මහමැතිවරනය - 2024

සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි

පහත පල වන්නේ, සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර විසින්, නොවැම්බර් 7 සහ 8 යන දිනයන්හි, පිලිවෙලින් ජාතික රූපවාහිනියේ “අයි” නාලිකාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය තුලින්, තම පක්ෂයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් කල කතාවන් හි පෙල යි.

***

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර [Photo: WSWS]

සහෝදරවරුනි, සහෝදරියනි,

සමාජවාදී සමානතා පක්ෂය, 2024 මහ මැතිවරනයේ දී, කොලඹ, යාපනය සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක තුනට අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරමින් තරඟ වදිනවා.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය මෙම පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් වෙන්නෙ, අධිරාජ්‍යවාදී යුද්ධයට, ධනපති පාලක පන්තිය ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙලට සහ ඔවුන්ගේ ආඥාදායක පාලන සැලසුම්වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යි.

ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වූ සැනින් පාර්ලිමේන්තුව විසුරුවල මහමැතිවරනයක් කැඳවල තියෙන්නෙ, ඔහුම කියන අන්දමට තම නායකත්වය යටතෙ “ශක්තිමත් ආන්ඩුවක්” ගොඩ නගා ගන්න.

මොකට ද මේ “ශක්තිමත් ආන්ඩුවක්” ?

දිසානායකට අවශ්‍ය වෙන්නෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිර්දේශිත ඒ කප්පාදු අකුරටම ක්‍රියාවට නැංවීමට ශක්තිමත් ආන්ඩුවක්. එනම්, මහජන සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සහනාධාර සඳහා වන ආන්ඩුවේ වියදම් උපරිමයෙන් කප්පාදු කිරීමට, මහජනතාව මත පටවා ඇති දැවැන්ත බදු බර තවත් වැඩි කිරීමට, රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකිනීමට සහ රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් විනාශ කිරීමට ඔහුගේ අත ශක්තිමත් කරන ආන්ඩුවක්.

දිසානායක බලයට පත්වෙල ගතවුනු මාස එකහමාර තුල, ජාමූඅ හි කප්පාදු වෙනුවෙන් ඔහුගෙ කැපවීම ඉහලින්ම පෙන්නල තියෙනව. “ප්‍රතිසංස්කරන ප්‍රයත්නයන් දිගටම ගෙන යාමට බලධාරීන්ගේ කැපවීම” තමන්ව “දිරිමත්” කරන බව පවසමින් ජාමූඅ දිසානායක ආන්ඩුවට ප්‍රශංසා කලා.

ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය, ජනතා විමුක්ති පෙරමුන “වාමාංශික” ව්‍යාපාරයක් ලෙසට, සමහරවිට “මාක්ස්වාදී” හා “සමාජවාදී” ලෙසට පවා ව්‍යාජව හුවා දක්වනවා. ඊට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධව, ජවිපෙ කියන්නෙ, ශ්‍රී ලාංකික ජාතිකවාදයේ සහ සිංහල ස්වෝත්තමවාදයේ කර වටක් ගිලී සිටින දක්ෂිනාංශික ධනපති පක්ෂයක්.

ජවිපෙ හි මෙම කම්කරු-විරෝධී ධනපති ස්වභාවය දිසානායක බලයට පැමිනි වහාම ප්‍රකාශයට පත්වුනා. ඔහු පිහිටුවාගත් ත්‍රිපුද්ගල කැබිනෙට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක, ඇමති විජිත හේරත් ඔක්තෝබර් මුල දී කියා සිටියේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බරයේ නිර්දේශ කල රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, වත්මන් “ආර්ථික තත්වය” හමුවේ කිසිසේත් ක්‍රියාත්මක කල නොහැකි බවයි.

මෙය මිලියන 1.4 ක් වූ රාජ්‍ය සේවකයන්ට එල්ල කරන ලද මරු පහරක්. ආන්ඩුව මෙම වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කරන්නේ උද්ධමනය හේතුවෙන් කම්කරුවන්ගේ මූර්ත වැටුප්, 2022 දී සියයට 27 කින් සහ 2023 දී සියයට 22 කින් පහත වැටුන තත්වයක.

