ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක යනු කවුද?

[මෙය Who is Sri Lanka’s new President, Anura Kumara Dissanayake? යන මැයෙන් 2024 නොවැම්බර් 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු, 1948 නිදහස ලැබූ දා සිට රට පාලනය කල සම්ප්‍රදායික පක්ෂ පරාජය කල මාක්ස්වාදී වාමාංශිකයෙකු, “ලෙනින්ට ආදරය කරන ජනාධිපතිවරයෙක්” සහ “ජනතාවාදී ජනාධිපතිවරයෙක්” ඔහු ගැන විස්තර කථන සහිතලිපි විශාල ප්‍රමානයක් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සිංහල ස්වෝත්තමවාදයේ ගිලී සිටින, ධනවාදය ආරක්ෂා කිරීමට කැප වූ ජවිපෙ මාක්ස්වාදය නියෝජනය කරන පක්ෂයක් ලෙස හෝ එහි නායක දිසානායක, ලෙනින් අගය කරන්නෙකු ලෙස හෝ ජනතාවගේ ජනාධිපතිවරයෙකු ලෙස සැලකිය හැක්කේ කෙසේදැයි පැහැදිලි කිරීමට කිසිදු ලේඛකයෙකු උනන්දු වී නැත.

අතීතයේ දී, ජවිපෙහි ම මාධ්‍ය, ඔවුන්ගේ ධනේශ්වර ගැති ප්‍රතිපත්ති සහ ක්‍රියා සාධාරනීකරනය කිරීමට මාක්ස් සහ ලෙනින් සන්දර්භයෙන් උගුලුවා උපුටා දක්වා ඇත. ජවිපෙ ආධාරකරුවෝ එහි මැයි දින පෙලපාලිවල දී මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ විශේෂයෙන් ස්ටැලින් සහ එහි නායකයින්ගේ ඡායාරූප ඵලක රැගෙන සමාජවාදය සංකේතවත් කරන රතු කමිසවලින් සැරසී ගමන් කලහ.

ජවිපෙ ආධාරකරුවන් 2016 මැයි දින රැලිය සඳහා වේදිකාවක් තනමින් [Photo by Janatha Vimukthi Peramuna / undefined]

යථාර්ථය නම්, මාක්ස්වාදයේ ප්‍රතිපක්ෂය නියෝජනය කරන ස්ටැලින් වැලඳ ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, ජවිපෙ කිසිවිටෙකත් සැබෑ මාක්ස්වාදී පක්ෂයක් නොවූ බවයි. මෙවර මැයි දිනයේදී, ජනාධිපති ධුරයට තරග කිරීමට සූදානම් වෙමින් සිටි ජවිපෙ රතු කමිස සහ ඡායාරූප පුවරු අතහැර දැමීය. ජනතා විමුක්ති පෙරමුන, එහි අතීත නායකයින් සහ දිසානායක, ගැන වචනයක හෝ විවේචනයකින් තොරව “මාක්ස්වාදීන්” ලෙස හඳුන්වන අය, එක්කෝ දේශපාලනික වශයෙන් අඥානයින් ය; එසේ නැත්නම්, හිතාමතාම වැඩකරන ජනතාව රැවටීමේ යෙදී සිටිති.

අද දවසේ මාක්ස්වාදය ට්‍රොට්ස්කිවාදයයි. එය නියෝජනය කරන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ඇතුලු ලොව පුරා එහි ශාඛා විසින් ම පමනි. ලෝක සමාජවාදී විප්ලවය ප්‍රතික්ෂේප කරමින්, “තනි රටේ සමාජවාදය” යන ප්‍රතිගාමී ජාතිකවාදී න්‍යාය අනුගමනය කල, 1917 ඔක්තෝබර් විප්ලවයේ මිනී වල කැනූ ස්ටැලින්වාදයට එරෙහි සටනේ දී ට්‍රොට්ස්කිවාදය මාක්ස්වාදය ආරක්ෂා කර වර්ධනය කලේය.

1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායක යටතේ ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුලු වූ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවා දීමෙන් පසුව 1960 ගනන් අග භාගයේ දී ජවිපෙ මතු විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් විසින් කරන ලද පලමු පාවාදීම වූ ලසසප පාවාදීම, ජවිපෙ වැනි සුලු ධනේශ්වර රැඩිකල් කන්ඩායම්වලට සහ දෙමල බෙදුම්වාදී සංවිධාන වර්ධනය වීමට දොර විවර කලේය.

ජවිපෙ පිහිටුවන ලද්දේ, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ බීජිං-ගැති කන්ඩායමෙන් කැඩී ගොස්, කැස්ත්‍රෝ, චේ ගෙවාරා සහ මාඕ සේතුං ගේ ගොවි ගරිල්ලාවාදයේ සම්මිශ්‍රනයක් සිය දේශපාලන දෘෂ්ටිවාදය ලෙස වැලඳගත්, දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයේ සිංහල දේශප්‍රේමය හා අධිපතිවාදය සමඟ බැඳී සිටි කන්ඩායමක් විසිනි.

1971 දී 15,000 ක් මිය ගිය, ග්‍රාමීය සිංහල තරුනයන්ගේ ව්‍යසනකාරී නැගිටීමට මෙන්ම, 1980 ගනන් අග භාගයේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව දස දහස් ගනන් ග්‍රාමීය තරුනයින් ඝාතනයට දොර විවර කල ප්‍රතිගාමී ව්‍යාපාරයකට ජවිපෙ වගකිව යුතු විය. කෙසේ වෙතත්, පසුගිය දශක තුන පුරා, මෙම සුලු ධනේශ්වර සංවිධානය, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය තුලට තරයේ ඒකාබද්ධ වී දක්ෂිනාංශික, අධිරාජ්‍ය-ගැති පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.

