රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමක් සිදු නොවන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නැවතත් ප්‍රකාශ කරයි

[මෙය Sri Lankan president again declares: No increase to public sector salaries යන මැයෙන් 2024 ඔක්තෝබර් 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඔක්තෝබර් 24 දා ජාතික ජන බලවේගයේ (ජාජබ)/ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මැතිවරන රැලියකදී ජනාධිපති අනුර දිසානායක කථා කරමින් මෙසේ ප්‍රකාශ කලේය: “පසුගිය [වික්‍රමසිංහ] පරිපාලනය විසින් [ප්‍රකාශ කරන ලද] රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම සඳහා මුදල් වෙන්කර තිබුනෙ නැහැ..”

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, 2024 සැප්තැම්බර් 23 වන දින සිය දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය අමතමින් [ඡායාරූපය: ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය] [Photo by Sri Lanka President's Media Division]

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් සඳහා අවශ්‍ය මුදල් සැප්තැම්බර් මාසයේදී වෙන් කල බවට වික්‍රමසිංහ කල ප්‍රකාශය, දිසානායක ප්‍රතික්ෂේප කලේය. ඔහු හිටපු ජනාධිපතිවරයාට තරවටු කරමින් කියා සිටියේ, මැතිවරනයෙන් පැරදුනු නිසා “වත්මන් ආන්ඩුව හෑල්ලුවට ලක්කිරීමේ අරමුනින් අදහස් දැක්වීමට වඩා, ගෙදරට වී සිටීම” වඩා හොඳ බවයි.

ඉදිරි අයවැයේදී තම ආන්ඩුව රාජ්‍ය අංශයේ වැටුප් ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන බව පැවසූ දිසානායක, “ආර්ථික ප්‍රතිසංස්කරන සඳහා මනාව සැලසුම් කල ප්‍රවේශයක්” සඳහා පරිපාලනයේ කැපවීම අවධාරනය කලේය.

එයින් ඇඟවෙන පරි​දි, ආන්ඩුවේ ප්‍රමුඛතාවය “ආර්ථික ප්‍රතිසංස්කරන” මිස රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් හෝ වැඩකරන ජනතාවගේ වෙනත් හදිසි අවශ්‍යතා නොවන බැවින්, ඔහුගේ ප්‍රකාශය කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි.

දිසානායක සඳහන් කරන “ආර්ථික ප්‍රතිසංස්කරන” වනා​හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කල කප්පාදු පිලිවෙත් ​ය. වික්‍රමසිංහ තන්ත්‍රය වැටුප් කැටි කිරීම, එකතු කල අගය මත බද්ද ඇතුලු බදුවලට වැඩි කිරීම, විදුලිය හා ජල ගාස්තු ඉහල දැමීම, මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වන මුදල් කප්පාදුව වැනි මෙම කුරිරු පියවර කිහිපයක් ම ක්‍රියාවට නැංවීය. වික්‍රමසිංහ, ප්‍රතිව්‍යුහගත කිරීම හරහා බොහෝ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සඳහා සූදානම් කලේය.

සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරනයෙන් බලයට පත් වූ දිසානායක, ත්‍රිපුද්ගල කැබිනට් මන්ඩලයක් පිහිටුවා, නොවැම්බර් 14 දින හදිසි පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවීය. දිසානායක සහ ඔහුගේ ජාජබ/ජවිපෙ, විශාල පාර්ලිමේන්තු බහුතරයක් සහිත “ශක්තිමත් ආන්ඩුවක්” ඉල්ලා සිටින්නේ, ඒ හරහා ඉතිරිව ඇති “ප්‍රතිසංස්කරන” සියල්ල තල්ලු කර ගැනීමට ය. රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හෝ වානිජකරනය සම්පූර්න කිරීම, දස දහස් ගනනක් කම්කරුවන් ඉවත් කිරීම හරහා රාජ්‍ය සේවය පහත හෙලීම සහ මහජන සෞඛ්‍යයට හා අධ්‍යාපනයට තව දුරටත් එල්ල කෙරෙන ප්‍රහාර ඒවාට ඇතුලත් වේ.

මෙම කප්පාදු පියවරවල ප්‍රධාන අරමුන වන්නේ, 2028 වන විට පැහැර හරින ලද විදේශ නය ආපසු ගෙවීමේ කොන්දේසි නිර්මානය කිරීම සහ මහා ව්‍යාපාරික ලාභ ඉහල නැංවීමයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිලිබඳ ආන්ඩුවේ ස්ථාවරය පිලිබඳ ප්‍රශ්නය මුලින්ම මතු වූයේ ඔක්තෝබර් 15 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡා​වේදීය. කැබිනට් ප්‍රකාශක හා අමාත්‍ය විජිත හේරත්ගෙන් වාර්තාකරුවෙක්, පසුගිය වික්‍රමසිංහ පාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වැටුප් වැඩිවීම, ආන්ඩුව ගෙවන්නේ දැයි විමසා සිටියේය.

