ඉදිරිදර්ශන

ඇමරිකාවේ තුතිදන් උත්සවය 2024 : කම්කරු පන්තියට සමාජ විනාශය සහ කතිපයාධිකාරීන්ට තවතවත් බිලියන

[මෙය Thanksgiving in America 2024: Social devastation for the working class, billions more for the oligarchs යන මැයෙන් 2024 නොවැම්බර් 27 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2024 තුතිදන් උත්සව දිනයේදී, ඇමරිකානු ජනගහනයේ පුලුල් පිරිසකට ස්තුතිවන්ත වීමට තරම් දෙයක් නොමැත. නිවාස, ආහාර, සෞඛ්‍ය, ලමාරක්ෂක, ප්‍රවාහනය යන සියලු අවශ්‍යතා සඳහා උද්ධමනය වූ මිල ගනන් කම්කරු පන්තික පවුල් මත බර පටවමින් තිබේ. ඇමරිකානු එක්සත් ගොවිපල කාර්යාංශයට (American Farm Bureau Federation) අනුව, තුතිදන් ආහාර වේලක මිල 2019 පූර්ව-වසංගත තත්වයට වඩා සියයට 19 කින් ඉහල ගොස් ඇති කොන්දේසි යටතේ, කම්කරුවෝ තම පවුල් වලට සහ මිතුරන්ට චාරිත්‍රානුකූල කලුකුම් රාත්‍රි භෝජනයකින් සංග්‍රහය කිරීමට අරගලයක යෙදී සිටිති.

2022 පෙබරවාරි 20 වැනි දින, නිව් යෝර්ක් නගරයේ සෙන්ට්‍රල් පාර්ක් සිට බැලූවිට දිස්වන, මැන්හැටන් හි “බිලියනර්ස් රෝ” හි අහස උසට නැගි සුඛෝපභෝගී නේවාසික ගොඩනැගිලි. [ඒපී ඡායාරූප/ටෙඩ් ෂැෆ්‍රි] [AP Photo/Ted Shaffrey]

එහෙත් ධනවතුන් සහ සුපිරි ධනවතුන්ගේ වටපිටාවේ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් යථාර්ථයකි. වෝල් වීදියේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ වතුයායේ, ධවල මන්දිරයේ සහ කැපිටල් හිල්හි ෂැම්පේන් වීදුරු එකිනෙක ගැටෙන හඬ නැගෙද්දී, ජෝ බයිඩන් යටතේ, කොටස් වෙලඳපොල වර්ධනය කර දැවැන්ත පරිමානයෙන් වාසි නෙලා ගත් ඇමරිකාවේ කතිපයාධිකාරීන් සහ ඔවුන්ගේ දේශපාලන අතවැසියන්, ඉදිරියේදී පැමිනෙන ට්‍රම්ප් පරිපාලනය යටතේ, එවා අති මහත් ලෙස විශාල කර ගැනීමට සූදානමින් සිටිති.

නික්ම යන ජනාධිපති බයිඩන් සිය නිවාඩුව ගත කරන්නේ, කාලයිල් ගෲප් හි ප්‍රකෝටිපති සම-නිර්මාතෘ ඩේවිඩ් රූබන්ස්ටයින්ගේ නන්ටකට් (Nantucket) නිවසේය. පරාජිත ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් හවායි හි හිරු එලිය තපිමින් සිටින්නීය. ඔවුන්ට ඡන්දය දුන් බොහෝ දෙනෙක්, ඒ අතරින් ට්‍රම්ප්ගේ ඡන්දදායකයන් බොහෝ දෙනෙක් යන්තම් වේල පිරිමසා ගැනීමට අරගල කරමින් සිටිති.