ප්‍රගාඪ ආර්ථික හා සමාජ අර්බුදයක් මධ්‍යයේ, ධනේශ්වර පාලනයේ දිගුකාලීන පක්ෂ—එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) මේ වන විට කැබලි ගනනාවකට කැඩී ගොස් ඇත—සහ ඒවාට නායකත්වය දුන් පාලක පන්තියේ වංශාධිපති පරම්පරාව කෙරෙහි ජනතාව අතර තිබූ ගැඹුරු වෛරය ගසාකමින්, ජවිපෙ/ජාජබ, සංස්ථාපිත-විරෝධී පක්ෂයක් ලෙස ජනාධිපතිවරනයේදී පෙනී සිටියේය.

ඒ අතරම, දිසානායක සහ ඔහුගේ පක්ෂය, පාලක පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන බවට ඔවුනට සහතික වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) දැඩි කප්පාදු න්‍යාය පත්‍රයට ඔහු යලි යලිත් සිය සහයෝගය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා අනුමැතිය දුන් එක්සත් ජනපද හා ඉන්දියානු නිලධාරීන් හමුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරෙමින් දරාගත නොහැකි සමාජ තත්වයන්ට එරෙහිව 2022 පැනනැගුනු මහජන නැගිටීම පාලක ප්‍රභූව ගැඹුරු කම්පනයකට ලක් කලේය. නව ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාවට නංවමින්, ඔවුනගේ ජීවන තත්වයන්ට වඩාත් ගැඹුරු ප්‍රහාරයක් එල්ල කරමින් පවතින තතු තුල, වැඩකරන ජනතාව තුලින් යලි මතුවන එවන් නැගිටීමක් යටපත් කිරීම සඳහා යොදාගත හැකි සංවිධානයක් ලෙස ජවිපෙ දැක ගන්නා ධනපති පංතියේ සැලකිය යුතු කොටසක් එය වෙත හැරී ඇත.

2022 නැගිටීම අතරතුර, ගැඹුරු “දේශපාලන අස්ථාවරත්වයක්” නිර්මානය කරමින් තිබූ “අරාජික තත්වය” මැඩපැවැත්වීම සඳහා එක්වන ලෙස සියලු පාර්ලිමේන්තු පක්ෂවලින් ඉල්ලා සිටිමින්, දිසානායක, මහජනතාව කෙරෙහි ජවිපෙ හි සතුරුකම අවධාරනය කලේය. මහජන ව්‍යාපාරය පීලි පැන්නවීමට සහ එය පාර්ලිමේන්තු උපාමාරුවලට යටත් කිරීමට ඔහු අන්තර්වාර පාලනයක් යෝජනා කලේය. එහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජනපද-ගැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී—කිසිදු මහජන සහයෝගයක් නැති පුද්ගලයෙකු වන—රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කර ගැනීමයි.

ජනාධිපතිධුරය දිනාගත් දිසානායක, පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගෙන “ශක්තිමත් ආන්ඩුවක්” පිහිටුවීමේ අරමුනින් හදිසි මහ මැතිවරනයක් කැඳවා තිබේ. ජවිපෙ, තම ආන්ඩුවේ මර්දනීය අවි ගබඩාවේ කොටසක් ලෙස, කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) දිගටම තබා ගන්නා බව දැනටමත් අවධාරනය කර ඇත.

ලක්ෂ්මන් නිපුන ආරච්චි [ඡායාරූප: ෆේස්බුක්/ලක්ෂ්මන් නිපුන ආරච්චි] [Photo by Facebook/Lakshman Nipuna Arachchi]

නව ආන්ඩුවේ කම්කරු පන්ති-විරෝධී ස්වභාවය පිලිබඳ පැහැදිලි ඇඟවුමක් ලබාදෙමින්, දිසානායකගේ දකුනු-අත බඳු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි, පසුගිය සතියේ ප්‍රකාශයක් කලේය. මැතිවරනයෙන් පසු තම ආන්ඩුවේ පලමු ක්‍රියාවන්ගෙන් එකක් වන්නේ, පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති විසුරුවා හැර, “වර්ජන” යනු අතීතයට අයත් දෙයක් බවට පත් කිරීම බව ඔහු ප්‍රකාශ කලේය. මෙම පියවර ඉලක්ක කර ඇත්තේ, වෘත්තීය සමිති නිලධරය වෙත නොව, කම්කරු පන්තියටත්, තම පන්ති අවශ්‍යතා සඳහා සටන් කරනුවස්, කාර්මික ක්‍රියාමාර්ගවල නියැලීමට සහ සංවිධානය වීමට එයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටත් එරෙහිව ය.

මෙම ප්‍රකාශයන් සහ ක්‍රියාමාර්ග, මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නොමැත. එම ප්‍රකාශ වඩාත් සමාන වන්නේ, තම මහා ව්‍යාපාරික පිලිවෙත්වලට එරෙහි කම්කරු පන්තියේ ඕනෑම ප්‍රතිරෝධයක් තලා දැමීම සඳහා බලයට පැමිනීමට සූදානම් වන ෆැසිස්ට් පක්ෂයකට ය.

දිසානායක යනු කවුද?

අනුර දිසානායක යනු ජීවිත-කාලීන ජවිපෙ සාමාජිකයෙකි. ඔහු ජවිපෙ වෙත ආකර්ෂනය වූයේ, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එහි උග්‍ර ඉන්දීය-විරෝධී, සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරය මධ්‍යයේ ය. ඔහු, ග්‍රාමීය උතුරු-මැද පලාතේ පිහිටි තඹුත්තේගම මහා විද්‍යාලයේ, 19 හැවිරිදි අපොස උසස් පෙල සිසුවෙකු ව සිටියදී, තම ඥාති සොහොයුරෙකු වන සුනිල් අයියා හරහා ජවිපෙ හි සමාජවාදී ශිෂ්‍ය සංගමයට (සශිසං) සම්බන්ධ විය.

