[මෙය US high official visits Sri Lanka to enhance strategic ties යන මැයෙන් 2024 දෙසැම්බර් 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ, දෙසැම්බර් මස මුලදී, ඉන්දියාව සහ නේපාලය ඇතුලු කලාපයේ සංචාරයක් අතරතුර තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිනියේය. සංචාරයේ අරමුන වූයේ, වොෂින්ටනය චීනයට එරෙහි සිය යුද සූදානම තීව්ර කරන බැවින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සමග දකුනු ආසියාවේ සබඳතා තහවුරු කර ගැනීමයි.
යූඑස්ඒඩ් (USAID) නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් සහ භාන්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් සමඟින් පැමිනි ලු, සැප්තැම්බර් 23 දින බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු ශ්‍රී ලංකාවේ ඉහල පෙලේ දේශපාලන නායකයන් හමුවිය. නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරනයෙන් ජවිපෙ/ජාජබ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගත්තේය.
මැතිවරනය ශ්‍රී ලංකා දේශපාලනයේ තියුනු වෙනසක් සනිටුහන් කරයි. 2022 දී රට විදේශ නය ගෙවීම පැහැර හරිමින් උග්‍ර ආර්ථික හා සමාජ අර්බුදයකට ඇද වැටීමෙන් පසු, මින් පෙර කිසි දිනෙක ආන්ඩු බලය නොහෙබයවූ ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාජබ, සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ඇති මහජන අප්‍රසාදය ගසාකෑවේය. දැවැන්ත ජනතා නැගිටීමක් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පැන ගොස් ඉල්ලා අස්වීමට සිදු විය.
ලූගේ සංචාරයෙන් අනතුරුව, ඔක්තෝබර් 10 දින, එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් විසින් ද සංචාරයක් සිදු කරන ලදී. මෙම සංචාර දෙක පැහැදිලිවම නව ආන්ඩුව සමග සබඳතා තහවුරු කර ගැනීම සහ අඛන්ඩව පවතින සමීප මිලිටරි සහයෝගීතාව සහතික කර ගැනීම අරමුනු කර පවතී. 2022 දී දිසානායක සහ අනෙකුත් පක්ෂ නායකයින්, කොලඹ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ඇය, ජවිපෙ 'සැලකිය යුතු පක්ෂයක්' වනු ඇති බවත්, “ඇත්ත වශයෙන්ම ජවිපෙ නායකත්වය සමඟ සෘ ජුවම සම්බන්ධතා ඇතිකර ගැනීම” තම රාජකාරිය යැයි සිතන බවත් ප්‍රකාශ කලා ය.
ජවිපෙ/ජාජබ මැතිවරන ව්‍යාපාරයේ ප්‍රධාන ඵලකය වන “දූෂනයට” එරෙහි ඔහුගේ ආන්ඩුවේ ව්‍යාපාරයට වොෂින්ටනයේ සහයෝගය ප්‍රකාශ කරමින්, ලූ නොවැම්බර් 7 දා දිසානායක හමුවිය. “දූෂනයට” එරෙහි සටන ශ්‍රී ලංකා ආර්ථිකයේ අර්බුදය විසඳනු ඇතැයි යන ජවිපෙ කියාපෑම් අවධාරනය කරන්නේ, එය බොහෝ කලකට පෙර මාක්ස්වාදී සහ සමාජවාදී යන එහි ව්‍යාජ ප්‍රකාශ අත්හැර දමා, ධනවාදයේ ආරක්ෂකයෙකු ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම ඒකාග්ර වී ඇති බව යි.
ඩේලි මිරර් තීරු ලිපි රචකයෙකුගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරියෙක් මෙසේ පැවසීය: “ආර්ථික ප්‍රකෘතිය, ප්රජාතන්ත්රවාදී පාලනය සහ කලාපීය ආරක්ෂාව ඇතුලු ප්‍රධාන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමේදී එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ වැදගත්කම, ලූ අවධාරනය කලේය. විශේෂයෙන්ම, කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සාකච්ඡා කරන ලද ඩොලර් බිලියන 3 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඇප නයේ කොටසක් ලෙස ජාමූඅ කප්පාදු ඉල්ලීම් මුලුමනින්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේය.
ජවිපෙ දැනටමත් ඒ සමග මුලුමනින්ම පෙලගැසී ඇති අතර නය ගිවිසුමේ කරුනු නැවත සාකච්ඡා කිරීමට දුන් මැතිවරන පොරොන්දුව පැහැර හැර ඇත. නොවැම්බර් 21 දා පාර්ලිමේන්තුව අමතමින් සිය මංගල දේශනයේදී දිසානායක ප්‍රකාශ කලේ, ආර්ථිකය දැඩි අර්බුදයක පවතින බැවින් නැවත සාකච්ඡා කල නොහැකි බවයි.
“ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ කිසියම් ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවේද යන්න ” මිරර් විසින් අසන ලදුව, ලූ උපායශීලී ලෙස, ඒ ගැන පැහැදිලි නොකර සිටියේය. එක්සත් ජනපද ප්‍රතිපත්තිය ප්රජාතන්ත්රවාදය, ආර්ථික වර්ධනය සහ කලාපීය ආරක්ෂාව සඳහා දිගුකාලීන කැපවීම් පිලිබිඹු කරන බව ඔහු ප්‍රකාශ කල අතර එම 'මූලධර්ම' වෙනස් නොකරන බව ඇඟවුම් කලේය.
