ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි

[මෙය Sri Lanka: Workers action committee discusses defence of school development officers යන මැයෙන් 2024 දෙසැම්බර් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) විසින් දෙසැම්බර් 15 දින සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීමට 60 දෙනෙක් පමන සහභාගී වූහ. ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලමින් පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි) ගෙන යන අරගලය සම්බන්ධයෙන් සහ දිසානායක ආන්ඩුවේ ආරම්භකත්වයෙන් පාසංනි ක්‍රියාකාරීන්ට එරෙහිව ගෙනයම්න් පවත්නා පොලිස් තාඩන පීඩනවලට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න පිලිබඳව සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්විනි.

සමාජවාදී සමානතා පක්ෂයේ ෆේස්බුක් පිටුවේ විකාශනය කරන ලද රැස්වීමට සහභාගී වූවන් අතරට, පාසංනි සහ අනෙකුත් කම්කරුවෝ මෙන්ම සසප සාමාජිකයෝ ද ඇතුලත් වූහ. විකාශනය 3,600 කට අධික පිරිසක් සජීවීව නරඹා ඇති අතර මෙය ලියන අවස්ථාව වන විට 215 වතාවක් බෙදාහදාගෙන (share) ඇත.

2024 දෙසැම්බර් 2 දින, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිටත පාසල් සංවර්ධන නිලධාරීන් විරෝධතාවයේ නියැලෙමින් [ඡායාරූපය පාසංනි විරෝධතාකරුවෙකුගෙනි] [Photo by SDO protester]

දෙසැම්බර් 2 වෙනිදා, පාසංනි 1,000 කට ආසන්න පිරිසක් තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය ලෙස ඉල්ලා, කොලඹ බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂන කලහ. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ, විරෝධතාව මැඩපැවැත්වීම සඳහා සිය ගනනක් පොලිස් නිලධාරීන් බලමුලු ගැන්වීමෙනි. පාසංනි හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන, දින අටක් රක්ෂිත බන්ධනාගාරගත කර දැඩි ඇප කොන්දේසි මත මුදා හැරින ලදී.

අන්තර්ජාල රැස්වීම, කම්කරුවන් මෙම ගැටලු පිලිබඳව දැනුවත් කිරීමත්, ඔවුන් ආරක්ෂා කිරීමත් සඳහා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා දියත් කෙරුනු දැඩි උද්ඝෝෂනයක කොටසක් විය.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ කැඳවුම්කරු, සසප දේශපාලන කමිටුවේ සාමාජිකයෙකු සහ ගුරුවරයෙකු වන කපිල ප්‍රනාන්දු මෙම රැස්වීමේ මුලසුන දැරීය. පාසංනි ප්‍රධාන ඉල්ලීම—ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීම—සම්පූර්නයෙන්ම යුක්තියුක්ත බව ඔහු පැහැදිලි කලේය.

බොහෝ පාසංනි වසර හතරකට වැඩි කාලයක් ඉගැන්වීමේ යෙදී සිටිති; ඔවුන් බොහෝ විට විෂය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නියැලී සිටින අතර සාමාන්‍ය ගුරුවරුන් වැඩ අවසන් කරන ප.ව 1:30 සමග සසඳා බලන කල ප.ව 3:30 දක්වා දීර්ඝ කාලයක් වැඩ කරති. එසේ තිබියදීත්, ඔවුන්ට ගෙවනු ලබන්නේ, සාමාන්‍ය ගුරුවරුන්ට වඩා රුපියල් 6,500 ක් අඩු මාසික වැටුපකි.

ප්‍රනාන්දු, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකි බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින්, සිය සාමාජිකයින් නිෂ්ඵල විරෝධතා වලට සීමා කිරීම පිලිබඳව, පාසංනි වෘත්තීය සමිති නායකත්වය විවේචනය කලේය.

ජවිපෙ මගින් පාලනය වන ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධානියා සහ දැන් ශ්‍රී ලංකාවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා වන මහින්ද ජයසිංහ, ගුරුවරුන් බඳවා ගැනීම තරඟ විභාග මත පදනම් විය යුතු බවත්, වයස අවුරුදු 35 ට අඩු අයට පමනක් සීමා කල යුතු බවත් අවධාරනය කරමින් පාසංනි ඉල්ලීම් වලට ප්‍රසිද්ධියේ විරුද්ධ වී ඇත.

කපිල ප්‍රනාන්දු [Photo: WSWS]

පාසංනි මත ජවිපෙ/ජාජබ ආන්ඩුව එල්ල කරන ප්‍රහාර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර සහ ගෝලීය වශයෙන් ධනේශ්වර ආන්ඩු විසින් කම්කරුවන් මත එල්ල කරන උග්‍රවන සමාජ ප්‍රහාර වෙනුවෙන් කොලඹ ආන්ඩුවේ පූර්න කැපවීමට අනුකූල බව ප්‍රනාන්දු රැස්වීමේදී පැවසීය.