තම ආන්ඩුව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව දියත් කරන ලද වාර්ගික යුද්ධය මගින් උග්‍ර කෙරුනු ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ, 1987 ජූලි මාසයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සමග ගිවිසුමට අත්සන් තැබීය. ගිවිසුම යටතේ, එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා, දිවයිනේ උතුරට හා නැගෙනහිරට ඉන්දියානු හමුදා යවන ලද අතර පලාත් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් දෙමල ප්‍රභූන්ට සීමිත බලතල ලබා දීමට නියමිත විය.

වාර්ගික යුද්ධය සඳහා සිය අඛන්ඩ උද්‍යෝගිමත් සහයෝගය ඉදිරියට ගෙනයමින් , ජවිපෙ, ජාතිකවාදයේ සහ ස්වෝත්තමවාදයේ පදනම මත ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ වූ අතර එය “මව්බිම පාවාදීමක්” බව ප්‍රකාශ කලේය. “ඉන්දියානු අධිරාජ්‍යවාදය” හෙලා දුටු ජවිපෙ, බලය බෙදීමෙන් රට දෙකඩ කෙරෙනු ඇතැ යි පැවසීය.

මුලුමහත් සිවිල් යුද්ධයක් අවුලුවාලූ 1983 ම්ලේච්ඡ දෙමල විරෝධී සංහාරය උසිගැන්වූ බවට ජවිපෙට ව්‍යාජව චෝදනා කරමින්, ජයවර්ධනගේ එජාප තන්ත්‍රය ජූලි මාසයේදී ජවිපෙ තහනම් කලේය. සැබැවින්ම නම්, කොලඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දෙමල විරෝධී ප්‍රචන්ඩත්වයේ රැල්ල අවුලුවාලනු ලැබුවේ එජාප මැරයන් විසිනි.

ගිවිසුමට ප්‍රතිචාර වශයෙන්, ජවිපෙ, “මව්බිම නැතිනම් මරනය!” යන සටන් පාඨය යටතේ කොලඹ ආන්ඩුවට එරෙහිව ෆැසිස්ට්වාදී දේශප්‍රේමී ව්‍යාපාරයක් දියත් කලේය. එහි රහසිගත හමුදා අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය (දේජව්‍යා) විසින් විරෝධතා සංවිධානය කෙරුනි. ඔවුන්ගේ උද්ඝෝෂනයට විරුද්ධ වූ දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති සහ ශිෂ්‍ය නායකයින් සහ කම්කරුවන් දහස් ගනනක් ජවිපෙ තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදී.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයින් තිදෙනෙකු—ආර්.ඒ. පිටවල 1988 නොවැම්බර් 12; පී.එච්.ගුනපාල 1988 දෙසැම්බර් 23 දින; සහ 1989 ජූනි 24 දින ග්‍රේෂන් ගීකියනගේ—ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. ගිවිසුමට විරුද්ධ වූ විකොස, එය කම්කරු පන්තියට එරෙහිව යොමු කරන ලද බවට අනතුරු අඟවමින්, සමාජවාදී පිලිවෙත් මත සිංහල හා දෙමල කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් කලේය.

ජයවර්ධන සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රනසිංහ ප්‍රේමදාස, ජවිපෙට එරෙහිව පමනක් නොව, ග්‍රාමීය තරුනයින් අතර පුලුල්ව පැතිරුනු නොසන්සුන්තාව මැඩපැවැත්වීම ඉලක්ක කරගත් භීෂනයක් මුදා හැරීමේ කඩතුරාව ලෙස ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරය ගසාකෑහ. හමුදාව සහ එහි ඝාතක කල්ලි විසින්, බොහෝ විට, ඉතාමත් බිහිසුනු ආකාරයෙන්, තරුනයින් 60,000 ක් පමන ඝාතනය කරන ලදී.

රෝහන විජේවීර [Photo by Facebook/Rohana Wijeweera Returns]

ජනතා විමුක්ති පෙරමුනේ නායක රෝහන විජේවීර, තවත් දේශපාලන මන්ඩල නායකයින් 13 දෙනෙකු සහ ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරීන් සිය ගනනක් ඝාතනය කෙරුනි. කැපී පෙනෙනු සුවිශේෂයක් වූයේ දේශපාලන මන්ඩල සභික සෝමවංශ අමරසිංහ රටින් පලා ගොස් පක්ෂයේ අනාගත නායකයා බවට පත් වීමයි.

විකොස සහ හජාජාක, විජේවීර සහ අනෙකුත් නායකයින් ඝාතනය කිරීම සහ ග්‍රාමීය තරුන සංහාරය හෙලා දුටු අතර ප්‍රේමදාස ආන්ඩුවේ මිනීමරු රාජ්‍ය මර්දනයට එරෙහිව ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කලේය.

දිසානායකගේ පවුල ද, තවත් දස දහස් ගනන් ගම්බද පවුල්වල අය මෙන් ම, ආරක්ෂක අංශවල සහ ඔවුන්ට සම්බන්ධ මැරයන්ගේ හිරිහැරවලට හා තර්ජනවලට මුහුන දුන්නේය. කෙසේ වෙතත්, දිසානායක එම වකවානුවේ නිශ්චිතව කරමින් සිටියේ කුමක්ද යන්න තවමත් දැනගන්නට නැත.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ හැඳින්වීමක සටහන් වන්නේ, ඔහු “එවක ආන්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව පුලුල්ව පැතිරුනු විරෝධතාවලට සහභාගී වූ” බව පමනි. ජවිපෙ/දේජව්‍යා රට පුරා සිය ප්‍රචන්ඩ ක්‍රියා සිදු කල බැවින්, ඔහු එහි සමාජිකයෙකු වූයේ අරවින්ද යන අන්වර්ථ නාමයෙනි.