මෙය, ජාමූඅ විසින් නියම කරන කප්පාදු අකුරටම ක්‍රියාවට නංවන බවට ජාත්‍යන්තර ප්‍රාග්ධනයට දිසානායක ආන්ඩුව දුන් පැහැදිලි සංඥාවක්.

ඔක්තෝබර් 30 දා පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවෙදි ජවිපෙ ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් කියා සිටියා, ඔවුන්ගෙ ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමක් හෝ සංශෝධනය කිරීමක් නොකරන බව. මේක මේ පනත ඇතුලු සියලු මර්දන නීති අහෝසි කරන බවට ඔවුන්ගේ ජනාධිපති මැතිවරන ප්‍රකාශයෙන් දීල තිබුනු පොරොන්දුවක් අතහැර දැමීමක්.

මේ ජවිපෙ ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන නීති දිගටම පවත්වා ගෙන යන්නෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමන කොට ඒවාට එරෙහිව අනිවාර්්‍යයෙන් ම පැන නගින කම්කරු පන්තියේ හා මහජනතාවගේ අරගල තලා දැමීම ඉලක්ක කරගෙන යි.

පසුගිය සතියෙ මැතිවරන රැස්වීමක දී ජවිපෙ නායකයෙක් වන ලක්ෂ්මන් නිපුනආරච්චි ප්‍රකාශ කලා, ඔවුන්ගෙ ආන්ඩුව යටතෙ ඉදිරියෙ දි ස්ට්‍රයික් ඉතිහාසය නැති වන බව. මෙහි අර්ථය නම්, ඔවුන්ගෙ ආන්ඩුව යටතෙ කම්කරු පන්තියේ මූලික අයිතියක් වන වර්ජන අයිතිය අහෝසි කරන බව යි. එනම්, ඔවුන්ගේ ආන්ඩුව මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමන කොට එයට එරෙහිව පැන නගින වර්ජන ඇතුලු කම්කරු පන්තියේ අරගලවලට විරුද්ධව තහංචි පනවා ඒවා ම්ලේච්ඡ ලෙස මර්දනය කරන බවයි.

ඒ නිසා අපි කම්කරු පන්තියට කියා සිටිනවා, ජවිපෙ ආන්ඩුව යටතේ එල්ලවන මෙම රුදුරු කප්පාදු වැඩපිලිවෙලට සහ ම්ලේච්ඡ මර්දන පිලිවෙත්වලට මුහුන දී ම සදහා දේශපාලනිකව සූදානම් විය යුතුයි කියා.

ශ්‍රී ලංකාව තුලත්, ජාත්‍යන්තරවත්, කම්කරු පංතිය මුහුනදෙන මෙම කප්පාදු ගලා එන්නේ, ලෝක ධනපති ක්‍රමය මුහුනදෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන්. මෙරට අර්බුදය මෙම ගෝලීය අර්බුදයේ තියුනුම ප්‍රකාශනයක්.

ලොවපුරා ධනපති පාලක පංතීන් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දරන්නේ, කප්පාදු හරහා, එහි සියලු බර කම්කරු පංතිය සහ පීඩිත මහජනතාව මත පැටවීමෙන් සහ අධිරාජ්‍යවාදී යුද්ධ හරහා සම්පත් බහුල රටවල් යලි යටත් විජිත බවට පත් කිරීමෙන්.

එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ගේ පූර්න පිටුබලය සහිතව, ගාසාව තුල ඊස්‍රායලය ගෙනයන ජන සංහාරක යුද්ධය දැන් ලෙබනනය සහ ඉරානය දක්වා ව්‍යාප්ත කරමින් සමස්ත මැද-පෙරදිගම අවුලුවා තිබෙනවා. එක්සත් ජනපද-නේටෝ බලයන් විසින්, යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය සහ චීනයට එරෙහි එක්සත් ජනපදය උග්‍ර කරන යුද සූදානම, අප ජීවත්වෙන මෙම ග්‍රහලෝකය තුලින් සමස්ත ජීවයම අතුගා දැමෙන ව්‍යසනකාරී න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා.