ඔහු දෙසැම්බර් 7 දා නිකුත් කල කක්‍රිකසා ප්‍රකාශයෙන් උපුටා දැක්වීය: “අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතර දෙනා ජනාධිපති දිසානායකගේ ආන්ඩුව විසින් ගෙන යන පන්ති යුද්ධයේ පලමු ගොදුරයි. කම්කරු පන්තියට එවැනි ප්‍රහාර දිගටම පැවතීමට ඉඩ දිය නොහැක. අපගේ පන්තියේ එක් කොටසකට එල්ල වන ප්‍රහාරයක්, අප සැමට එරෙහි ප්‍රහාරයකි.”

සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන සිය වාර්තාවේ දී පැවසුවේ, පාසංනි 16,000 ක්, වසර හතරක් තිස්සේ ඉගැන්වීමේ රාජකාරි ඉටු කරන අතර ඔවුන්ට 'ගුරු සේවය' සඳහා හිමිකම් පෑමට පූර්න අයිතියක් ඇති බවයි. “කම්කරුවන් වශයෙන්, පාසංනි වරුන්ට තම ඉල්ලීම් වෙනුවෙන් වැඩවර්ජන කිරීමට, විරෝධතා දැක්වීමට සහ උද්ඝෝෂන කිරීමට අයිතියක් තියෙනවා. ඔවුන් දෙසැම්බර් 2 වැනිදා අභ්‍යාස කිරීමට උත්සාහ කලේ මෙම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යි,” ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ විරෝධතාව බිඳ දැමීම සඳහා පොලිසිය යෙදවීමෙනි. පාසංනි හතර දෙනෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනය වෙත රැගෙන ගිය අතර එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුනි. නීතිවිරෝධී ලෙස රැස්වීම සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුකිරීම ඇතුලු චෝදනාවලට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර තුනක සිරදඬුවමක් සහ දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

විජේසිරිවර්ධන රැස්වීමට පැවසුවේ, මෑත දිනක තවත් පාසංනි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඉන් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් දෙදෙනා ඇප මත මුදා හරින ලද බවත් ය. විරෝධතාවයට ආන්ඩුව දක්වන ප්‍රතිචාරය, දිසානායක ආන්ඩුව විසින් කම්කරුවන්ට එරෙහිව තව දුරටත් එල්ල කිරීමට යන ප්‍රහාර පිලිබඳ පෙරනිමිති පෙන්නුම් කරන බවට ඔහු අනතුරු ඇඟවීය.

'සසප සහ කක්‍රිකසා පැහැදිලි කර ඇති පරිදි, පාසංනි ට එරෙහි මෙම ප්‍රහාරය, සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයක් ලෙස හඳුනා ගන්නා ලෙස අපි කම්කරුවන්ගෙන් හා දුගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා' විජේසිරිවර්ධන තවදුරටත් පැවසීය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව ද ඇතුලුව, මහ මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරයේ දී නොයෙකුත් පොරොන්දු දුන් ජවිපෙ/ජාජබ ම, කම්කරුවන්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මෙම නීතිය භාවිතා කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

“මේ ආන්ඩුව කම්කරු විරෝධී අධිරාජ්‍යවාදී ගැති ආන්ඩුවක්. එය කම්කරුවන් දඩයම් කිරීම සඳහා ම්ලේච්ඡ ක්‍රම භාවිතා කරනවා; දෙසැම්බර් 2 විරෝධතාවයට, ප්‍රකෝපකාරීයෙකු ලෙස රාජ්‍ය බුද්ධි නිලධාරියෙකු යැවීමෙන් ඒක පෙන්නුම් කරනවා,” විජේසිරිවර්ධන පැවසීය.

මෙම ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා දැඩි ලෙස හෙලා දැකීමට, ප්‍රකාශ නිකුත් කිරීමට සහ තම සේවා ස්ථානවල විරෝධතා සංවිධානය කිරීමට සහ සියලු චෝදනා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට පාසංනි සහ සෙසු කම්කරු පන්තිය ඉදිරියට පැමිනියයුතු බව කථිකයා පැවසීය.

පානි විජේසිරිවර්ධන [Photo: WSWS]

මාධ්‍ය හා වෘත්තීය සමිති නිතර නිතර මතුරන “ආන්ඩුවට කාලය දෙන්න” යන මන්ත්‍රය කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතු බව විජේසිරිවර්ධන පැවසීය. පාසංනි බවට පත් වූ බොහෝ දෙනා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව යටතේ, බොහෝ විට එදාවේල පිරිමසා ගඅනීමේ පදනමින් සහ සොච්චම් වැටුප් සඳහා බඳවා ගැනීමට පෙර, ස්ථිර රැකියාවක් නොමැතිව වසර ගනනාවක් බලා සිටි අය බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු තවදුරටත් කියා සිටියේ, මෙම රැකියා, කිසිවක් නොමැතිව සිටිනවාට වඩා හොඳ වුවත්, ජීවත් වීමට සරිලන වැටුපක් ලබා නොදෙන බව යි.