දිසානායක සහ ජවිපෙ, මිනීමරු, ස්වෝත්තමවාදී ව්‍යාපාරයෙන් ඈත් වීමට උත්සාහ කරන අතරම, සෑම විටම එයට නායකත්වය දුන් අය සහ සහභාගී වූවන් “දේශප්‍රේමී වීරයන්” ලෙස හුවා දක්වයි. එම කාලය තුල දිසානායකගේ ක්‍රියාකාරකම් සැබැවින්ම මොනවාද?

ගිවිසුමට එරෙහි ජවිපෙ දුෂ්ට ව්‍යාපාරය, සියල්ලටත් වඩා, කම්කරු පන්තියෙන් “මව්බිමට” එල්ල වන ඕනෑම තර්ජනයකට ප්‍රතිචාර වශයෙන් නව ආන්ඩුව භාවිතා කරන ක්‍රමෝපායන් පිලිබඳ අනතුරු ඇඟවීමකි.

දිසානායක සහ ජවිපෙ ප්‍රතිසංවිධානය

එජාප ආන්ඩුවේ භීෂන සමය පහව යද්දී, 1992 දී භෞතික විද්‍යා විෂය ධාරාව හැදෑරීමට කැලනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව ලැබූ දිසානායක, ජවිපෙ ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිකයෙකු බවට පත්විය.

ජාජබ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 4 වන දින ව්‍යාපාරික සංසදය අමතමින් [ඡායාරූපය: ජාජබ ෆේස්බුක්] [Photo by NPP Facebook]

1990 මාර්තු මාසයේදී, බලගතු එජාප සාමාජිකයෙකුගේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව රටින් පලා ගොස් ලන්ඩනයේ පිටුවහලේ ජීවත් වූ අමරසිංහ ඔහු හා සම්බන්ධ විය. ජවිපෙ දැඩි ලෙස සතුරු වූ මූලාශ්‍රවලින්, තමාට එවැනි උපකාර ලැබුනේ කෙසේදැයි අමරසිංහ කිසිදා පැහැදිලි කර නැත.

අමරසිංහ සිටියේ, පක්ෂය පුනර්ජීවනය කිරීමේ අරමුනින්, ජවිපෙ කොටස් එක්රැස් කරමිනි. ඊලඟ දශක දෙක තුල, ජවිපෙ විවෘතව ම ධනේශ්වර-ගැති දිශානතියක් අනුගමනය කරමින්, කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලට ඒකාග්‍ර වීමත් සමග, දිසානායක, පක්ෂය තුල ඔහුගේ නැගීම සහතික කරගනිමින් අමරසිංහගේ දකුනත බවට පත් විය.

මෙම ක්‍රියාවලියෙන් පිලිබිඹු කෙරුනේ 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් කූටප්‍රාප්තියට පත් වූ ස්ටැලින්වාදයේ අර්බුදය මධ්‍යයේ, ජාත්‍යන්තරව සිදුවෙමින් පැවති දේශපාලන පරිවර්තනයන් ය. එකල, ලොව පුරා “සන්නද්ධ අරගල” මත පදනම් වූ ජාතිකවාදී සුලු ධනේශ්වර සංවිධාන, ව්‍යාපාරික ඇඳුම් කට්ටල සහ පාර්ලිමේන්තුවේ හෝ සමාගම් මන්ඩලවල ආසන සඳහා සිය ස්වයංක්‍රීය රයිෆල් සහ කැලෑ ඇඳුම් හුවමාරු කර ගනිමින් සිටියහ.

විශේෂයෙන්ම 1993 මැයි දිනයේ, එල්ටීටීඊය විසින් ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු ඇති වූ වාර්ගික යුද්ධයේ ව්‍යාප්තියත් සමඟ කම්කරුවන් හා තරුනයන් අතර නැගෙමින් පැවති විරුද්ධත්වය සීමා කිරීමේ සහ මැඩපැවැත්වීම සඳහා ප්‍රයෝජනයට ගතහැකි සංවිධානයක් ලෙස පාලක පන්තියේ කොටස් ද ජවිපෙ වෙත අවධානය යොමු කලහ. ශ්‍රීලනිප නායකත්වය යටතේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටි චන්ද්‍රිකා කුමාරතුරංග ඒ අතර ප්‍රමුඛ විය.

විමල් වීරවංශ සහ ටිල්වින් සිල්වා සමග එක්ව මෙම මාරුවට ද, කලින් ගෙනගිය අධිරාජ්‍ය විරෝධී කයිවාරු අතහැර දැමීමට ද පූර්න පිටුබලය දීමත්, අමරසිංහගෙන් ලැබුනු පිටුබලයත් නිසා ජවිපෙ නායකත්වය තුල දිසානායක ශීඝ්‍රයෙන් ඉහල නැංගේය.

1997 දී දිසානායක ජවිපෙ මධ්‍යම කාරක සභාවට ද ඊලඟ වසරේ පක්ෂයේ තීරන ගැනීමේ ඉහලම ආයතනය වන දේශපාලන මන්ඩලයට ද උසස් කරන ලදී. 2000 දී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු ඉක්මනින්ම එහි ප්‍රධාන කථිකයා බවට පත්විය.