[Photo: WSWS]

බයිඩන් යටතේ ඇමරිකාවේ ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව 800 දක්වා වර්ධනය වූ අතර ඔවුන්ගේ සාමූහික ධනය සියයට 62 කින්, එනම් ඩොලර් ට්‍රිලියන 6.2 ට වඩා වැඩි විය (ට්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් පසු කොටස් වෙලඳපොල ඉහල යාමෙන් එකතු වූ අතිරේක බිලියන සිය ගනන ගනන් නොගත් විට). පසුගිය වසරේ දෙසැම්බර් වන විට ඇමරිකානුවන්ගේ ඉහලම සියයට 1, රටෙහි සමස්ත පුද්ගලික ආදායමෙන් සියයට 21 ක් ලබා ගත් අතර එය පහල සියයට 50 ට හිමි ධනයට වඩා දෙගුනයකටත් වැඩිය. ඇමරිකානුවන්ගෙන් ඉහලම සියයට 1 ට රටෙහි සමස්ත පුද්ගලික ධනයෙන් සියයට 35 ක් ද ඉහලම සියයට 10 ට සියයට 71 ක් ද හිමි වූ අතර පහල සියයට 50 ට හිමි වූයේ සියයට 1 ක් පමනි.

සති අටකට අඩු කාලයකදී, ට්‍රම්ප්ගේ ප්‍රකෝටිපතියන්, ෆැසිස්ට්වාදීන් සහ හොර ජාවාරම්කරුවන්ගේ කන්ඩායම බලයට පත්වීමට නියමිතය. එය මහා පිටුවහල් කිරීම් සහ රාජ්‍ය මර්දනය, යුද්ධය උත්සන්න කිරීම සහ ජන සංහාරය, ධනවතුන් සඳහා තව දුරටත් බදු කප්පාදුව, සමාජ ආරක්ෂන ජාලයේ ඉතිරිව ඇති දේ විනාශ කර දැමීම, මහජන සෞඛ්‍ය හා මහජන අධ්‍යාපනය බිඳ දැමීම සහ මහා ව්‍යාපාරිකයන් මත ඇති සියලුම රෙගුලාසි පාහේ ඉවත් කිරීමේ න්‍යාය පත්‍රයක් පැනවීමට උත්සාහ කරනු ඇත. පක්ෂ දෙකම සහ සමස්ත දේශපාලන පද්ධතියම පාලනය කරන මූල්‍ය පරපෝෂිතයින්ට දේවල් රෝස පැහැයෙන් දිස්විය නොහැක.

ඩොලර් බිලියන 300 ක ධනයක් ඇති ට්‍රම්ප්ගේ ගජමිතුරා සහ ලෝකයේ ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් සහ තවත් ප්‍රකෝටිපතියෙකු වන විවේක් රාමස්වාමි ට්‍රම්ප්ගේ නව රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ මුදුනට පත්වනු ඇත; එහිදී ඔවුහු ෆෙඩරල් අයවැය ඩොලර් ට්‍රිලියන 2 කින් කප්පාදු කිරීමට සැලසුම් කරති. මෙයින් අදහස් කරන්නේ මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂනය ඉවත් කිරීමත්, ලක්ෂ සංඛ්‍යාත රජයේ සේවකයන් සේවයෙන් පහ කිරීමත් ය.

[Photo: WSWS]

මෙය පතිත වන්නේ මහජනතාව සඳහා දැනටමත් දිග හැරෙමින් පවතින සමාජ ව්‍යසනයක් මතට ය. 2023 දෙසැම්බර් මාසයේදී බ්ලූම්බර්ග් නිව්ස් සඳහා හැරිස් පෝල් විසින් කරන ලද සමීක්ෂනයක දී ඇමරිකානුවන්ගෙන් සියයට 40 ක් පමන කියා සිටියේ, ජීවත්වීම සඳහා මෑත කාලයේ, ඔවුන්ගේ පවුලේ අය තම දෛනික ආදායමට අමතරව, අමතර මුදල් මත යැපීමට සිදුවූ බවයි. ඔවුන්ගෙන් සියයට 38 ක් කියා සිටියේ අමතර මුදල් කිසිවක් ඉතිරි නොවී ඔවුන්ගේ මාසික වියදම් යන්තම් පියවා ගත් බවයි; සියයට 23 ක් කියා සිටියේ එය ඔවුන්ගේ බිල්පත් ගෙවීමටවත් ප්‍රමානවත් නොවූ බවයි.