එක්සත් ජනපදය, ඉන්දියාවේ සහාය ඇතිව චීනයට එරෙහිව සූදානම් කරන මිලිටරි මූලෝපායික ප්‍රහාරයට ශ්‍රී ලංකාව අඛන්ඩව ඒකාබද්ධ කරන බව ජනාධිපති දිසානායක යලියලිත් සහතික වෙලා තිබෙනවා. ඔක්තෝබර් මුලදී ඔහු එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇනියේ ප්‍රධානියා කොලඹට පිලිගත්තා.

දිසානායක සහ ඔහුගේ පෙරමුන පමනක් නොවෙයි, මෙම මැතිවරනය තුල තරඟ වදින, විපක්ෂ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, දෙමල ජාතිකවාදී ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති ලෙස ද ක්‍රියා කරන වතුකරයේ පක්ෂ ඇතුලු සියලු ධනපති පක්ෂ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එකඟයි.

ඒ වගේම, චීනයට එරෙහි එක්සත් ජනපද යුද මූලෝපායටත් ඔවුන් සියලු දෙනාම ඒකාග්‍ර වී සිටිනවා.

මේ විනාශකාරී යුද්ධය, අධිරාජ්‍යවාදී බලයන්ට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඔවුනගේ අතකොලු වලට ආයාචනා කිරීමෙන් නතර කරන්න බෑ. එය කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පංතියට පමනයි. සමාජවාදී සමානතා පක්ෂය, තම ජාත්‍යන්තර ව්‍යාපාරයේ අනෙකුත් සහෝදර පක්ෂ සමග එක්ව, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වුනු කම්කරු පන්තියේ නායකත්වයෙන් යුක්ත ලෝක යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදින්නෙ ඒ නිසා.

කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.

කම්කරු පංතියට මෙම ප්‍රශ්න විසඳාගත හැක්කේ, ජාතික රාජ්‍ය පද්ධතිය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය අහෝසි කොට, සුපිරි ධනපතියන් අතලොස්සකගේ ලාභය වෙනුවට, අතිමහත් බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනයි. එහි කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් ශ්‍රී ලංකාව තුල බලයට ගෙන ඒමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදිනවා.

ඒ සටනෙදි, 2022 මහජන නැගිටීමේ පාඩම් උකහා ගැනීම කම්කරු පංතියට අත්‍යවශ්‍ය යි.

ඒ මහජන නැගිටීමට සහභාගි වූ මිලියන සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාවගෙ අපේක්ෂාවන් වෛෂයිකව යොමුවෙලා තිබුනෙ ධනපති ක්‍රමයට එරෙහිව. නමුත්, වෘත්තීය සමිතිවල සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් වලක්වපු කොන්දේසි යටතෙ පාලක පන්තියට සහ එහි පක්ෂවලට දේශපාලන ආරම්භකත්වය ගැනීමට ඉඩකඩ ලැබුනා. වෘත්තීය සමිති සහ ඒ ව්‍යාජ වාම සංවිධාන ජනතා විමුක්ති පෙරමුන ඇතුලු විපක්ෂයේ පක්ෂ තොරොම්බල් කරපු අන්තර්වාර ආන්ඩුවක් එනම් විකල්ප ධනපති ආන්ඩුවක් පිලිබද උගුලට මහජන ව්‍යාපාරය හිර කරන්න වැඩ කරා.

එම පාවාදීමේ ප්‍රතිඵලය වුනේ, පාර්ලිමේන්තුවේ ධනපති පක්ෂ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස උසවා තැබීමයි, ඔහුගේ ආන්ඩුව යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම යි.

එම නැගිටීම තුල සමාජවාදී සමානතා පක්ෂය මැදිහත්වුනේ, තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒමේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින්.

මේ සඳහා තමාගේම බල සංස්ථාවන් කම්කරුවන්ට අවශ්‍ය බවත්, ධනපති උපකරනයන් වන වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරි කම්ටු සෑම කම්හලකම, වැඩබිමකම, වතුයායකම, ගොවිබිමකම සහ නිවස්නා ප්‍රදේශයකම ගොඩනගාගත යුතුබවත්, අපි එහිදී අවධාරනය කලා.