2001 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවට ආපසු පැමිනීමට පෙර, Lacnet.org වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී, අමරසිංහ, ස්ටැලින්වාදයෙන් නිපන් ජවිපෙ හි පැරනි මාක්ස්වාදී වාගාලාපයන් අත්හැර දැමීම ගසාබසා දමමින් කතා කලේය. “19 වැනි සියවසේ අගභාගය වන විට මාක්ස්වාදය පැරනි විලාසිතාවක් බවට පත් වී තිබුනා” යැයි ඔහු ප්‍රකාශ කලේය. “අපි පරන තාලේ මාක්ස්වාදීන් නෙවෙයි. අපට නව අදහස් සපයන වෙනත් ඕනෑම ‘වාදයක’ බලපෑමකට අපි විවෘතයි.”

පක්ෂයේ අතීත අධිරාජ්‍ය විරෝධී පූච්චානම් ඉවත දැමූ ජවිපෙ නායක අමරසිංහ, 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව “ත්‍රස්තවාදයට එරෙහි සටන” ප්‍රකාශයට පත් කිරීම පිලිබඳව බුෂ් අගය කරමින් සහ ශ්‍රී ලංකාවේ “එල්ටීටීඊ ත්‍රස්තවාදයට” එරෙහිව සටන් කිරීමට සහාය ඉල්ලා සිටිමින් එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වෙත ලිපියක් ලිවීය.

2001 දෙසැම්බර් පාර්ලිමේන්තු මැතිවරනය සඳහා ඉදිරිපත් කල ජවිපෙ මැතිවරන ප්‍රකාශනයේ සඳහන් කර තිබුනේ, ශ්‍රී ලංකාව, බුෂ්ගේ “ත්‍රස්තවාදයට එරෙහි සටන” සමග පෙලගැසී, “කොටි [එල්ටීටීඊ] ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීම” සඳහා “මෙම වාසිදායක තත්වය මුලුමනින්ම ප්‍රයෝජනයට ගතයුතු” බවයි.

ආයෝජකයින් සඳහා ත්‍යාගශීලී බදු විරාම ඇතුලු සහන ලබා දෙන බවට පොරොන්දු වෙමින් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මගින් ඒවාට එරෙහි මහජන විරුද්ධත්වය —එනම්, විශේෂයෙන්ම, සංගත ප්‍රභූවේ විරුද්ධත්වය— අවුස්සා නොගත යුතු බව අවධාරනය කරමින් ජවිපෙ වෙලඳපොල ගැති ප්‍රත්තිය එම ප්‍රකාශය මගින් පැහැදිලි කර තිබුනි. බිස්නස් ටුඩේ සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ටිල්වින් සිල්වා “ශ්‍රම බලකාය අතර දැඩි නොසන්සුන්තාවක්” ගැන අනතුරු අඟවමින්, ඉහල ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ආදර්ශයක් ලෙස, කම්කරු පංතිය දැඩි මර්දනයකට යටත්කර ඇති චීන පාලන තන්ත්‍රය ආදර්ශයට ගත යුතු යයි කියා සිටියේ ය.

ජවිපෙ නායකයෝ, 1994 ජනාධිපතිවරනයේදී චන්ද්‍රිකා කුමාරතුංගට සහාය දැක්වීමට ගිවිසුමක් අත්සන් කරමින්, තමන්ගේම අපේක්ෂකයා ඉවත් කර ගත්තේ, අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට කුමාරතුංග පොරොන්දු වූ බව කියමිනි; එහෙත් බලයට පත්වීමෙන් පසු ඇය එම පොරොන්දුව ඉවත දැමුවාාය. .

ජවිපෙ කුමාරතුංග සමග පෙල ගැසුනේ, ඇගේ ආන්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එජාපයට පලායාම හේතුවෙන් එයට ආන්ඩුවක් පිහිටුවීමට හැකිවීමෙන් පසුවය. 2003 නොවැම්බරයේදී, ජවිපෙ පීඩනය යටතේ, ජනාධිපති කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂ කැබිනට් මන්ඩලයෙන් ප්‍රධාන අමාත්‍යාංශ තුනක් පැහැරගෙන, පසුව 2004 මාර්තු මාසයේදී එම ආන්ඩුව නෙරපා හැරියාය.

2004 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරනයට තරඟ කිරීම සඳහා නව මැතිවරන සන්ධානයක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) පිහිටුවීමට ජවිපෙ, ශ්‍රීලනිපය සමග එක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගෙන ජනතා විමුක්ති පෙරමුන ආසන 39 ක් ලබා ගැනීමෙන් පසුව එයට අමාත්‍ය ධුර හතරක් ඊට හිමි විය.

එහි දී, කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය ධුරයට දිසානායක ද, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත සහ චන්ද්‍රදාස විජේසිංහ පිලිවෙලින් සංස්කෘතික කටයුතු, ග්‍රාමීය ආර්ථිකය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරුන් ලෙස ද පත්වූහ. ජනතා විමුක්ති පෙරමුනේ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාගත්හ.

එල්ටීටීඊය සමග සාම ගිවිසුමකට එලැඹීමට එජාපය ප්‍රමුඛ ආන්ඩුව දැරූ උත්සාහයන් යටපත් කිරීමට, කුමාරතුංග විසින් ක්‍රියා කල නිසා අත්හිටුවා තිබූ ජාමූඅ හි ඇප නය ලබා ගැනීම සඳහා ඇගේ එජනිස ආන්ඩුව මංමුලා සහගත ප්‍රයත්නයක නිරත විය.