පසුගිය දෙසැම්බරයේ සිට, මොටර් රථ, ගුවන්, සිල්ලර හා අනෙකුත් අංශවල විශාල දොට්ට දැමීම් තවදුරටත් ව්‍යාප්ත වෙමින් කම්කරු පන්ති පවුල් තවදුරටත් විනාශ කර ඇත. මෙම කොන්දේසි දැනටමත් වෘත්තීය සමිති නිලධරයට එරෙහිව කම්කරුවන් කැරලි ගැසූ සහ පාවාදීමේ කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කරන වැඩ වර්ජන රැල්ලක්—බෝයිං හි, නැව් තටාකවල, මොටර් රථ අංශ තුල—අවුලුවා ඇත.

මේ, තුතිතිදන් උත්සව දිනයේ, ඇමරිකානු ජනතාවගේ පුලුල් ස්ථරයන් මුහුන දෙන සමාජ යථාර්ථයේ ප්‍රධාන දර්ශක කිහිපයකි

කුසගි
න්න

• වඩාත්ම මෑත දී, සංගනන කාර්යාංශයේ ගෘහස්ථ තත්ව සමීක්ෂනයට (ඔක්තෝබර් 2023) අනුව, සෑම ඇමරිකානු වැඩිහිටියන් අට දෙනෙකුගෙන් එක් අයෙකු ම ප්‍රමානවත් ආහාර ලබා ගැනීමට අරගල කරයි. රට පුරා සිටින වැඩිහිටියන් මිලියන 28 කට ආසන්න ප්‍රමානයක්—එමෙන්ම, වැඩිහිටි ජනගහනයෙන් සියයට 12.5 ක්—ජීවත් වන නිවෙස් වල සමහර විට හෝ බොහෝ විට කෑමට ප්‍රමානවත් තරම් අහාර නොවේ. කෝවිඩ්-19 වසංගතයේ පලමු වසරෙන් පසු වාර්තා වූ ඉහලම අගය මෙයයි.

නිවාස නොමැතිකම

නිවාස නොමැතිකම අවසන් කිරීම සඳහා වූ ජාතික සන්ධානයේ “නිවාස නොමැති තත්ව” ලේඛනයේ 2024 සංස්කරනය, මෙසේ වාර්තා කරයි:

• 2023 දී, නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ වසරින් වසර වැඩිවීම සියයට 12.1 ක් වූ අතර එය 2007 දී දත්ත රැස්කිරීම ආරම්භ වූ දා සිට විශාලතම වැඩිවීමයි.

• 2022 සිට 2023 දක්වා සමස්ත පවුලට ම නිවාස නොමැතිකම සියයට 15.5 කින් වැඩි විය.

• වෙන කවරදාටත් වඩා වැඩි පිරිසක් පලමු වරට නිවාස නොමැතිකම අත්විඳිති. 2019 සිට 2023 දක්වා, පලමු වරට හදිසි නවාතැන් වලට ඇතුලු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියයට 23 කට වඩා වැඩි විය. 2023 කාලය තුල මිලියනයකට ආසන්න ජනතාවක් පලමු වරට නිවාස නොමැතිකම අත්විඳිති.

• නිවාස පිරිවැයේ බර තියුනු ලෙස වැඩි වෙමින් පවතී. 2015 සිට 2022 දක්වා කාලය තුල ඔවුන්ගේ ආදායමෙන් සියයට 50 කට වඩා වැඩි ප්‍රමානයක් කුලී ගෙවන නිවැසියන්ගේ සංඛ්‍යාව සියයට 12.6 කින් නාටකාකාර ලෙස ඉහල ගොස් ඇත.

• හිසට සෙවනක් සහිතව නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමානයක් සහ හිසට සෙවනක් රහිතව නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින්ගෙන් අඩකට වඩා මඳක් අඩු ප්‍රමානයක් විධිමත් ලෙස රැකියාවල නිරත වේ.