යථාර්ථය නම්, ෆැසිස්ට්වාදී ට්‍රම්ප් ජනවාරි 20 දා සිය ප්‍රවේශය සඳහා සූදානම් වන්නේ, සමාජ වියදම් සඳහා දැවැන්ත කප්පාදු සිදු කිරීමට, මිලියන ගනනක් සංක්රමනිකයන් පිටුවහල් කිරීමට සහ තම පොරොන්දු වලට පටහැනිව, එක්සත් ජනපද ආධිපත්‍යයට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව ආර්ථික සහ මිලිටරි යුද්ධ පවත්වාගෙන යාමට, ප්‍රකෝටිපති කතිපයාධිකාරීන්, යුදවාදීන් සහ ෆැසිස්ට්වාදීන්ගෙන් සමන්විත අන්ත දක්ෂිනාංශික කැබිනට් මන්ඩලයක් එකලස්කර ගනිමිනි.
පලමු ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති සහ ඔහුගේ මීලඟ පාලනයට ඔහු විසින් පත් කරගනු ලබන චීන-විරෝධී ගිජු ලිහිනියන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, චීනය සමඟ ආර්ථික හා මිලිටරි ගැටුම තියුනු ලෙස තීව්ර වනු ඇති බවයි.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ග හරහා මූලෝපායිකව ස්ථානගත වී ඇති අතර චීනයට එරෙහි පෙන්ටගනයේ යුද සැලසුම් සඳහා වැදගත් වේ. ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂන විශ්ව විද්‍යාලයේ ආචාර්ය චූලනී අත්තනායක, ඔක්තෝබර් 18 දින මෙසේ ලිවීය: “එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් මූලෝපායේ වැදගත් අංගයක් වන්නේ, ශ්‍රී ලංකාව වැනි කලාපීය හවුල්කරුවන්ගේ ධාරිතාව ගොඩනැගීම මගින් සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමයි.”
කෙසේ වෙතත්, ප්රතිගාමී කොමියුනිස්ට් විරෝධී දෝෂාරෝපන සඳහා ප්‍රසිද්ධ ට්‍රම්ප්, මාධ්‍ය විසින් “මාක්ස්වාදී” සහ “වාමාංශික” ලෙස සාමාන්‍යයෙන් විස්තර කරන දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුවට—ඔහු උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් සමඟ ඔහුගේ පලමු ධුර කාලය තුල කලාක් මෙන් හිරිහැර කරන්නේද, කේවල් කරන්නේද නැතහොත් මිතුරන් ලෙස සමීප වන්නේ ද යන්න නිශ්චිතවම පැහැදිලි නැත.
දිසානායක සහ ජවිපෙ/ජාජබ, ට්‍රම්ප් පරිපාලනය ඉල්ලා සිටින ඕනෑම දෙයකට ඉඩ දීම සඳහා තව දුරටත් දකුනට මාරු වනු ඇති බව නිශ්චිතව කිව හැකි දෙයකි. මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ සිංහල ජනතාවාදයේ මිශ්‍රනයක් මත පදනම් වූ සුලු ධනේශ්වර සංවිධානයක් වන ජවිපෙ, බොහෝ කලකට පෙර ම එහි චීන ගැති සහ එක්සත් ජනපද විරෝධී පූච්චානම් කතා ඉවත දැමීය.
චීනය ද ශ්‍රී ලංකා ආන්ඩුවට ආයාචනයක් කිරීමට උත්සාහ කරයි. නොවැම්බර් 25 දා, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සන් හයියන් ප්රමුඛ චීන නියෝජිත පිරිසක් දිසානායක හමුවිය.
ශ්‍රී ලංකාව සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට චීනයේ සූදානම ප්‍රකාශ කල නිලධාරීන් ආයෝජන ප්‍රවර්ධනය, තාක්ෂන හුවමාරුව, ඩිජිටල්කරනය සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය වැනි ක්ෂේත්‍ර සඳහා සහයෝගය ලබා දුන්හ. දින පහකට පසුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙංහොං අතර චීන-ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම පිලිබඳ සාකච්ඡාවක් පැවැත්විනි.
මෑත මැතිවරන ව්‍යාපාර වලදී දිසානායක ඇඟවුම් කලේ, විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ස්වාධීන, සහයෝගී ප්‍රවේශයක් පවත්වාගෙන යනු ඇති බවයි. කෙසේ වෙතත්, ජාමූඅ නය “යලි සාකච්ඡා කිරීමට” ඔහුගේ පොරොන්දුව මෙන්, එක්සත් ජනපදය හා චීනය අතර තුලනය වීමට ආන්ඩුව දරන උත්සාහයන් ඉක්මනින් වාෂ්ප වී යනු ඇත. වොෂින්ටනය, එය අවශ්‍ය යැයි සලකන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය සහ ඒ සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ පේනුව (plug) ගලවා දැමීමට එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට හැකි බව දිසානායක හොඳින් දනී.