ශ්‍රී ලංකාවේ සසප ප්‍රසිද්ධ මහ මැතිවරන රැස්වීමක් පවත්වයි

[මෙය Sri Lankan SEP holds general election public meeting යන මැයෙන් 2024 ඔක්තෝබර් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය මහ මැතිවරන ව්‍යාපාරය සඳහා ඔවුන්ගේ පලමු ප්‍රසිද්ධ රැස්වීම සිකුරාදා (18) සවස කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීය. සසප ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය වූ එයට පක්ෂ සාමාජිකයන් සහ ආධාරකරුවන් ඇතුලු 40 දෙනෙක් පමන සහභාගී වූහ.

නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරනයට සසප මැදිහත් වෙමින් කොලඹ, උතුරේ යාපනය සහ මධ්‍යම වතුකරයේ නුවරඑලිය යන මැතිවරන දිස්ත්‍රික්ක තුන සඳහා අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරයි.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර [Photo: WSWS]

රැස්වීමේ මුලසුන දැරූ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම නියෝජිතයින් ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයට ප්‍රතිකූලව, අධිරාජ්‍යවාදී යුද්ධයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදුවලට සහ ඒකාධිපති පාලන ආකාර කරා ගමන් කිරීමට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් සඳහා පක්ෂය සටන් වදින බව පෙන්වා දුන්නේය.

ජයසේකර රැස්වීමේ දී කියා සිටියේ, ජවිපෙ/ජාජබ ට නායකත්වය දෙන අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු බහුතරයක් හරහා තම බලය තහවුරු කර ගැනීමට මැතිවරනය කැඳවූ බවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමයක් නොවන බවත්, සිදුවෙමින් පවතින්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව විසින් ආරම්භ කරන ලද ජාමූඅ විසින් නියම කෙරුනු දරුනු සමාජ ප්‍රහාර දිගටම ගෙන යාම බවත් ඔහු පැවසීය.

ජාමූඅ කප්පාදුවට එරෙහිව, කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගේ ප්‍රතිරෝධය තලා දැමීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුවක් පොලිස්-රාජ්‍ය මර්දනය මුදා හරිනු ඇති බවට කථිකයා අනතුරු ඇඟවීය. “අපගේ මැතිවරන ව්‍යාපාරය, ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහිව ඉදිරි කාලපරිච්ඡේදය තුල වර්ධනය වන සටන සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් කිරීමේ අපගේ අරගලයේ කොටසකි,” ජයසේකර පැවසීය.

සසජාතශි හි සකුන්ත හිරිමුතුගොඩ, ගාසා තීරය තුල ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ජන සංහාරක යුද්ධය සහ ඒ ආශ්‍රිතව මැද පෙරදිග පුලුල් යුද්ධයක තර්ජනයත්, යුක්‍රේනයේ සහ එක්සත් ජනපදයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ චීනයට එරෙහිව යුද සූදානමත් සැලකිල්ලට ගනිමින් තුන්වන ලෝක යුද්ධයක වැඩෙන අන්තරාය පෙන්වා දුන්නේය. ජනාධිපතිවරනයේදී කල ආකාරයට ම, ලෝක යුද්ධයේ අන්තරාය ගැන අනතුරු අඟවන එකම පක්ෂය සසප බව ඔහු රැස්වීමේ දී පැවසීය.

සකුන්ත හිරිමුතුගොඩ [Photo: WSWS]

බලපෑම් කිරීම මගින් මහජනතාවගේ සමාජ ඉල්ලීම් දිනාගත හැකි බවට භයානක මිත්‍යාවන් ප්‍රවර්ධනය කරමින්, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නව ජවිපෙ/ජාජබ ආන්ඩුවට අනුගත වී ඇති බව හිරිමුතුගොඩ පැවසීය. දිසානායක ජනාධිපති ලෙස තේරී පත්වීම, 'ජනතා අපේක්ෂාවන් ප්‍රකාශයට පත්වීමක්' යයි පෙසප කියා සිටින බව ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම ව්‍යාජ ප්‍රකාශයට අනුකූල ව, පෙසප විසින් පාලනය කෙරෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) නව ආන්ඩුවට බල කල හැකි බව හඟවමින්, සිසුන්ගේ විවිධ ඉල්ලීම් ගෙනහැර දක්වමින්, සිසුන්ගේ අභියාචනා සලකා බලන ලෙස ඉල්ලා අධ්‍යාපන ඇමතිවරිය ද වන නව අගමැති හරිනි අමරසූරියට ලිපියක් යවා ඇත.