එහි කොටසක් ලෙස ජාමූඅ හි කප්පාදු පැනවීමට තම සූදානම ඇඟවුම් කරමින්, කුමාරතුංග අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල සහනාධාර ඉවත්කොට වැඩ කරන ජනතාව ඉතා දුෂ්කර තත්වයකට ඇද දැමුවාය. පෙට්‍රල්, පිසුම් ගෑස්, රටේ ප්‍රධාන ආහාරය වන සහල් සහ පිටි කිරි යන මේ සියල්ලේ මිල වැඩි කෙරුනු මෙම පියවර වලට ජවිපෙ විරුද්ධ වූයේ නැත. ග්‍රාමීය වැව් 1000 ක් ප්‍රතිසංස්කරනය කිරීම, ගොවීන් සහ ධීවරයින් සඳහා පහසුකම් සැලසීම ගැන ජවිපෙ පම්පෝරි ගැසූ නමුත් කිසිවක් ඉටු වූයේ ද නැත.

දිවයිනේ දකුනු වෙරල තීරයෙන් වැඩි කොටසක් විනාශයට පත්කල 2004 දෙසැම්බර් සුනාමියෙන් පසු, ජවිපෙ, වර්ගවාදී පදනමක් මත, කුමාරතුංග සමග ගැටුමකට පැමිනියේය. විශේෂයෙන්ම, දෙමල පුනරුත්ථාපන මධ්‍යස්ථානය ද ඇතුලත්කොට, 2004 දෙසැම්බර් සුනාමියෙන් විපතට පත් වූවන් සඳහා අධාර ලබා දීමට යෝජනා කෙරුනු “පශ්චාත් සුනාමි මෙහෙයුම් කලමනාකරන ව්‍යුහය (පීටොම්ස්)', පිහිටුවීම “එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට” ප්‍රතිලාභ ලබා දීමක් බව ප්‍රකාශ කරමින්, ජනතා විමුක්ති පෙරමුනේ ඇමැතිවරු ආන්ඩුවෙන් ඉවත් වූහ.

2005 අවසානයේ, ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ, එල්ටීටීඊය සමඟ සටන් විරාම ගිවිසුම අවසන් කරන බවට ප්‍රතිඥා දීමෙන් පසු, ඔහු සමඟ ජවිපෙ තවත් ගිවිසුමකට එලැඹුනි. දිසානායක අනෙකුත් ජවිපෙ නායකයන් සමග රාජපක්ෂගේ ජයග්‍රහනය සඳහා උද්ඝෝෂනය කල නමුත් ආන්ඩුවට එකතු වූයේ නැත.

පාර්ලිමේන්තුවේදී ඔවුහු ඔහුගේ යුද අයවැයට සහ මර්දනකාරී හදිසි නීති රෙගුලාසි දීර්ඝ කිරීමට සහාය දුන්හ. කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යලි බලාත්මක කරන ලෙස ජවිපෙ ඔහුට බලපෑම් කල අතර යුද්ධයට බාධා නොකිරීමේ නාමයෙන් පන්ති අරගලය යටපත් කිරීමට උදව් කලේය.

2008 මැයි මාසයේදී විමල් වීරවංශ රාජපක්ෂ ආන්ඩුවට එකතුවීමෙන් පසු, පක්ෂය ඔහු නෙරපා හැරීමත් සමඟ, ජවිපෙ පාර්ලිමේන්තු කන්ඩායම් නායකයා බවට දිසානායක පත් විය. යුද්ධයේ අවසන් මාසවල දස දහස් ගනනක් සිවිල් වැසියන්ට එරෙහිව මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ ආරක්ෂා කලේය. ජවිපෙ, රාජපක්ෂගෙන් 2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයෙන් පසුව තව දුරටත් ඈත් වූයේය.

සිය “පොදු අපේක්ෂකයා” ලෙස හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දීම සඳහා 2010 ජනාධිපතිවරනයේදී ජවිපෙ එජාපය සමග සන්ධානගත වූයේය. මිලිටරියේ කුරිරුකම් සම්බන්ධයෙන්, රාජපක්ෂ ආන්ඩුවේ හමුදාපතිවරයා ලෙස ෆොන්සේකා වගකිවයුතු වුවද ජවිපෙ “ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය” ලෙස ඔහු හුවා දැක්වූයේය.

දිසානායක පක්ෂ නායකයා වෙයි

1992 සිට පක්ෂයට නායකත්වය දුන් අමරසිංහ වෙනුවට, 2014 පෙබරවාරි මාසයේදී දිසානායක පක්ෂ නායකත්වයට පත් විය. මධ්‍යම කාරක සභාවේ බහුතරය දිසානායකට පක්ෂ වූ බව වාර්තා වූ අතර අමරසිංහට විශ්‍රාම යාමට බල කෙරුනි.

ජවිපෙ යනු, අතීත ප්‍රචන්ඩත්වය අත්හැර “ජාතික සමගිය” වෙනුවෙන් පෙනී සිටින, ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගෞරවනීය පක්ෂයක් බවට පත්වී ඇතැයි පෙන්නුම් කිරීමේ ප්‍රයත්නයක් සමඟ නායකත්වයේ මෙම වෙනස ඇති කිරීම සම්බන්ධ කර දැක්වුනි. ඒ සමගම මහා ව්‍යාපාර සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය කෙරෙහි ජවිපෙ සහයෝගය නැවත වරක් පෙරට ගන්නා ලදි.

2014 මැයි මාසයේ ලන්ඩනයේ පැවති සිංහල ඩයස්පෝරාවේ රැස්වීමක් ඇමතූ දිසානායක, 1988-1990 කාලය තුල ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ස්වෝත්තමවාදී ව්‍යාපාරයේ දී ජවිපෙ සිදුකල ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පක්ෂය වෙනුවෙන් පලමු වරට සමාව අයැද සිටියේය. කෙසේ වෙතත්, ඒ හුස්මටම, ඔහු පක්ෂයේ ක්‍රියා සාධාරනීකරනය කලේ ඒවා හුදෙක්ම එජාප ආන්ඩුවේ මර්දනයට ප්‍රතිචාර දැක්වීමක් යන බොරුව දෙසා බාමිනි.