ඒ වගේම, එම කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවාගතයුතු බවට ද අපි යෝජනා කලා. මෙම සම්මේලනය, තම දැවෙන ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරන, ඒවා ජය ගැනීමේ ක්‍රියාමාර්ග සම්මතකර ගැනෙන සහ ඒවා ක්‍රියාවට දැමෙන කම්කරුවන්ගේ බල කේන්ද්‍රයක්.

එම මහජන නැගිටීම කම්කරු පංතියට පෙන්වා දෙන්නේ, කම්කරු පංතියට ශක්‍ය ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් සම්පාදනය කරන මහජන විප්ලවවාදී පක්ෂයක් අත්‍යවශ්‍ය බවයි. එම මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමට කම්කරුවන් සහ තරුනයන් ඉදිරියට පැමිනිය යුතුයි.

පෙරටුගාමි සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ මේ සඳහා ඇති ප්‍රධාන බාධාවක්. ධනපති ක්‍රමය පෙරලා දැමීම අරමුනු කරගත් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට පරම සතුරු මෙම පක්ෂ ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් ධනපති ක්‍රමය තුලම මෙම ප්‍රශ්න විසඳාගත හැකිය යන බොරුව එකදිගට තොරොම්බල් කරනවා.

ඔවුන් මෙවර මැතිවරනයේදී කියා සිටින්නේ, ආන්ඩුවට පීඩනය යොදා එය යහමගට ගතහැකි ශක්තිමත් විපක්ෂයක් සඳහා ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන ලෙසයි. කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් මෙම උගුලට හසුනොවී, තමාගේම ක්‍රියාකාරී කම්ටු ගොඩනගා ගනිමින්, පහත ඉල්ලීම් මත සටන් වැදියයුතු බව සමාජවාදී සමානතා පක්ෂය කියා සිටිනවා.

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනු!
  • සියලු විදේශ නය ආපසු ගෙවීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනු!
  • පුද්ගලීකරනය එපා! පුද්ගලීකරන තර්ජනයට ලක්ව ඇති සියලු රාජ්‍ය ආයතන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට යටත් කරනු!
  • සියලුම ජාතික හා වාර්ගික බෙදීම් ප්‍රතික්ෂේප කරනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් වදිනු!
  • කම්කරු පන්තිය සූරාකෑම හරහා ධනවත් ප්‍රභූන් සමුච්ඡය කරගත් දැවැන්ත ධනය අත්පත් කරගනු!
  • බැංකු, මහා සමාගම් සහ වතුයායන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු!

මේ ඉල්ලීම් සාක්ෂාත් කරගත හැක්කේ, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන්, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනයි. එය ඉන්දියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක සහ ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක්.

අපේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෝලීය ධනවාදයේ ප්‍රහාරයටත්, එහි යුද්ධය හා සමාජ අසමානතාවය දෙසට වන ධාවනයටත් එරෙහිව ජාත්‍යන්තරව මෙම අරගල සම්බන්ධීකරනය කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු ජාලය ද එම ජාත්‍යන්තර සන්ධානය සමග එක් වෙමින් එය ගොඩනැගීමට සටන් වැදිය යුතුයි.

මෙම වැඩපිලිවෙල මත කම්කරුවන් සහ තරුනයන් බලමුලු ගැන්වීමට සටන් වදින, සමාජවාදී සමානතා පක්ෂයටත්, එහි තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සදහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයටත් එක්වන ලෙස මම කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අප තරඟ නොවදින දිස්ත්‍රික්ක තුල ඔබේ අවශ්‍යතා නියෝජනය කරන කවර හෝ පක්ෂයක් හෝ සංවිධානයක් නැහැ. ඒ නිසා එම දිස්ත්‍රික්ක තුල ඔබට ඡන්දය දීමට කිසිදු පක්ෂයක් නැහැ. කොලඹ, යාපනය සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලදී, අපේ ලකුන වන කතුර ඉදිරියෙන් ඡන්දය ප්‍රකාශ කර ඉහත සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලට ඔබේ එකඟතාව සහ සහයෝගය පලකරන මෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිනවා.

ස්තුතියි.

Loading