින් අනෙකුත් ධනේශ්වර පක්ෂ සහ ඊනියා සිවිල් සමාජ කන්ඩායම් වෙත කරන ආයාචනා ප්‍රතික්ෂේප කල යුතු අතර ඒ වෙනුවට තමන්ගේම ක්‍රියාකාරී කමිටු සංවිධානය කර කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරිය යුතුය.

වතුකරය, අධ්‍යාපන ක්ෂේත්‍රය, වරාය, ඇඟලුම් කර්මාන්ත, දුම්රිය, සෞඛ්‍ය, සහ සංක්‍රමනිකයන් සහ අනෙකුත් කම්කරුවන් අතර කම්කරුවන් විසින් ගොඩනගන ලද ක්‍රියාකාරී කමිටු නියෝජනය කරන කක්‍රිකසා, ඔබේ සටනට සහාය දක්වයි. මෙම සටන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡා කිරීමට අපි දෙසැම්බර් 15 සහ 22 යන දෙදින තුල සිංහල සහ දෙමල භාෂාවලින් ප්‍රසිද්ධ රැස්වීම් දෙකක් පැවැත්වීමු. තමන් ගෝලීය අරගලයක යෙදී සිටින බවත්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (කක්‍රික-ජාස) කොටසක් බවත් මෙම කමිටු හඳුනා ගනී.

වැඩිදුර සාකච්ඡා සඳහා කරුනාකර අප හා සම්බන්ධ වන්න:

දුරකථන: +94773562327

WhatsApp: +94773562327

ඊමේල්: action.committees.sl@gmail.com

Loading