නව ජනාධිපතිවරයා සමඟ සබඳතා තර කර ගැනීම සඳහා එක්සත් ජනපද පැසිෆික් නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිනෙයි

[මෙය US Pacific Fleet commander visits Sri Lanka to cement ties with new president යන මැයෙන් 2024 ඔක්තෝබර් 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් ඔක්තෝබර් 10දා ශ්‍රී ලංකාවට පැමිණියේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර දිසානායක තේරී පත්වීමත් සමඟය.

එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඔක්තෝබර් 10දා [Photo by நான் இலங்கையன்]

ජවිපෙ නායකයා, වොෂින්ටනය සමග වැඩ කිරීමට ඇති කැමැත්ත ඒ වන විටත් ඇඟවුම් කර තිබුනද, කොහ්ලර්ගේ සංචාරය පැහැදිලිවම අරමුනු කර තිබුනේ වොෂින්ටනය කලාපය පුරා චීනයට එරෙහි තම ගැටුම උග්‍ර කරන විට, ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද මිලිටරි සබඳතා තහවුරු කර ගැනීමයි.

කොහ්ලර් හමුදා නිලධාරීන් හමු වූවා පමණක් නොව ජනාධිපති දිසානායක සමඟ, අන් අයට විවෘත නොකල රැස්වීමක් ද පැවැත්වීය. එක්සත් ජනපද ජනාධිපති බයිඩන් සිය ශ්‍රී ලංකා සහකරු සමග වැඩ කිරීමට කැමැත්ත පල කර ඇති අතර, වොෂින්ටනය උත්සාහ කරන්නේ මින් පෙර බලයේ නොසිටි ජවිපෙ/ජාජබ පරීක්ෂා කිරීමටයි.

කොහ්ලර් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නවීන තාක්‍ෂණයෙන් සමන්විත බීච්ක්‍රාෆ්ට් කිං එයාර් 360ඊආර් ගුවන් යානයක් පිරිනැමීය. සෙවීම් සහ මුදාගැනීම, මත්ද්‍රව්‍ය තහනම් කිරීම් සහ ප්‍රති-ජාවාරම් මෙහෙයුම් සඳහා මෙය සාමාන්‍යයෙන් යෙදවූවත්, මෙම පරිත්‍යගයේ මූලික අරමුන වන්නේ සමුද්‍ර නිරීක්ෂන ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද-ශ්‍රී ලංකා හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීමයි.

භාරදීමේ උත්සවයේදී කොහ්ලර්ගේ කතාව චීනයට එරෙහිව එල්ල වූවකි. ඔහු ප්‍රකාශ කලේ මෙම ලබාදීම “ගුවන් යානාවක පරිත්‍යයට වඩා වැඩි දෙයක්. මෙය ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සම්බන්ධය පිලිබඳවයි. එය අපගේ පොදු වටිනාකම් පිලිගැනීම් සහ නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිලිවෙත සඳහා වන සහයෝගය ගැන ය.”

“නීති මත පදනම් වූ ජාත්‍යන්තර පර්යාය” ලෙස වොෂින්ටනය නිතර සඳහන් කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සිය ආධිපත්‍ය ගෝලීය ආස්ථානය ආරක්ෂා කර ගැනීමට සහ එහි අවශ්‍යතා සපුරාලීම සඳහා තහවුරු කල නීති පද්ධතිය පිලිබඳවය. දැනටමත් යුක්රේනයේදී රුසියාවට එරෙහි යුද්ධයක යෙදී සිටින එක්සත් ජනපදය, මැද පෙරදිග ඊශ්‍රායලයේ තීව්‍රවන යුද්ධයට පිටුබලය දෙමින්, එහි ආධිපත්‍යයට ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය සමග ගැටුම සඳහා එහි සූදානම වේගවත් කරමින් සිටී. මෙම ලෝක “පිලිවෙලේ” “නීති” වලට “බලහත්කාරයෙන් දේශසීමා වෙනස් කිරීම වැලැක්වීම, මුහුදේ නිදහස පවත්වා ගැනීම සහ මහා විනාශකාරී ආයුධ භාවිතයට එරෙහි තහනම් කිරීම්” ඇතුලත් බව කොහ්ලර් තවදුරටත් පැවසීය.