ජනවාර්ගික ගැටුම් නිර්මානය කිරීම සම්බන්ධයෙන් දිසානායක නරුම ලෙස පසුගිය ආන්ඩුවලට දොස් පැවරුවේය. එය සත්‍යයක් වුවද, එම බොහෝ ආන්ඩුවලට පිටුබලය දීමේ ජවිපෙහිම භූමිකාව සහ “එල්ටීටීඊ ත්‍රස්තවාදයට” එරෙහිව නිර්දය යුද්ධයක් සඳහා වූ එහි ඉල්ලීම හිතාමතාම වසන් කලේය.

සිංහල වර්ගවාදය, දූෂනය සහ ඒකාධිපති පාලනය වෙනුවෙන් රාජපක්ෂට පහර දෙන අතරම, ජවිපෙ සහ එහි නව නායකයා, රාජපක්ෂ නෙරපා හැරීමේ වොෂින්ටනයේ පිටුබලය ලත් කුමන්ත්‍රනයට දක්ෂිනාංශික එජාපය සමඟ පෙල ගැසුනේය. ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප නායකයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන, රාජපක්ෂ සමග හවුල බිඳ දමමින්, එජාප ප්‍රමුඛ සන්ධානයක පිටුබලය ඇතිව, 2015 ජනවාරියේ ජනාධිපතිවරනය ජයග්‍රහනය කලේය. එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට එක්සත් ජනපදය සහාය දුන්නේය. නමුත්, එය මූල්‍ය ආධාර සහ ආයුධ සඳහා බීජිං වෙතට ඔහුගේ නැඹුරුවට සතුරු වූයේය.

ජවිපෙ, සෘජුවම සිරිසේනට ඡන්දය දෙන ලෙස ඉල්ලා නොසිටි මුත්, රාජපක්ෂ නෙරපා හරින ලෙස බලකරමින් තදබල මැතිවරන ව්‍යාපාරයක් දියත් කලේය. ඡන්ද බෙදී නොයනුවස්, ජවිපෙ, තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කලේ නැත.

2014 දෙසැම්බර් 1 දා ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දිසානායක මෙසේ ප්‍රකාශ කලේය: “[රාජපක්ෂගේ] මෙම ඒකාධිපතිත්වය පෙරලා දැමීමට සියලුදෙනාම එක්ව ක්‍රියා කල යුතුය... [එසේ වුවද] විපක්ෂය ජයග්‍රහනය කලහොත් පිහිටුවනු ලබන ආන්ඩුවක බහුතර බලය අප නොවනු ඇත.” ඔහු, “[එජාප නායක] රනිල් (වික්‍රමසිංහ) අගමැති වීම ගැන අපට ප්‍රශ්නයක් නැතැ” යි විශේෂයෙන් අවධාරනය කලේය:

රාජපක්ෂ නෙරපා හැරීමට එක්සත් ජනපදය යෙදූ පීඩනය ගැන අවධානය යොමු කරමින් දිසානායක පැවසුවේ, “ජාත්‍යන්තරය තුල හුදකලා වීමේ අවදානම,” විසඳිය යුතු එක් ගැටලුවක් වන බවයි.

ජනතා විමුක්ති පෙරමුන මැතිවරනයෙන් පසු ආන්ඩුවට එකතු වුයේ නැත. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මැතිවරනය අවසන් වන තුරු ඔහුගේ සුලුතර ආන්ඩුවට මුක්කු ගැසීමට සිරිසේන විසින් පත් කරන ලද 13 දෙනෙකුගෙන් යුත් ජාතික විධායක සභාවට, දිසානායක පත් කරන ලදී. ජවිපෙ නායකයා, සිරිසේන සහ අගමැති බවට පත් වූ වික්‍රමසිංහ මවා පෙන්වූ යහපාලන ප්‍රෝඩාවට ප්‍රශංසා කල ජවිපෙ නායකයාට ඔවුන් ආන්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය වොෂින්ටනය වෙත මාරු කිරීම ගැන කිසිදු ප්‍රශ්නයක් නොවී ය.

කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ගම්බද දුගීන් අතර පුලුල් විරෝධයක් අවුලුවාලමින් සිරිසේන-වික්‍රමසිංහ “ජාතික එකමුතු” ආන්ඩුව කුරිරු කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීය. ඉන් පසුව, ආන්ඩුව කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් ගැනීමට ජවිපෙ ක්‍රියා කල නමුත්, එහි පාලනයට තර්ජනයක් එල්ල වීම වැලැක්වීම සඳහා කම්කරු අරගල පැන නැගීම නතර කිරීමට ක්‍රියා කලේය.

2019 පාස්කු ඉරිදා, පල්ලිවලට සහ සුඛෝපභෝගී හෝටල්වලට අයිඑස්අයිඑස් පිටුබලය ලත් ඉස්ලාමීය කන්ඩායමක් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයත් සමගම, ජවිපෙ සහ දිසානායක තමන් අතීත වර්ගවාදී දේශපාලනය අතහැර ඇතැයි කල මවාපෑම් සියල්ල කුඩුපට්ටම් විය. පාර්ලිමේන්තුවේදී කතා කරමින් දිසානායක, “මුස්ලිම් ත්‍රස්තවාදය” හෙලා දුටුවා පමනක් නොව, “මෙම විනාශකාරී කලලය මුස්ලිම් ගර්භාශය තුල වර්ධනය වෙමින් පවතී” යැයි පවසමින් සමස්ත මුස්ලිම් ප්‍රජාවටම දොස් පැවරීය.