කම්කරුවන් පුද්ගලීකරනයට එරෙහිව හෝ ඉහල වැටුප් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම කොලඹ ආන්ඩු කුරිරු පොලිස් සහ මිලිටරි උපක්‍රම වෙත යොමු වී ඇත. වත්මන් ආන්ඩුවද ඊට වෙනස් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම්වලට අනුව, දිසානායක පරිපාලනය රැකියා ලක්ෂ ගනනක් අවදානමේ තබමින්, රාජ්‍ය ව්‍යවසාය (රාව්‍ය) 400 කට අධික ප්‍රමානයක් පුද්ගලීකරනය, වානිජකරනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගනිමින් සිටී. දිසානායක ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පසුගියදා ප්‍රකාශ කලේ, රාජ්‍ය අංශයේ රැකියා 550,000 ක් වහා ඉවත් කල යුතු බවයි.

ගමන් මග වෙනස් කරන ලෙස ආන්ඩුවට බලපෑම් කල හැකි බවට කරන ප්‍රකාශ දේශපාලනිකව මාරාන්තික බව විජේසිරිවර්ධන පැවසීය. මූල හේතුව පවතින්නේ, මානව අවශ්‍යතාවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන ධනේශ්වර ක්‍රමය තුලය.

කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු අතර ආන්ඩුවට සහ ලාභ පද්ධතියට එරෙහිව සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ඒකාබද්ධ අරගලයක් දියත් කල යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

මෙයින් අදහස් කරන්නේ විශාල සංගත, බැංකු සහ වතු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු බවයි. නිෂ්පාදනය ප්‍රතිව්‍යුහගත කල යුත්තේ ලාභය සඳහා නොව, සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ය. කම්කරුවන්ට යහපත් වැටුප් සහතික කිරීම සඳහා ධනපතියන් කිහිප දෙනෙකු අත ඇති අතිමහත් ධනය අත්පත් කරගෙන රැකියා උත්පාදනය කරන විශාල පොදු ව්‍යාපෘති වෙත යොමු කල යුතු බව විජේසිරිවර්ධන පැවසීය.

මෙම වැඩපිලිවෙලට ඇති ලොකුම බාධාව ධනවාදය හා බැඳුනු වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධාන බව ඔහු තවදුරටත් පැවසීය. මෙම ආයතන, ක්‍රමය සඳහා ආරක්ෂිත කපාට ලෙස ක්‍රියා කරන අතර පවත්නා ධනේශ්වර තත්වයන්ට සහාය වේ.

අනෙක් අතට, සසප, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත දුප්පත් ගොවීන් පෙලගස්වා ගන්නා වූ හා කම්කරු පන්තිය තුල මුල් බැසගත් මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහාත් උද්ඝෝෂනය කරයි.

ධනේශ්වර දේශපාලන පක්ෂවලින් සහ ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ග්‍රාමීය ප්‍රජාවන්හි, සෑම වැඩබිමකම, කර්මාන්තශාලාවකම සහ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය. මෙම කමිටු, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ගැන සාකච්ඡා කිරීම සඳහා කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට නියෝජිතයින් තෝරා ගත යුතුය.

මෙයට පහත ඉල්ලීම් ඇතුලත් වේ: ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු එපා; පුද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම එපා; සියලුම රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු; සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු.

මේ අරගලය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ජාත්‍යන්තරව සංවිධිත ප්‍රාග්ධනයට එරෙහිව ලොව පුරා කම්කරුවන් එක්සත් විය යුතු අතර විකල්පය ජාත්‍යන්තර සමාජවාදය විය යුතුය. මෙය ඉදිරියට ගෙන යාම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දැනටමත් කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් පිහිටුවීම ආරම්භ කර ඇති බව පවසමින් කථිකයා කතාව සමාප්ත කලේය.

වෘත්තීය සමිති නායකත්වය විසින් දඩයමට එරෙහිව අධිකරනය තුල අභියාචනා ඉදිරිපත් කිරීමට කම්කරුවන් යොමු කරන කොන්දේසි යටතේ, පාසංනි ඔවුන්ගේ සටන සංවිධානය කල යුත්තේ කෙසේදැයි, ප්‍රශ්නෝත්තර සැසියේදී එක් ප්‍රේක්ෂක සාමාජිකයෙක් ඇසුවේ ය.