මෙම වාක්‍ය ඛන්ඩ සියල්ලම පෙන්නුම් කරනුයේ, චීනය හා ඉන්දියාව අතර දේශසීමා ආරවුල්, තායිවානයේ තත්ත්‍වය, දකුනු චීන මුහුදේ සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ ප්‍රකෝපකාරී “නිදහස් නාවික ගමනාගමන” මිලිටරි මෙහෙයුම්, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් උතුරු කොරියාවට අපහාස කිරීම, එක්සත් ජනපදය විසින් හිතාමතාම අවුලුවා ඇති චීනය සමග ගැටුමේ භයානක ලක්ෂයන් ය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනදෙන නිලධාරි එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිය කතාවේ සඳහන් කලේ රටවල් දෙකම “මුහුදු ආරක්ෂාව පිලිබඳ නිපුනතා වැඩි දියුනු කිරීම” සහ ඉන්දියන් සාගරය සුරක්ෂිතව පවතින බව සහතික කිරීම තම අරමුනු බවයි.

චීනයට එරෙහිව එල්ල කරන ලද ඉන්දු පැසිෆික් කලාපයේ පවතින මිලිටරි සන්ධාන, හවුල්කාරිත්වයන් සහ ගිවිසුම් ජාලයට ශ්‍රී ලංකාව ඇතුලත් කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් සමඟ මෙම සම්බන්ධතාවයත් සමපාත වෙයි. ඉන්දියාව දැනටමත් එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ චීනය වටා මිලිටරි තොන්ඩුව ශක්තිමත් කිරීම ඉලක්ක කරගත් චතුර් පාර්ශ්වික ආරක්ෂක සංවාදය හෝ 'කොඩ්' සන්ධානයට අයත් වේ.

චීනයේ වෙලඳාම සඳහා තීරනාත්මක වන යුරෝපය, අප්‍රිකාව සහ මැදපෙරදිග සිට ඉන්දියානු සාගරය හරහා දිවෙන ප්‍රධාන නැව් මාර්ග අසල ශ්‍රී ලංකාව මූලෝපායිකව පිහිටා ඇත. එක්සත් ජනපදයේ මූලිකම අරමුනක් වන්නේ, ලංකාව තුල වරායන්ද ඇතුලුව මිලිටරි ප්‍රවේශය ලබා ගැනීම සහ චීනය ඒවා ලබාගැනීමෙන් වැලැක්වීමයි.

යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද මිලිටරි මෙහෙයුම්වලට සහාය දැක්වීම සඳහා ඕමාන් බොක්ක වෙත යුද නෞකාවක් “වීරෝධාරව යෙදවීම” ඇතුළුව, පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ වර්ධනය වූ එක්සත් ජනපද-ශ්‍රී ලංකා මිලිටරි සබඳතාවල වැදගත්කම කොහ්ලර් සඳහන් කලේය.

ඔහු අප්‍රේල් මාසයේදී කරාට් එක්සත් ජනපද-ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාස - ජූලි මාසයේදී හවායි හි දැවැන්ත රිම්පැක් නාවික අභ්‍යාස සඳහා ශ්‍රී ලංකා නාවික භටයින් සම්බන්ධ කර ගැනීම ගැන ද සඳහන් කලේය. පසුගිය මාසයේ, ශ්‍රී ලංකා රියර් අද්මිරාල් බානගොඩ, එක්සත් ජනපද ඉන්දු පැසිෆික් බලඇනිය මූලස්ථානය වන හවායි හි නාවික හමුදාපතිවරුන්ගේ පාඨමාලාවකට සහභාගී විය.