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා සියයට 25 කින් පමන මාසික වැටුප් වැඩි කිරීමට කැබිනට් මන්ඩලය තීරනය කල බව වික්‍රමසිංහ සැප්තැම්බර් මාසයේදී නිවේදනය කර තිබුනි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකාවේ කොලඹ පැවති මහජන රැලියකදී [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

හේරත් මාධ්‍ය වෙත කියා සිටියේ, වික්‍රමසිංහ මෙම තීරනය ගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ කිසිදු විමසීමකින් තොරව බවයි. “අප​ට මූල්‍ය තත්වය සලකා බලා තීරනයක් ගැනීමට සිදුවනු ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය. ඔහු පැවසුවේ, වික්‍රමසිංහ එම ප්‍රකාශය කලේ හුදෙක් ඡන්ද ලබාගැනීම සඳහා බව යි.

ආන්ඩුව වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කිරීම දරාගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳින ලක්ෂ 14 කට අධික රාජ්‍ය අංශයේ සේවකයින්ට බලපානු ඇත.

හේරත්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කල වික්‍රමසිංහ, අවශ්‍ය මුදල් නිසි පරිදි වෙන් කල බව අවධාරනය කලේය.

වික්‍රමසිංහට කම්කරුවන් හා දුප්පතුන් කෙරෙහි අනුකම්පාවක් නැත. තම ආන්ඩුවට අරමුදල් නොමැති බවත්, ආසන්න ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට පියවර ගත යුතු බවත් යලි යලිත් කියමින්, තනතුරේ සිටියදී, වැටුප් වැඩිවීමක් සඳහා රාජ්‍ය සේවකයින්ගේ අරගලවලට ඔහු සතුරු විය.

ඔහු උද්ඝෝෂන කරන කම්කරුවන්ට එරෙහිව අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි පැනවූ අතර, වැඩ වර්ජන හා පෙලපාලි වලක්වමින් ඔවුන්ට එරෙහිව ම්ලේච්ඡ පොලිස් හා මිලිටරි ප්‍රහාර මුදා හැරියේය.

රාජ්‍ය අංශයේ සේවකයන්, පසුගිය වසර දෙක තුල නතර කර තිබූ, මසකට රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් සහ විශ්‍රාම වැටුප් වැටුප් වර්ධක ලබාදීම ලෙස ඉල්ලා, ජුලි 8 සහ 9 යන දෙදින දැවැන්ත වැඩ නැවැත්වීමක් දියත් කරන ලදී. මෙම විරුද්ධත්වයට මුහුන දෙමින්, සැප්තැම්බර් මාසයේ ප්‍රමානවත් වැටුප් වැඩිවීමක් ප්‍රකාශ කිරීමට වික්‍රමසිංහට සිදු විය.

එම යෝජිත වැටුප් වැඩිවීම ගෙවනු ලැබුවද, මූර්ත වැටුප්වල දැවැන්ත පහත වැටීම හානිපූරනය වීමට එය ප්‍රමානවත් නොවනු ඇත. නිල දත්ත වලට අනුව, 2022 සහ 2023 දී සියලුම කම්කරුවන්ගේ මූර්ත වැටුප පිලිවෙලින් සියයට 27 සහ 22 කින් අඩු විය.

දිසානායක විසින් යෝජිත වැටුප් වැඩිවීම ගෙවීම ප්‍රතික්ෂේප කිරීම, ඔහුගේ පාලන තන්ත්‍රය කප්පාදු ඉල්ලීම්වලට අවනත වන බවට ජාමූඅ වෙත කෙරෙන පැහැදිලි සංඥාවකි. මේ වන විට, ආන්ඩුව, ජාමූඅ ඩොලර් මිලියන 339 ක ඇප නයක සිව්වන වාරිකය සුරක්ෂිත කර ගැනීමේ මංමුලා සහගත උත්සාහයක නිරතව සිටී.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජනාධිපතිගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුලු ආන්ඩුවේ නියෝජිත පිරිසක්, පසුගිය සතියේ, ජාමූඅ ප්‍රධානීන් හමුවීමට වොෂින්ටනයට ගියහ. කප්පාදුව සමඟ ඉදිරියට යාමට ආන්ඩුවේ අධිෂ්ඨානය ඔවුහු ප්‍රකාශ කලහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, ඔවුන්ගේ “කැපවීම තමන් දිරිමත් කල” බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, ඔහුගේ වාචාල කතා කුමක් වුවත්, දිසානායක දිගටම ගෙන යන්නේ වික්‍රමසිංහ ක්‍රියාත්මක කල ප්‍රතිපත්තිම ය.

ආන්ඩුව වැටුප් වැඩිවීම ප්‍රතික්ෂේප කිරීම ගැන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සම්පූර්නයෙන්ම නිහඬය. මෙම වසර මුලදී රාජ්‍ය සේවකයින්ගේ විරෝධතා කැඳවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති (සීඑස්පීඑස්එස්ටීයූ) සාමූහිකය විසිනි. අනෙකුත් වෘත්තීය සමිති නිලධරයන් මෙන් ම, සීපීඑස්එස්ටීයූ ද පීඩනය යටතේ මෙම ක්‍රියා කැඳවුම් කලේ, එය වාෂ්ප කර දැමීමේ උත්සාහයක් ලෙස පමනි.