පාසංනි මුහුන දෙන ප්‍රශ්නවල මූලාරම්භය ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙන් වෙන් කල නොහැකි බවත්, පොරොන්දු තිබියදී, කිසිදු ආන්ඩුවකට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දිය නොහැකි බවත් විජේසිරිවර්ධන පැහැදිලි කලේය. වෘත්තීය සමිති, ධනේශ්වර පර්යාය ක්‍රියාත්මක කරන්නන් ලෙස සේවය කරන අතර, බොහෝ විට, පාලක පන්තියට සේවය කරන අධිකරනයෙන් යුක්තිය ඉටුකර ගැනීමට කම්කරුවන් තල්ලු කරයි.

ධනේශ්වර අධිකරනය, අපක්ෂපාතී යයි කියා සිටිය ද, ඒවා තහවුරු කරන්නේ පාලක පන්තියේ අවශ්‍යතා බව ඔහු පැහැදිලි කලේ ය. පන්ති අරගලය උත්සන්න වන විට උසාවිවල ධනේශ්වර පන්ති ස්වභාවය වඩාත් විවෘතව හෙලිදරව් වේ.

“සේවා යෝජකයන්ගේ නීති විරෝධී ක්‍රියා හෙලිදරව් කිරීමට සහ වලක්වා ගැනීමට අපට අධිකරනයට යා හැකිය, නමුත් ඒ අවසානයක් ලෙස නොවේ. අපගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීම සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම කෙරෙහිය,'' විජේසිරිවර්ධන පැවසීය.

වෘත්තීය සමිති නායකයෝ, ඊට වෙනස්ව, කම්කරුවන්ට මෙම උසාවිවලින් යුක්තිය දිනා ගත හැකි බව අවධාරනය කරති. ධනේශ්වර රාමුව තුල කම්කරුවන් කොටු කිරීමට උත්සාහ කරමින්, ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට ඔවුන් විරුද්ධ ය.

සාකච්ඡාවට එකතු වූ සසප සහකාර ලේකම් සමන් ගුනදාස, 2023 දී වික්‍රමසිංහ ආන්ඩුව විසින් සමුපකාර තොග වෙලඳ ආයතනය (සතොස) වසා දැමීම සහ එහි සියලුම කම්කරුවන් සේවයෙන් පහ කිරීම ගැන සඳහන් කලේය. මෙම ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය වෙත හැරීමට සතොස වෘත්තීය සමිති නායකත්වය විරුද්ධ වූ අතර, කම්කරුවන්ට අධිකරනයේදී යුක්තිය දිනා ගත හැකි බව අවධාරනය කරමින් නඩු පවරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදයක පවතින බැවින් ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව මැදිහත් නොවන බව අධිකරනය තීන්දු කලේය.

තවත් ප්‍රේක්ෂක සාමාජිකයෙකුට මහජන විප්ලවවාදී පක්ෂයක් සඳහා සසප කැඳවීම සහ පෙසපයේ ජන අරගල සන්ධානය (ජඅස) අතර වෙනස දැන ගැනීමට අවශ්‍ය විය.

සසප කම්කරු පන්තිය මත පදනම් වන අතර ධනවාදය පෙරලා දැමීම සඳහා මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා සටන් කරන බව විජේසිරිවර්ධන පැවසීය.

ජඅස කම්කරු පන්තිය තුල මුල් බැස නොගත් නමුත්, අනෙකුත් මධ්‍යම පන්තික කන්ඩායම්වල සහයෝගය ඇතිව පෙසප විසින් පිහිටුවන ලද පෙරමුනක් වන එය, කම්කරුවන් ධනේශ්වර පක්ෂවලට දේශපාලනිකව යටත් කිරීම සඳහා ක්‍රියාත්මක වේ.

ඔවුන්ගේ පන්ති ස්වාධීනත්වය සඳහා සටන් කිරීමට කම්කරුවන් සංවිධානය කිරීමේ සසප වැඩපිලිවෙල, ජඅස පන්ති සහයෝගීතාවයේ ජාතිකවාදී වැඩපිලිවෙලට මූලික වශයෙන් විරුද්ධ ය. දැනට, ජඅස දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහය දක්වයි, එය “මහජන අපේක්ෂාව” නියෝජනය කරන බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරයි.

විජේසිරිවර්ධන පැවසුවේ, පෙසප, පාසංනි ට එරෙහිව ආන්ඩුව කරන දඩයම හෙලා දකිනවා තබා, කිසිවක් ලියා හෝ නැති බවයි. පෙසප මගින් පාලනය වන එක්සත් ගුරු සේවා සංගමය පාසංනි ගේ නීත්‍යානුකූල ඉල්ලීම්වලට එරෙහිව අනෙකුත් ගුරු සංගම් සමඟ පෙල ගැසී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

Loading