“මේක අමූලික බොරුවක්. මේ අවස්ථාවාදී ගොඩනැගීම් නැවතත් උත්සාහ කරන්නේ කම්කරුවන් සහ සිසුන් ධනපති ආන්ඩුවට ගැටගැසීමටයි. මේ සංවිධානවලට ප්‍රතිකූලව, තරුනයින්ට හා ශිෂ්‍යයින්ට ධනවාදය යටතේ ඔවුන්ගේ කිසිදු ප්‍රශ්නයක් විසඳාගත නොහැකි අතර කම්කරු පන්තිය වෙත හැරී සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කල යුතු බව අපි ප්‍රකාශ කරනවා.” යැයි හිරිමුතුගොඩ පැවසී ය.

එහි අධිරාජ්‍ය-ගැති, දක්ෂිනාංශික සහ සිංහල ස්වෝත්තමවාදී ස්වභාවය වසන් කරමින්, දිසානායක ආන්ඩුව සමග වැඩ කිරීමට දෙමල පක්ෂ සිය සූදානම සංඥා කර ඇති ආකාරය, නුවරඑලිය දිස්ත්‍රික්කයේ පක්ෂ අපේක්ෂක කන්ඩායමට නායකත්වය දෙන සසප දේශපාලන කමිටු සභික එම්. දේවරාජා පැහැදිලි කලේය.

සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා [Photo: WSWS]

ඊලාම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුනේ (ඊපීආර්එල්එෆ්) නායකයා, දිසානායක දෙමල ජනතාව මුහුන දෙන ප්‍රශ්න විසඳීමට කටයුතු කල යුතු “මාක්ස්වාදී-ලෙනින්වාදී” ජනාධිපතිවරයකු ලෙස හඳුන්වා දුන් බව දේවරාජා රැස්වීමට පැවසීය. උතුරු නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන මාඕවාදී පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය, තමන් නව ජනාධිපතිවරයාගෙන් බොහෝ දේ 'අපේක්ෂා කරන' බව ප්‍රකාශ කර ඇත.

දෙමල ප්‍රභූව දිසානායකගේ ජයග්‍රහනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, දෙමල කතා කරන කම්කරුවන්ගේ වියදමින් තම වරප්‍රසාද රැක දෙන මෙන් ඔහුගේ ආන්ඩුව සමග ගිවිසුමකට එලැඹිය හැකි බවට බලාපොරොත්තුවෙන් බව දේවරාජා පැවසීය.

රැස්වීමේ ප්‍රධාන කථිකයා වූයේ පක්ෂයේ කොලඹ දිස්ත්‍රික්ක කන්ඩායමේ නායකත්වය දරන සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් ය. මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතාවාදයයෙහි සම්මිශ්‍රනයක් මත පදනම්ව 1960 දශකයේ මැද භාගයේ බිහි වූ ජවිපෙ ඉතිහාසය ඇය කෙටියෙන් ගෙනහැර පෑවා ය. ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පාවා දී 1964 දී ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග සභාග ආන්ඩුවකට ඇතුලු වූ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) විසින් නිර්මානය කරන ලද දේශපාලන ව්‍යාකූලත්වය, මෙම සුලු ධනේශ්වර සංවිධානය විසින් ගසා කෑවේ ය.

1980 ගනන් වලදී, ජවිපෙ ප්‍රතිගාමී සිංහල ස්වෝත්තමවාදී පිලිවෙත වඩාත් කැපී පෙනුනු අතර, එය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ වඩාත්ම උද්‍යෝගිමත් ආධාරකරුවා විය. 1988-89 දී, ජවිපෙ හි, ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට එරෙහි කැරැල්ලක කොටසක් ලෙස, සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයින් තිදෙනෙකු ඇතුලු කම්කරුවන්, වෘත්තීය සමිතිවාදීන් සහ වාම දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් ඝාතනය කරමින් ෆැසිස්ට් ප්‍රහාර මාලාවක් ගෙන ගියේ ය.

ජවිපෙ පසුව ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී, කම්කරු පන්තියේ විරුද්ධත්වය අපසරනය කර යටපත් කරමින්, ඔවුන්ගේ කැබිනට් මන්ඩලයක් පවා නියෝජනය කරමින් ආන්ඩු කිහිපයක් බලයට ගෙන ඒමට උදව් කලේ ය.

“අද ජවිපෙ ශ්‍රී ලංකාවේ ධනවාදය සහ ධනේශ්වර පාලනය පවත්වාගෙන යාමේ සෘජු වගකීම භාරගෙන තියෙනවා,” පීරිස් පැවසී ය. දිසානායක ඔක්තෝබර් 13 දා ජාජබ අපේක්ෂකයන් අමතා කල කතාව සහ ඔහුගේ පක්ෂයට “පාර්ලිමේන්තුව තුල ශක්තිමත් බලයක්” අවශ්‍ය බවට ඔහු කල අවධාරනය ගැන ද ඇය සඳහන් කලාය.

සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් [Photo: WSWS]

“ශක්තිමත් බලයක්” සඳහා වන ජවිපෙ/ජාජබ නායකයාගේ කැඳවුම්, මෙම කප්පාදුවට එරෙහි මහජන විරෝධය කුරිරු ලෙස මර්දනය කිරීම ඇතුලු, ජාමූඅ විසින් නියම කරන ප්‍රහාර දිගටම ගෙන යාම සඳහා බව ඇය පැවසුවාය. ඔහුගේ පරිපාලනය ජාමූඅ වැඩපිලිවෙලට මුලුමනින්ම කැපවී සිටින බවට දිසානායක විසින් මහා ව්‍යාපාරිකයන්ට පුන පුනා සහතික කිරීම තුලින් මෙය පෙන්නුම් කර ඇත.

ජවිපෙ මහා ව්‍යාපාරික න්‍යාය පත්‍රයට විරුද්ධ එකම පක්ෂය වන සසප, කම්කරු පන්තියේ දේශපාලන විඥානය වර්ධනය කිරීම සඳහා මැතිවරනයට මැදිහත් වූ බව, පීරිස් තවදුරටත් පැහැදිලි කලා ය.

“වර්ධනය වෙමින් පවතින අධිරාජ්‍යවාදී ගෝලීය යුද්ධය පිලිබඳව කම්කරුවන්ට අනතුරු අඟවන්නේ සසප පමනයි.” ඇය තවදුරටත් රැස්වීමට කියා සිටියේ, එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්, ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධය සහ මැද පෙරදිග එහි මිලිටරි ප්‍රහාර, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම භයානක ලෙස උත්සන්න කිරීම මගින් මානව වර්ගයාට න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක තර්ජනය ගෙන එන බව යි.

ඉන්දියාව සහය දක්වන එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත්, චීනයට එරෙහි මිලිටරි මූලෝපායික ප්‍රහාරයට ශ්‍රී ලංකාව අඛන්ඩව ඒකාබද්ධ කරන බව දිසානායක පැහැදිලි කර ඇත. මේ මස මුලදී ඔහු එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇනියේ ප්‍රධානියා කොලඹ දී මුනගැසුනි.

“පවතින ධනේශ්වර පර්යාය තුල යුද්ධය හැර වෙනත් මගක් පාලක පන්තියට පෙනෙන්නේ නැහැ. පලමුවන ලෝක යුද්ධය අවසන් කිරීමට තුඩු දුන් 1917 ඔක්තෝබර් විප්ලවයේ දී රුසියානු කම්කරු පන්තිය විසින් පෙන්නුම් කරන ලද පරිදි, එකම ප්‍රගතිශීලී විසඳුම වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීම යි,” ඇය පැහැදිලි කලා ය.

පීරිස් ප්‍රකාශ කලේ, අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක යුද්ධය දෙසට තල්ලු කරන ධනවාදයේ එම ගෝලීය අර්බුදය ම, සමාජවාදී විප්ලවය සඳහා ද කොන්දේසි නිර්මානය කරන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සහ ඔහුගේ ආන්ඩුව බිඳවැටීමට බල කල 2022 අප්‍රේල්-ජූලි මාසවල ශ්‍රී ලාංකික කම්කරුවන්, තරුනයන් සහ ග්‍රාමීය දුප්පතුන්ගේ මහජන නැගිටීම ගැන ඇය සඳහන් කලාය.

පෙසප සහ වෘත්තීය සමිති විසින් සහාය දක්වන ලද “අන්තර්වාර ආන්ඩුවක්” සඳහා වූ උපාමාරු සමග, සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම, ජවිපෙ සහ විපක්ෂයේ සමගි ජන බලවේගය විසින් අවහිර කරන ලදී. මෙය වික්‍රමසිංහ පරිපාලනයට සහ ජාමූඅ ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට මග පෑදී ය.

සසප, “අන්තර්වාර ආන්ඩු” උගුලට විරුද්ධ වූ ආකාරය විස්තර කරමින් පීරිස් මෙසේ පැවසීය: “කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප යෝජනා කල අතර එම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් අතරින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගත් අයගෙන්, කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් ආරම්භ කලා. සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පක්ෂයේ යෝජනාව, එවැනි සම්මේලනයක දී සාකච්ඡා කර සම්මත කරගනු ඇත.

දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා පුලුල් ඉදිරිදර්ශනයක කොටසක් ලෙස, මෙම සම්මේලනය සඳහා සසප අරගලය, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා ග්‍රාමීය දුප්පතුන් පෙලගස්වමින්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමින්, ධනේශ්වර පාලනය පෙරලා දැමීම සඳහා වන බව ඇය තවදුරටත් කියා සිටියා ය.

“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප ට බැඳෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. තරුනයින්ට හා ශිෂ්‍යයන්ට සසජාතශි හා එක් වී එය ගොඩනගන ලෙසටත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ලෝක පක්ෂයක් සහ මූලෝපායක් නොමැතිව සමාජවාදී විප්ලවය සාක්ෂාත් කරගත නොහැකියි.” යැයි ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කලා ය.

Loading