ජවිපෙ නායකත්වය, 2019 අගෝස්තු මාසයේදී, එහි අතීතය තවදුරටත් වසන්කොට එයට සුජාතභාවයක් ලබාගනුවස්, ඉහල මධ්‍යම පන්තියේ ස්ථර ඇද ගැනීමට, ජාතික ජන බලවේගය (ජාජබ) යනුවෙන් මැතිවරන පෙරමුනක් පිහිටුවීම නිවේදනය කලේය.

ඔක්තෝබර් 20 දා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මෑත දේශපාලන තීරු ලිපියක්, ජාජබ පිහිටුවීම පිටුපස පැවති පාලක කවයන්ගේ හවුල පිලිබඳ යම් හෙලිදරව්වක් කර ඇත. 2019 ජනාධිපතිවරනයට මාස කිහිපයකට පෙර, සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේදී ගොඩනැගුනු සංවාදයක කොටසක් ලෙස, දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් හමුව තිබේ.

සන්ඩේ ටයිම්ස් මෙසේ පැහැදිලි කලේය: “කතිකාව අතරතුර, එජාපයේ ප්‍රබලයෙකු... යෝජනාවක් ඉදිරිපත් කලේය... ඒ, ජවිපෙ අනන්‍යතාවය රඳවා ගනිමින්, පක්ෂය නැවත-සන්නාම ගන්වන ලෙසට යි. අනන්‍යතාව රැකගැනීමේ යෝජනාව, සාමාන්‍ය ජනතාව සතුටු කිරීමට යි. නව මූනත්තහඩුවක්, දේශීයවත්, බාහිර ලෝකයටත් ආකර්ශනීය වනු ඇති බව ඔහු පැවසීය.”

එවැනි යලි-සන්නාමකරනයක් “ජවිපෙ ප්‍රචන්ඩ සිද්ධීන් හා සම්බන්ධ පූර්ව වාර්තාව පිලිබඳ විවේචන ද ඉවත් කර දමනු ඇති” බවට ඔහු ජවිපෙ නායකයින්ට උපදෙස් දුන්නේය.

යලි-සන්නාමකරනයෙන් ජාජබ උපත ලැබුවේ, දැන් අගමැතිනිය වන ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු ජවිපෙ වටා දැනට ඒකරාශී වී සිටින ප්‍රමුඛ ශාස්ත්‍රාලිකයින් සහ රාජ්‍ය නොවන සංවිධානවල ඉහල ක්‍රියාකාරීන් සමඟිනි. ඊලඟ වසර පහ තුල, විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුලත් කර ගනිමින් ජාජබ පුලුල් විය.

මෙම කාල පරිච්ඡේය තුල, විශේෂයෙන්ම 2022 මහජන නැගිටීමෙන් පසුව, ජවිපෙ/ජාජබ කොලඹ රාජ්‍ය තාන්ත්‍රික කවයන් තුල සහ විශේෂයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගෙන ඇත.

අනුර කුමාර දිසානායක ඇමරිකානු තානාපති ජූලි චන්ග් සමග (Source: US Ambassador Julie Chung Facebook page) [Photo by US Ambassador Julie Chung Facebook page]

2022 ජූලි මාසයේ දී, ජවිපෙ කාර්යාලයේ දී දිසානායක සහ අනෙකුත් නායකයන් හමුවීමෙන් පසු එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මෙසේ ප්‍රකාශ කලා ය: “මට නම් ජවිපෙ යනු සැලකිය යුතු පක්ෂයකි. ඔවුන්ට වර්ධනය වන පැවැත්මක් ඇත. ඔවුන් මෑත කාලයේ මහජනතාව සමඟ අනුනාද වේ... එක්සත් ජනපද ආන්ඩුව සමග, පක්ෂයක් ලෙස පමනක් නොව, පුද්ගලික ලෙස ඉතා සමීපව ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වය සමඟ සම්බන්ධ වීම සැබවින්ම මගේ යුතුකම බව මම සිතුවෙමි.”

සමාජවාදී වාගාලාප ඉවත දැමීමෙහි සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ අධිරාජ්‍ය ගැති දේශපාලන මෙවලමක් බවට පරිවර්තනය වීමෙහි ලා දිසානායක විශේෂ කාර්යභාරයක් ඉටුකර ඇති ජවිපෙ ඉතිහාසය කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු ඇඟවීමකි. දිසානායක ආන්ඩුව, කම්කරුවන් හා දුගීන් මත ගැඹුරු ආර්ථික අර්බුදයේ බර පැටවීමට සහ පොලිස්-රාජ්‍ය පියවරයන් ඇතුලුව ඕනෑම විරුද්ධත්වයක් නිර්දය ලෙස මර්දනය කිරීමට මුලුමනින්ම කැපවී සිටී.

තම මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයට එරෙහිව ඉදිරි පන්ති සටන් සඳහා දේශපාලනිකව සූදානම් වන ලෙස ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. අවශ්‍ය වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වෙමින්, ජවිපෙ/ජාජබ සහ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් සියලුම පක්ෂවලටත්, ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙංචයියන්ටත් එරෙහිව, ග්‍රාමීය දුගීන් හා තරුනයන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමයි.

නොවැම්බර් 14 දා පැවැත්වෙන මහ මැතිවරනයට සසප මැදිහත් වෙමින්, මැතිවරන දිස්ත්‍රික්ක තුනක්—අගනුවර වන කොලඹ, උතුරේ යාපනය සහ මධ්‍යම වතුකරයේ නුවරඑලිය—සඳහා අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරයි. තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය ඉදිරියට ගෙන යාමට, වෘත්තීය සමිතිවලින් හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු. අපගේ ව්‍යාපාරයට සහාය දෙන ලෙසත්, අපගේ අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත්, මෙම ඉදිරිදර්ශනය සඳහා වන අරගලයට අප හා එක්වන ලෙසත් අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading