පොලීසිය, විරෝධතාවයේ යෙදුනු පාසල් සංවර්ධන නිලධාරීන්ට පහර ​දී සිවුදෙනෙකු අත්අඩංගුවට ගනී

[මෙය Sri Lankan police attack protesting School Development Officers, detaining four යන මැයෙන් 2024 දෙසැම්බර් 04 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

දෙසැම්බර් 02 දා, කොලඹට තදාසන්න බත්තරමුල්ලේ දී, පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි) 500ක පමන සහභාගිත්වයෙන් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට පොලිස් නිලධාරීහු පහර දුන්හ.

2024 දෙසැම්බර් 2 දින, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිටත පාසල් සංවර්ධන නිලධාරීන් විරෝධතාවයේ නියැලෙමින් [ඡායාරූපය පාසංනි විරෝධතාකරුවෙකුගෙනි] [Photo by SDO protester]

නීති විරෝධී රැස්වීමක කොටස්කරුවන් වීම, රථවාහන ගමනාගමනයට බාධා කිරීම සහ පොලිසියට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුව​න් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කරන ලදී. පසුව ඔවුන් දෙසැම්බර් 10 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබා ගත්තේය.

මෙම පොලිස් ප්‍රහාරය සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමකි. ජනාධිපති දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) තන්ත්‍රය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර මුලුමනින්ම ක්‍රියාවට නැංවීමේ තම පොරොන්දුවට අභියෝග කරන කම්කරුවන්ගේ ඕනෑම ක්‍රියාමාර්ගයක් තලා දැමීමට පසුබට නොවනු ඇත.

02 දා විරෝධතාව ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය (ඒසංනිසං) විසින් කැඳවා තිබූ අතර, එය බත්තරමුල්ලට නුදුරු ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විනි.

විශේෂ සංවර්ධන නිලධාරීන් ලෙස නම් කර ඇතත්, මොවුන් සේවය කරන්නේ පාසල්වල ගුරුවරුන් ලෙසට ය. විරෝධතාකරුවෝ, “පාලකයිනි, ප්‍රමාද නොකරනු! පාසංනි වහාම ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරනු!” යන සටන් පාඨ සහිත පුවරු අතැතිව එම සටන්පාඨ හඬ නැගූහ. 2021 සිට මෙම ඉල්ලීම මත ම පාසල් සංවර්ධන නිලධාරී​න් වැඩ වර්ජන සහ විරෝධතා රාශියකට සහභාගි වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුලුවීම වැලැක්වීම සඳහා බලමුලු ගැන්වූ පොලිස් නිලධාරීන් 200 ක පිරිසක් සාමකාමී විරෝධතාකරුවන්ට අතින් හා පයින් පහර දෙමින් උද්ඝෝෂනය බිඳ දැමීමට උත්සාහ කලහ. විරෝධතාවය අසල ජල ප්‍රහාරක ර​​ථ සීරුවෙන් තබා තිබුනි. පොලිසිය, විරෝධතාකරුවන් පාරෙන් ඉවතට තල්ලු කර, පදික වේදිකාවට ගෙන ගොස්, ක්‍රියාකාරීන් හතර දෙනෙකු අල්ලා ත්‍රිරෝද රථයක සහ ජීප් රථයක දමාගෙන රැගෙන ගියේය. ගැටුමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

අත්අඩංගුවට ගත් එල්.පී.එස්. අබේවික්‍රම, එච්.වයි.එල්. පෙරේරා, කේ.එම්.ජී. කොස්වත්ත සහ එච්.ඩබ්ලිව්. ආරච්චිගේ යන අය සඳුදා සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කරන ලදී. ඔවුන් දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මුලින් නියෝග කලේය. අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ඊයේ ප්‍රතික්ෂේප කලේය.

2020 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව උපාධිධාරීන් 50,000 ක් පමන රාජ්‍ය සේවයට බඳවා ගත් අතර 2022 ජනවාරි මාසයේදී ඔවුන් ආර්ථික සංවර්ධන නිලධාරීන් (ආසංනි) ලෙස ස්ථිර කරන ලදී.

2021 දී උපාධිධාරීන් 16,000 ක් පමන පාසංනි ලෙස ගුරු සේවයේ යොදවා ඇත. එම සුදුසුකම් ම ඇති ස්ථීර ගුරු සේවයේ අයට වඩා ඔවුන්ගේ මාසි​ක වැටුප රුපියල් 6,500 කින් අඩු ය.

විරෝධතාව අතරතුර, ඒසංනිසං කැඳවුම්කරු විරාජ් මනුරංග මාධ්‍ය වෙත පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන තරඟ විභාගවලට ද යටත් වන පාසංනි, පසුගිය වසර පහක කාලය තුල නිල වශයෙන් ගුරුවරුන් ලෙස ඒකාබද්ධ කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටි බවයි.

විරෝධතාවයට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් පසු, ඒසංනිසං කැඳවුම්කරු විරාජ් මනුරංග ඇතුලු පාසංනි 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසකට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සේනාරත්න හමුවීමට අවසර ලැබුනි. “ප්‍රශ්නයක් ඇති බව' සේනාරත්න 'පිලිගත්” බවත් පාසංනි ඉල්ලීම් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවත්, ​මනුරංග පසුව විරෝධතාකරුවන්ට පැවසීය.