එක්සත් ජනපදය සමග මිලිටරි සබඳතා ඉදිරියට ගෙන යාමට ඇති තම එකඟතාවය ගැන දිසානායක දැනටමත් සහතික වී ඇත. පසුගිය දෙවසර තුල දිසානායක සහ ජවිපෙ/එන්පීපී නායකයින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් සමඟ පුලුල් සාකච්ඡා වල නිරත විය. සිය තේරී පත්වීම සම්බන්ධයෙන් බයිඩන්ගේ සුබපැතුම්වලට ප්‍රතිචාර ලෙස, දිසානායක “අපගේ දිගුකාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ සමීපව වැඩ කිරීමට” ප්‍රතිඥා දුනි.

කොහ්ලර්ගේ සංචාරයෙන් පසු දින, ඔක්තෝබර් 11 වෙනිදා, දිසානායක යූඑස්ඒඩ් පරිපාලිනී සමන්තා පවර් සමඟ අන්තර්ජලය හරහා සාකච්ඡාවක් පැවැත්වූ අතර, යූඑස්ඒඩ් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑ ම ආකාරයකින් සහාය දීමට සූදානම් බවට සහතික විය. පවර් අවසන් වරට 2022 දී ශ්‍රී ලංකාවට පැමිනියේ සැප්තැම්බර් මාසයේදී, වික්‍රමසිංහ ආන්ඩුව මහජනතාව මත දැඩි කප්පාදු පියවර පැනවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඒම්එෆ්) සමග කාර්ය මන්ඩල ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ය.

පවර්ගේ සංචාරය සිදුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සහ ඉල්ලා අස්වීම සිදු වූ 2022 මහජන නැගිටීමෙන් පසුවය. දැඩි ආර්ථික ඉල්ලීම් පොකුරක් සමඟින් පැමිනි නයකරය සමඟ ජාමූ අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ගැත්තකු වූ වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපති ලෙස පත් කරන ලදී.

දිවයිනේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුද තත්වය තුල, ආර්ථික හා උපායමාර්ගික සබඳතා පවත්වා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සිදුවීම්, පුලුල් කලාපීය අස්ථාවරත්වයක් ඇති නොකරන බවටත් අවධානය යොමු කරමින් අනෙකුත් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීන් ගනනාවක් මේ වසරේ දී ලංකාවට සංචාරය කලේ ය. දකුනු සහ මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ, පෙබරවාරි මාසයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් ලිස් ඇලන්ගේ තෙදින සංචාරයකින් පසුව, මැයි මාසයේදී සංචාරය කලේය.

නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයට පෙනී සිටින සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු අඟවන්නේ වික්‍රමසිංහගේ ආන්ඩුව මෙන්ම ජවිපෙ/එන්පීපී ආන්ඩුව ද, ශ්‍රී ලංකාව දැනටමත් සිදුවෙමින් පවතින එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් යුද්ධවලට සහ චීනය සූදානම් වන යුද්ධයට ඒකාබද්ධ කරන බවටය. කොහ්ලර්ගේ සංචාරය සහ දිසානායක සමග සාකච්ඡා ජවිපෙ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පෙලගැසී සිටින බවට තවත් එක් ඇඟවීමක් පමනි.

න්‍යෂ්ටික ව්‍යසනයකින් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මටම තර්ජනය කරන ලෝක යුද්ධයේ අන්තරායන් පිලිබඳව අනතුරු අඟවමින් සහ එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ මිලිටරි වේදිකාවක් බවට දිවයින පත් කිරීමට විරුද්ධව, මහා මැතිවරනයේදී උද්ඝෝෂනය කරන එකම පක්ෂය සසප යි. ධනේශ්වර ක්‍රමයට සහ එමගින් පැන නංවන යුධ අන්තරාය අවසන් කරන කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස සසප සටන් කරයි.

Loading