අධ්‍යාපන ඇමති අමරසූරිය ශිෂ්‍ය නායකයින්ගේ ඉල්ලීම් ඉවතලයි

[මෙය Sri Lankan education minister fobs off student leaders’ demands යන මැයෙන් 2024 ඔක්තෝබර් 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඔක්තෝබර් 17 දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) සහ තවත් ශිෂ්‍ය කන්ඩායම් කිහිපයක් අගමැතිනි හරිනි අමරසූරිය හමුවී, රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුලු, මහජන අධ්‍යාපනය තුල ගැඹුරු වන අර්බුදය ඉක්මනින් විසඳන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියහ.

අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් (මැද) 2024 ඔක්තෝබර් 17 වැනි දින ශ්‍රී ලංකා අගමැති හරිනි හමුවීම ගැන මාධ්‍ය හමුවක් අමතමින්. [ඡායාරූප: ෆේස්බුක්/අවිශිබම] [Photo by Facebook/IUSF]

අමරසූරිය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (එන්පීපී) ආන්ඩුවේ අධ්‍යාපන ඇමතිවරිය වන අතර එහි ත්‍රිපුද්ගල කැබිනට් මන්ඩලයේ සාමාජිකාවකි.

දක්ෂිනාංශික, මහා ව්‍යාපාරික-ගැති ජවිපෙ/ජාජබ පාලන තන්ත්‍රය සම්බන්ධව මිත්‍යාවන් ප්‍රවර්ධනය කල සහ දිසානායකගේ තේරී පත්වීම “මහජන අපේක්ෂාවන්” ප්‍රකාශයට පත්වීමක් ලෙස හුවා දැක්වූ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් අවිශිබම පාලනය කරයි.

ශිෂ්‍ය සංගම් නායකයන් සහ අගමැතිනි අතර රැස්වීම පැවැත්වූයේ, රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන් මුහුන දෙන ගැටලු කිහිපයක් ගෙනහැර දක්වමින්, අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් විසින් අමරසූරිය වෙත පිටු හතක ලිපියක් යැවීමෙන් පසුව ය.

සිසුන් මුහුන දෙන දුෂ්කරතා සඳහා කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි ශිෂ්‍ය නායකයින්ට ඇමතිවරියගෙන් “ධනාත්මක ප්‍රතිචාරයක්” නොලැබීම ගැන, ඔක්තෝබර් 21 දා මාධ්‍ය හමුවක් අමතමින් අවිශිබම කැඳවුම්කරු චන්ද්‍රජිත් අඳෝනා නැගුවේ ය.

විශ්ව විද්‍යාල නේවාසිකාගාර සහ දේශන ශාලා හිඟය, මහපොල ශිෂ්‍යාධාරය ගෙවීමේ ප්‍රමාදය, ආචාර්ය හිඟය සහ අධ්‍යාපනය පෞද්ගලීකරනය යන කරුනු අවිශිබම ලිපියේ ලැයිස්තුගත කර තිබුනි. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ගුරුවරුන් 12,900 ක් අවශ්‍ය නමුත් දැනට සේවයේ සිටින්නේ 6,548 ක් පමනක් බව එහි සඳහන් විය. පේරාදෙනිය සහ සබරගමුව විශ්වවිද්‍යාලවල, පිලිවෙලින් කලමනාකරන පීඨය සහ පරිගනක විද්‍යා පීඨය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් නොමැත.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ නවක සිසුන් සඳහා ලියාපදිංචි ගාස්තු රුපියල් 2,100 සිට රුපියල් 6,100 දක්වා ඉහල නංවා ඇති අතර අනෙකුත් විශ්ව විද්‍යාලවල ද විභාග ගාස්තු සහ අනෙකුත් මූලික වියදම් ඉහල දමා ඇත. වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම නතර කරන ලෙසත්, මහපොල ශිෂ්‍යාධාර මාසික මුදල රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

බලාපොරොත්තු විය හැකි ආකාරයට ම, කලින් අධ්‍යාපන ඇමතිවරුන් මෙන්ම අමරසූරිය ද, ජවිපෙ/ජාජබ පරිපාලනයට මෙම ඉල්ලීම්වලට ක්ෂනික විසඳුම් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කලා ය. වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනය නැවැත්වීම සම්බන්ධයෙන් “නිශ්චිත පිලිතුරක් දීමට නොහැකි” බව අධ්‍යාපන ඇමතිනිය පැවසූ බවත්, මහපොල ආධාර වැඩි කිරීමක් සිදු නොකරන බව ඇගේ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වූ බවත් අවිශිබම කැඳවුම්කරු චන්ද්‍රජිත් මාධ්‍යයට පැවසුවේ ය.

පෙර පැවති වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවන ලද, උපයන විට ගෙවන බද්ද ඉතා ඉහල නිසා, බොහෝ දෙනෙකු රට හැර යාමේ ප්‍රතිඵලයක් ලෙස ආචාර්ය හිඟය ඇති වී ඇතැයි අවිශිබම ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, කොලඹ පාලනයේ බදු ප්‍රතිපත්ති පිලිබඳ ඕනෑම සමාලෝචනයක් සඳහා කාලයක් ගතවනු ඇති බවත්, නේවාසිකාගාර හිඟය සම්බන්ධයෙන් “ප්‍රතිපත්තිමය තීරනයක් ගැනීමට” නොහැකි බවත් අමරසූරිය නියෝජිත පිරිසට පවසා තිබේ. කෙටියෙන් කිවහොත් ඇමතිවරිය ශිෂ්‍ය නායකයින් චාටුවෙන් රවටා තිබේ.

මෙය, දිසානායක ආන්ඩුව සහ එහි ආර්ථික උපදේශකයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග වලට මුලුමනින්ම කැපවී සිටින බවට යලි වතාවක් තහවුරු වීමක් මිස පුදුමයට කරුනක් නොවේ. නව පාලන තන්ත්‍රය වික්‍රමසිංහගේ පෙර වැඩපිලිවෙලම පවත්වාගෙන යන බව සක්සුදක් සේ පැහැදිලි කරමින්, ඩොලර් බිලියන 3 ක ජාමූඅ ඇප නයෙහි මීලඟ වාරිකය සුරක්ෂිත කර ගැනීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටී.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දමා ඇති වැට් ඇතුලු බදු තියුනුව ඉහල දැමීම, වැටුප් කැටිකිරීම්, රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය ආරම්භ කිරීම සහ ඇස්තමේන්තුගත කර ඇති පරිදි රාජ්‍ය අංශයේ රැකියා 500,000 ක් විනාශ කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා රජයේ අරමුදල් ක්‍රමානුකූලව කප්පාදු කිරීම මෙම පියවරයන්ට ඇතුලත් වේ.

ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන් කල යුතු බවත් සිසුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ ඉල්ලීම්වලට තමන් සහාය දෙන බවත් ජවිපෙ මීට පෙර කියා සිටියේ ය. ජාජබ—“දියුනුවෙන ජාතියක්! ලස්සන රටක්!”— යන මායාමය හා ජාතිකවාදී මැතිවරන ප්‍රකාශනයෙන් අවධාරනය කලේ, එය දල දේශීය නිෂ්පාදිතයෙන් “අධ්‍යාපනයට වෙන් කිරීම ක්‍රමයෙන් සියයට 6 දක්වා ඉහල නංවන” බවයි.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 28 වැනි දින ශ්‍රී ලංකාව පුරා සිටින සිය ගනනක පාසල් විදුහල්පතිවරුන්ගේ වැඩමුලුවක් අමතමින් අමරසූරිය පැවසුවේ, අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කිරීම, ආර්ථික කඩාවැටීමේ සන්දර්භය තුල “එකවර ක්‍රියාත්මක කල නොහැකි” බවයි. ආන්ඩුව, “මෙම ඉලක්ක ක්‍රමානුකූලව” හඹා යනු ඇතැයි ඇය නරුම ලෙස කියා සිටියාය.