ඒසංනිසං නායකත්වය සඳුදා විරෝධතාව කැඳවූයේ ඔවුන්ගේ අඩු වැටුප් සහ නරක අතට හැරෙන සමාජ තත්වයන් සම්බන්ධයෙන් සාමාජිකයින් තුල නැගෙන කෝපයට ප්‍රතිචාරයක් වශයෙනි. ගුරුවරුන් හා ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන්නන් සඳහා යහපත් වැටුප් හා සේවා කොන්දේසි දිනා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ සියලුම කම්කරුවන්ගේ ඒකාබද්ධ දේශපාලන හා කාර්මික අරගලයකට එරෙහි වන ඒසංනිසං නායකත්වය, තම ඉල්ලීම් ලබා දීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුවට බලපෑම් කල හැකිය යන මිත්‍යාව වැපිරීමට උත්සාහ කරයි.

පොලිසියට සිදුවූ ඇතැම් තුවාල, තියුනු ආයුධවලින් සිදුවූ ඒවා බව වාර්තා කර ඇති කොලඹ මාධ්‍ය, විරෝධතාකරුවන්ට දොස් පැවරීමට උත්සාහ කර ඇත. එය ප්‍රතික්ෂේප කල මනුරංග පැවසුවේ, මෙම ප්‍රහාර, විරෝධතාකරුවන්ගේ කීර්ති නාමයට හානි වන පරිදි වන පරිදි ප්‍රකෝපකාරීන් වි​සින් දියත් කල ඒවා වි​ය හැකි බවයි. විරෝධතාකරුවන්, ඔවුන් අතර සිටි “ආගන්තුකයෙකු” අල්ලා පොලිසියට භාර දෙන අයුරු වීඩියෝ දර්ශන පෙන්නුම් කරයි.

සඳුදා පොලිස් පහරදීම සහ විරෝධතාවයේ නිරත පාසංනි අත්අඩංගුවට ගැනීම, ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය තලා දැමීමට තමන්ට හැකි සෑම දෙයක්ම කරන බව පෙන්නුම් කෙරෙන තවත් අවස්ථාවකි. ජාතික මැතිවරනවලදී ජවිපෙ/ජාජබ තොරාම්බල් කල “ශක්තිමත්” ආන්ඩුවේ සැබෑ මුහුනුවර මෙයයි.

දැන් ජවිපෙ/ජාජබ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් වන දිගුකාලීන වෘත්තීය සමිති නිලධරීහු සඳුදා විරෝධතාව ප්‍රසිද්ධියේ හෙලා දකිති.

සංවර්ධන නිලධාරීන්ගේ සහ උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් සහ දැන් ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන චන්දන සූරියආරච්චි මාධ්‍ය පැවසුවේ තමන් පාසංනි ගේ ඉල්ලීම්වලට සම්පූර්නයෙන්ම විරුද්ධ බවයි. ඔහු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සන්ධානයක් වන රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සාමූහිකයේ ප්‍රධානියා ද වේ.

ශ්‍රී ලංකාවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ. ජයසිංහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් සහ ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම කාරක සභාවේ දීර්ඝ කාලීන සාමාජිකයෙකි. [ඡායාරූපය: ෆේස්බුක්/මහින්ද ජයසිංහ] [Photo by Facebook/Mahinda Jayasinghe]

ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම කාරක සභිකයෙකු සහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්වරයෙකු වන මහින්ද ජයසිංහ, දැන්, කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාය. ඔහු ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින්, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට දොස් පැවරූ අතර, “මෙවැනි අවාසනාවන්ත සිදුවීම් [පෙර] කිසිදා සිදුවී නැතැ” යි පැවසීය. ඔහුගේ චෝදනා සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරන ජයසිංහ, ඇත්ත වශයෙන්ම, විරෝධතාකරුවන්ට එරෙහිව රාජ්‍ය දඩයමක් දිරිමත් කරයි.

සඳුදා, ජාජබ/ජවිපෙ කැබිනට් මන්ඩලය, “විසඳුමක්” සූදානම් කිරීම සඳහා, අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුලත් “අමාත්‍ය කමිටුවක්” පත් කිරීමට තීරනය කලේය.

සංවර්ධන නිලධාරීන් සහ උපාධිධාරීන්, “ඔවුන්ගේ නිපුනතා සහ වෘත්තීය සුදුසුකම් නිසි ලෙස ඇගයීමකින් තොරව සිදු කර ඇති” බඳවා ගැනීම පිලිබඳව, කැබිනට් මන්ඩලයේදී සාකච්ඡා කල බව, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසීය.

“නිසි බඳවා ගැනීමක්, සේවා කාලය තුල පුහුනුවක් සහ පැහැදිලි රාජකාරි පැවරීමක් නොමැතිකම, අපේක්ෂිත කාර්ය සාධන ප්‍රමිතීන් සපුරාලීමේ ලා මෙම නිලධාරීන්ට බාධාවක් වී ඇත,” යි ඔහු පැවසීය. කැබිනට් මන්ඩලයේදී ද මේ ගැන සාකච්ඡා කෙරුනි.