දරිද්‍රතාව

• ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට (ඕඊසීඩී) අනුව, ලෝකයේ වඩාත්ම සංවර්ධිත රටවල් 26 අතර ඉහලම දරිද්‍රතා අනුපාතය ඇත්තේ එක්සත් ජනපදය තුල ය. එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල (යුනිසෙෆ්), ලෝකයේ ධනවත්ම ජාතීන් 35 ට සාපේක්ෂව ආර්ථික විද්‍යාඥයින් “සාපේක්ෂ ලමා දරිද්‍රතාවය” ලෙස හඳුන්වන මිනුමට අනුව මෙක්සිකෝවට පසු දෙවන ස්ථානයේ එක්සත් ජනපදය සිටී.

• 2023 දී එක්සත් ජනපද සංගනන කාර්යාංශයට අනුව, නිල එක්සත් ජනපද දරිද්‍රතා අනුපාතය සියයට 11.1 කි. 2023 දී දරිද්‍රතාවයේ සිටින ජනතාව මිලියන 36.8 කි.

ආයු කාලය

• 2023 මුල් භාගය වන විට එක්සත් ජනපදයේ සමස්ත ආයු කාලය වසර 76.4 ක් වූ අතර එය වසර 20 කට වැඩි කාලයක් තුල අඩුම අගය වේ.

ලෝකයේ ධනවත්ම රටේ මෙවැන්නක් සිදු වූයේ කෙසේද? පිලිතුර ධනවාදයයි. මේ වනාහි, කම්කරු පන්තිය විසින් සියලු ධනය නිෂ්පාදනය කරන්නාවූ ද, එසේ නිෂ්පාදන කරන ධනයෙන් දැවැන්ත කොටසක් ක්‍රමානුකූලව පැහැර ගන්නාවූ ද, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත ලාභය සඳහා නිෂ්පාදනය කෙරෙන්නාවූ ද, ඓතිහාසික වශයෙන් යල් පැන ගිය ජාතික-රාජ්‍ය රාමුව මත ආර්ථික ජීවිතය පාදක කර ගත්තා වූ ද, පද්ධතියකි.

එක්සත් ජනපදයේ අසීමාන්තික කතිපයාධිකාරියේ සහ පරපුටුවාදයේ මට්ටම් විශේෂයෙන් විකාර සහගත වන්නේ, ද්වි-පක්ෂ ක්‍රමය මගින්, කම්කරු පන්තිය පාලක ප්‍රභූවට මුලුමනින්ම දේශපාලනිකව යටත් කිරීම හේතුවෙනි. වෘත්තීය සමිති නිලධරය සහ ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන් (ඩීඑස්ඒ) වැනි ඩිමොක්‍රටික් ගැති කන්ඩායම්වල එල්ලී සිටින ව්‍යාජ වම්මුන් විසින් කම්කරු පන්තිය දේශපාලන ජීවිතයෙන් බැහැර කිරීම බලාත්මක කරනු ලැබේ.

මෙය පිලිබිඹු වන්නේ, මිනිස් ජීවිතය පවත්වා ගැනීමට පවා ප්‍රමානවත් නොවන, පැයකට ඩොලර් 7.25 ක් ලෙස පවතින ෆෙඩරල් අවම වැටුප වැනි කරුනුවලිනි. මේ අතර, ද්වි-පක්ෂ ඒකාධිකාරය වසරකට ඩොලර් ට්‍රිලියනයක් යුද්ධයට සහ මිලිටරියට වැය කරයි; වසරකට ට්‍රිලියනයක් ඩොලර් ට්‍රිලියන 34 ක ජාතික නය ගෙවීමට වියදම් කරන අතර එය ඉහල යමින් පවතී. බැංකු සහ ආරක්ෂක අරමුදල් සෘජුවම පොහොසත් කරන, අවසානයේ සඳහන් කල ගෙවීම්, 2008 සහ 2020 වෝල් වීදියේ අර්බුද වලදී මූල්‍ය ප්‍රභූව ගලවා ගැනීම සඳහා වෙන් කරන ලද ඒකාබද්ධ ඩොලර් ට්‍රිලියන 12 කට අමතරව පවතින ඒවා ය.