පුද්ගලීකරනය ඉහල දැමීමට යෝජනා කල වික්‍රමසිංහගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ යයි ජවිපෙ/ජාජබ මීට පෙර ප්‍රකාශ කර ඇති බව අවිශිබම කැඳවුම්කරු චන්ද්‍රජිත් මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ ය. “මෙම ප්‍රතිපත්තියට විරුද්ධ වීමෙන් පසුව, වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට ජාජබ විරුද්ධ නොවන්නේ මන්දැයි මට තේරුම් ගන්න බෑ” යයි ඔහු කීවේය. “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ උත්සාහය වහා නවත්වන ලෙස” නව ආන්ඩුවෙන් ඉල්ලා ඇති ඔහුගේ ලිපිය, මෙය “ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන ආන්ඩුවක වගකීම” බව ප්‍රකාශ කර ඇත.

තම සංවිධානය ඔවුන්ගේ ඉල්ලීම් සඳහා සටන් කිරීමට “විශ්වවිද්‍යාල තුල උද්ඝෝෂන” ආරම්භ කරන බව, අවිශිබම කැඳවුම්කරු මාධ්‍ය වෙත පැවසුවේ ය. වෙනත් වචන වලින් කිවහොත්, අනෙකුත් අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු යටතේ මෙන්, සිසුන්ගේ ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට දිසානායක පාලනයට ද බලපෑම් යෙදිය හැකි බව පවසමින් අවිශිබම විරෝධතා පවත්වනු ඇත.

අවිශිබම 1978 දී ජවිපෙ විසින් පිහිටුවන ලද දා සිට, මෙම ඉදිරි මාවතක් නොමැති දේශපාලන වැඩපිලිවෙල යටතේ සිසුන් බලමුලු ගන්වා ඇත. 2012 දී ජවිපෙන් කැඩී ගිය පසු පෙසප විසින් ද ඉදිරියට ගෙන යන්නේ ද එම ඉදිරිදර්ශනයමයි. මෙම ක්‍රියාමාර්ගයේ කේන්ද්‍රීය අරමුන, සිසුන් විප්ලවවාදී ධනේශ්වර-විරෝධී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය වෙත හැරීමෙන් වැලැක්වීමයි.

අවිශිබම ට ප්‍රතිකූලව, “ජනතාවගේ අභිලාෂයන්” ඉටු කිරීමට ජවිපෙ/ජාජබ උනන්දු නොවේ. එය බලය දිනා ගැනීම සඳහා පාලක ප්‍රභූවේ සම්ප්‍රදායික පක්ෂවලට එරෙහි මහජන කෝපය නරුම ලෙස ගසා කෑ අතර දැන් ජාමූඅ හා ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන්නේ කම්කරුවන්, සිසුන් සහ ග්‍රාමීය ජනතාව මත ඔවුන්ගේ ම්ලේච්ඡ ප්‍රහාර පැටවීමටයි.

ශිෂ්‍යයන්, කම්කරු පන්තිය සහ දුගීන් ධනවාදය තුල මුහුන දෙන දරුනු සමාජ ගැටලුවලට ජාතික විසඳුමක් නොමැත. ලාභ පද්ධතියේ අර්බුදය ගැඹුරු වන විට ප්‍රථමයෙන් ඉලක්ක කර ගන්නේ, රාජ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවාවන් ය. මෙය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ඇතුලු අනෙකුත් සෑම ධනපති රටකටම සත්‍යයකි.

එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය සහ යුක්‍රේනයේ නැටෝව විසින් මෙහෙයවන යුද්ධයත්, චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීම සඳහාත් ඩොලර් බිලියන ගනනක් වෙන් කරයි. එය මෑතදී හදිසි සහන අරමුදල් වැඩසටහන යටතේ පාසල් සඳහා මධ්‍යම ආන්ඩුවේ සහාය අවසන් කරන ලද අතර, එය ඉදිරි වසර දෙක තුල ගුරුවරුන් 380,000 කගේ රැකියා අතුගා දමනු ඇත.

1977 ජයවර්ධන ආන්ඩුවේ “විවෘත වෙලඳපොල” ප්‍රතිපත්ති වලින් පටන් ගත් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, නිදහස් රාජ්‍ය අධ්‍යාපනය සඳහා අරමුදල් ක්‍රමානුකූලව කපා හැර ඇත. එය රට පුරා පුද්ගලික පාසල් සහ විශ්වවිද්‍යාල ව්‍යාප්ත කිරීමට තුඩු දුනි.

සෑම අදියරක් සඳහා ම නොමිලේ ලබා දෙන ගුනාත්මකව ඉහල අධ්‍යාපනයක් සහ මහපොල ආධාර වැඩි කිරීම, ඉහල දැමෙමින් පවත්නා විශ්වවිද්‍යාල සහ පාසල් පුද්ගලීකරනයට එරෙහි අරගලය, ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැක. ඒ වනාහි, දිසානායක ආන්ඩුවට සහ එහි ජාමූඅ ප්‍රතිපත්තිවලට එරෙහි දේශපාලන සටනකි.

දැන් විදේශ නය හිමියන්ට ආපසු ගෙවීමට යොදාගනු ලබන කම්කරු පන්තියෙන් හා ගම්බද ජනයාගෙන් මිරිකා ගැනෙන බිලියන සංඛ්‍යාත මුදල් සහ සමුච්ඡය කරගත් ලාභ, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් අවශ්‍ය සමාජ සේවා පුලුල් කිරීම සඳහා ලබා දිය යුතුය.

මෙම අරගලය ඉදිරියට ගෙන යා හැකි එකම ජාත්‍යන්තර හා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය වෙත සිසුන් හැරීගත යුතුය.

පෙසප සහ අවිශිබම නායකයන් මෙම ඉදිරිදර්ශනයට සතුරු වන අතර විසඳුම සඳහා සිසුන්ට තනිව ධනේශ්වර ආන්ඩුවට බලපෑම් කල හැකි යයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරති.

රාජපක්ෂ තන්ත්‍රය බිඳ දැමූ 2022 මහජන නැගිටීම අතරතුර, අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සඳහා සමගි ජන බලවේගයේ සහ ජවිපෙ/ජාජබ කැඳවුම්වලට සහාය දෙන ලෙස පෙසප සහ අවිශිබම කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන් මෙහෙයවන ලදී. මෙම ඉදිරිදර්ශනය මහජන ව්‍යාපාරය පාවා දුන් අතර වික්‍රමසිංහ ආන්ඩුවට සහ එහි ජාමූඅ කප්පාදු ක්‍රියාවට දැමීමට මග පෑදීය.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශ්‍ර) වන අපි, කම්කරු පන්තිය වෙත හැරී පහත සඳහන් ප්‍රතිපත්ති මත පදනම් වූ විප්ලවවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

• මහා සමාගම්, වතු සහ බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරනු!

• ජාමූඅ කප්පාදු සහ පුද්ගලීකරනය එපා! සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු!

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන ඉදිරියට ගෙන යා යුතු ය. එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ඉදිරිපත් කරන වැඩපිලිවෙල මෙයයි.

සසජාතශි ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ඔබේ විශ්වවිද්‍යාලවල එහි ශාඛාවන් ගොඩනඟන ලෙසත්, ඔබේ දිස්ත්‍රික්කයේ සසප අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත්, එහි මැතිවරන ව්‍යාපාරයට සහභාගී වී එහි ඉදිරිදර්ශනය සඳහා අරගලය ඉදිරියට ගෙන යන ලෙසත් අපි ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු.

කරුනාකර විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස්ඇප් මගින් අප හා සම්බන්ධ වන්න.

Email: iysseslb@gmail.com

WhatsApp: +94773562327

Loading