මෙම සාකච්ඡාව සහ විශේෂ කැබිනට් කමිටුවක් පත්කිරීමෙන් පැහැදිලි වන්නේ, දිසානායකගේ කැබිනට් මන්ඩලය පාසංනි ගේ දිගුකාලීන ඉල්ලීම් කිසිවක් ලබා නොදෙන බව ය. ඒ වෙනුවට එය ඔවුන්ගේ “කාර්ය සාධන ප්‍රමිතීන්” විමර්ශනය කරනු ඇත.

සඳුදා විරෝධතාව, ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව පුරා සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ගම්බද මහජනතාව තුල වැඩෙන කෝපය පුපුරායාමේ ආරම්භය පමනි.

2022 අප්‍රේල්-ජූලි මාසවල රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන ව්‍යාපාරය අවුලුවාලූ, එම ආන්ඩුව බිඳවැටීමට හේතු වූ සහ ඔහුට ඉල්ලා අස්වීමට බල කලා වූ සමාජ ප්‍රශ්න කිසිවක් විසඳී නැත.

අපකීර්තියට පත් පාර්ලිමේන්තුවම යොදාගනිමි​න් අන්තර්වාර ආන්ඩුවක් ගොඩනැගී​ම සඳහා විපක්ෂ​යේ ජවිපෙ සහ සමගි ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීම්වලට පිටුබලය දුන් වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම මහජ​න නැගිටීම පාවා දුන්හ. ඩොලර් බිලියන 3 ක ඇපනයකට හිලවු වසයෙන්, ඉහල බදු, සුබසාධන කප්පාදු සහ අනෙකුත් සමාජ ප්‍රහාර ඇතුලු දරුනු කප්පාදු පියවර පැනවීම සහ තවත් මිලියන ගනනක් ජනයා දරිද්‍රතාවයට ඇද දැමීම සඳහා ජාමූඅ සමග සාකච්ඡා කල රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීමට මග පෑදුවේ මෙය යි.

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත පක්ෂවල විරුද්ධවාදීන් ලෙස පෙනී සිටිමින්, දිසානායක සහ ඔහුගේ ජාජබ/ජවිපෙ ජනාධිපතිවරන හා පාර්ලිමේන්තු මැතිවරන වලදී කියා සිටියේ, තමන් ජාමූඅ හි දැඩි කොන්දේසි “යලි සාකච්ඡා කරන” බවයි. ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිවල පිටුබලය ලද මෙම මුසාවන් ජනතාව රැවටීමට යොදා ගන්නා ලදී. නොවැම්බර් 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී, දිසානායක, තම ආන්ඩුව ජාමූඅ වැඩපිලිවෙල සම්පූර්නයෙන්ම ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කරමින් ඔහුගේ පොරොන්දුව පැහැර හැරියේය.

නව මහජ​න නැගිටීමක් ගැන බියෙන් සිටියද, ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සෑම කොටසක්ම මෙන් ජාජබ/ජවිපෙ තන්ත්‍රයද, ඔවුන්ගේ ස්වාමිවරුන් වන ජාමූඅ, විදේශ ආයෝජකයින් සහ ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සියල්ල කරනු ඇත. මහ මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරයේදී ජාජබ අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි කියා සිටියේ, බලයට එන ජවිපෙ/ජාජබ පාලනය මගින් වර්ජන අවසන් කරන බවයි. ආන්ඩු​ව එය සිදු කරන්​නේ කෙසේද යන්න, විරෝධතාවයේ නිරත පාසංනි කම්කරුවන්ට සඳුදා එල්ල වූ ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරයෙන්  පැහැදිලි වෙයි.

පාසංනි ගුරුවරුන්ට එරෙහි රාජ්‍ය ප්‍රහාරය බැරෑරුම් ලෙස සලකන ලෙසත්, ඔවුන්ගේ ඉල්ලීම්වලට සහාය දෙන ලෙසත්, අත්අඩංගුවට ගත් සියලු දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලා බලමුලු ගැන්වෙන ලෙසත් අපි දිවයින පුරා සිටින කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කර ඇති පරිදි, කම්කරුවන්ට ජවිපෙ/ජාජබ ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගවලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව සටන් කල හැකි එකම මාර්ගය සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය වීම යි. කම්කරු පන්තිය හා නාගරික හා ගම්බද දුගීන් මුහුන දෙන දැවෙන සමාජ ගැටලු කිසිවක් ධනේශ්වර ක්‍රමය යටතේ විසඳිය නොහැක.

ඒ සඳහා ඉදිරි මාවත වන්නේ, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, සංගත සහ මහා වතු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයයි.

මේ සඳහා සෑම සේවා ස්ථානයකම, වතුකරයේ සහ තදාසන්න ප්‍රදේශයකම කම්කරුවන් සහ ග් ප්‍රදේශවල දුගීන් විසින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. මෙම ඉදිරිදර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවන ලෙස සසප ඉල්ලා සිටී.

Loading