ට්‍රම්ප්ට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත කම්කරුවන් එසේ කලේ, මිලියන 40 ක ජනතාව මෙඩිකේඩ් ලේඛනවලින් ඉවත් කිරීම ඇතුලුව උද්ධමනයේ හා කප්පාදුවේ විනාශකාරී බලපෑම කෙරෙහි බයිඩන් සහ හැරිස්ගේ නොසැඟවුනු උදාසීනත්වයට විරෝධය දැක්වීමක් වශයෙනි. ඔවුන් ආඥාදායකත්වයට, සංක්‍රමනික කම්කරුවන් වහාම පිටුවහල් කිරීම සඳහා මිලිටරිය විසින් පොලිස් ගාල් කඳවුරුවල ගාල් කිරීමට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය යුද්ධය චීනය වෙත ව්‍යාප්ත කිරීමට, ගාසාවේ ජන සංහාරය සඳහා වොෂින්ටනයේ සහයෝගය වැඩි කිරීමට හෝ තවත් රැකියා සහ මූලික සමාජ සේවා මිලියන ගනනක් විනාශ කිරීම සඳහා ඡන්දය දුන්නේ නැත.

ට්‍රම්ප් යටතේ සිදුවන දෙයින් ඔවුන් මවිතයට හා කෝපයට පත් වනු ඇති අතර, ඔවුන් දැවැන්ත ලෙස හා විප්ලවවාදී පරිමානයෙන් විරුද්ධ වනු ඇත. ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ සුවිශිෂ්ට “රුසියානු විප්ලවයේ ඉතිහාසය” තුල “සාර් (එවක රුසියාවේ රජු) සහ සාරිනා (රැජින)” සඳහා පරිච්ඡේදයක් කැප කලේය; එහි දී විප්ලවවාදී නැගිටීම් ආසන්නයේ පාලක පන්තීන්ට වැලඳි බව පෙනෙන ඥානන අන්ධභාවය ගැන ඔහු ලිවීය. එහි ඔහු මෙසේ ලිවීය:

තම මාලිගා ද්වාරය වෙතට රලපතර නගමින් ගලා එමින් තිබූ ඓතිහාසික ගංවතුරට, රොමානොව් පෙලපතේ අන්තිමයා විරුද්ධ වූයේ අඥාන උදාසීනත්වයකිනි. ඔහුගේ සවිඥානකත්වය සහ ඔහුගේ යුගය අතර, විනිවිද පෙනෙන නමුත් පරම අපාරගම්‍ය මාධ්‍යයක් ඇති බව පෙනෙන්නට තිබුනි.

ට්‍රොට්ස්කි තවදුරටත් ලියයි:

සාර්ට මත්ද්‍රව්‍ය අවශ්‍ය නොවීය: මාරාන්තික “මත්ද්‍රව්‍යයක්” ඔහුගේ රුධිරය තුල විය. විප්ලවයට තුඩු දුන් යුද්ධයේ සහ දේශීය අර්බුදයේ එම මහා සිදුවීම්වල පසුබිම මත එහි රෝග ලක්ෂන විශේෂයෙන් කැපී පෙනෙන ලෙස පෙනෙන්නට තිබුනි.

ඇමරිකානු පාලක පන්තිය ඓතිහාසික ගනන් බැලීමකට මුහුන දී සිටී. ෆැසිස්ට්වාදයට හා ලෝක යුද්ධයට ලිස්සා යාම නැවැත්විය හැකි සහ ආපසු හැරවිය හැකි සමාජ බලවේගය වන්නේ එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියයි. එය සටන් කරනු ඇත; නමුත් එයට විද්‍යාත්මක මාක්ස්වාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සහ මූලෝපායක් සහ නව නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය වේ; එය සාක්ෂාත් කරගත හැක්කේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට, සමාජවාදී සමානතා පක්ෂයට සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පමනි. අන්තරායන් දකින සහ සටන් කිරීමට අවශ්‍ය සියල්ලන්ටම අප කියන්නේ, සසපට බැඳෙමින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ සමාජවාදය සඳහා අරගලය භාර ගන්නා ලෙසයි!

Loading