සීඑස්පීඑස්එස්ටීයූ හි ප්‍රධානියා වන චන්දන සූරියආරච්චි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රකට නායකයෙකි. ඔහු කොලඹ දිස්ත්‍රික්කයට ජාජබ අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත් වෙයි. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඇතුලු තවත් ජවිපෙ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් ද ජාජබ යටතේ මැතිවරනයට ඉදිරිපත් වෙති. වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සහ විපක්ෂයේ සමගි ජනබලවේගය යටතේ තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයෝ සටන්වදිති.

මේ සියලු දෙනාම කැපවී සිටින්නේ, ආර්ථික අර්බුදයට කැපවීම​ට වැඩකරන ජනතාවට වන්දි ගෙවීමට බලකිරීමේ න්‍යාය පත්‍රයටය.

රාජ්‍ය අංශයේ කම්කරුවන්, වැටුප් වැඩිවීම් සඳහා අරමුදල් නොමැති බවට කරන ආන්ඩුවේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කල යුතුය. වැටුප් වැඩිකිරී​ම් ධනේශ්වර ආන්ඩුවල පුන්‍ය කටයුත්තක් නොව, කම්කරුවන්ගේ මූලික අවශ්‍යතාවයක් සහ අයිතිවාසිකමකි.

කොලඹ වරාය, දුම්රිය, වතුකරය, ඇඟලුම් ක්ෂේත්‍රය සහ පාසල්වල සේවක සේවිකාවන් ආවරනය කරන කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානයක් වන ක්‍රියාකාරී කමිටු සාමූහිකය (සීඒසී), රාජ්‍ය අංශයේ සේවකයන්ට, ආන්ඩුවේ පියවරවලට විරුද්ධ වන ලෙස සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා අරගලයක් දියත් කිරීමට සූදානම් වන ලෙස ඉල්ලා සිටිමි​න් ප්‍රකාශයක් නිකුත් කලේය. කම්කරුවන්ට වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකි බවත්, මෙම දූෂිත ධනේශ්වර ගැති උපකරනවලින් ස්වාධීනව සංවිධානය විය යුතු බවත් එම ප්‍රකාශය පැවසුවේ​ය.

එය මෙසේ ප්‍රකාශ කලේ​ය: “රාජ්‍ය අංශයේ සේවකයන්ට පමනක් නොව, දිසානායක පාලනය විසින් සමස්ත කම්කරු පන්තියට හා ග්‍රාමීය ජනතාවට එරෙහිව එල්ල කෙරෙන දුෂ්ට සමාජ ප්‍රහාරවලට එරෙහිව සටන් කරන ලෙස, අපි සියලුම රාජ්‍ය අංශයේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. පෞද්ගලික අංශයේ සේවකයන් ද මේ සටනට සම්බන්ධ විය යුතුය.”

එම ප්‍රකාශය පහත වැඩපි​ලිවල ඉදිරියට ගෙන යයි:

“අනුමත වැටුප් වැඩිවීමට අත නොතබනු!” යනුවෙන් කම්කරුවන් ප්‍රකාශ කල යුතු ය. මූර්ත වැටුප්වල අතීත ඛාදනය සඳහා සම්පූර්නයෙන් වන්දි ගෙවෙන ආකාරයේ වැටුප් වැඩිවීම් සියලුම කම්කරුවන්ට ගෙවිය යුතුය. සියලුම වැටුප් ජීවන වියදමට අනුව ඉහල යා යුතුය!

ජාමූඅ කප්පාදු එපා! සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු!

පුද්ගලීකරනයට විරුද්ධ වෙනු! පුද්ගලීකරනයට මුහුන දෙන සියලුම රජය සතු ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කල යුතුය!

සියලුම වාර්ගික හා ජාතික බෙදීම් ප්‍රතික්ෂේප කරනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා!

ධනප​ති ප්‍රභූව කම්කරු පන්තිය සූරාකෑම තුලින් රැස්කරගත් දැවැන්ත ධනය අත්පත් කර ගනු.

බැංකු, මහා සමාගම් සහ වතු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු.

ප්‍රකාශය අවධාරනය කරන පරිදි, “මෙම අරගලය සංවිධානය කල යුත්තේ, කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සහ ග්‍රාමීය දුගීන් අතර ඒ හා සමාන කමිටු වලින් තෝරා පත්කරගත් නියෝජිතයින් මත පදනම් වන කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම හරහා ය.”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් වන්නේ මෙම විප්ලවවාදී වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට ය. මෙම අරගලයට සම්බන්ධ වන ලෙස අපි කම්කරුවන් හා තරුනයන් උනන්දු කර සිටිමු.

Loading