ශ්‍රී ලංකාවේ සසප, උතුරේ තම මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි නීති විරෝධී රාජ්‍ය හිරිහැර නතර කරන ලෙස බලකර සිටී

[මෙය Sri Lankan SEP demands an end to the illegal state harassment of its election candidates in the North යන මැයෙන් 2024 ඔක්තෝබර් 25 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්, පසුගිය සති දෙක පුරා, නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී උතුරේ යාපනය දිස්ත්‍රික්කයට තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂකයෙකුගේ නිවසට නීතිවිරෝධී ලෙස පැමින ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

මෑත ශ්‍රී ලංකා ජනාධිපතිවරන සමයේදී, 2024 අගෝස්තු 20 වන දින යාපනයේ පැවති ජනහමුවක් අමතන පානි විජේසිරිවර්ධන. [Photo: WSWS]

මැතිවරන නාමයෝජනා අවසන් වූ දිනට පසු, ඔක්තෝබර් 12 දා, සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, සසප යාපනය දිස්ත්‍රික් අපේක්ෂක රාසරතිනම් තිරුඥානවේල්ගේ නිවසට පැමිනීමත් සමග හිරිහැර කිරීම ආරම්භ විය. සවස 5 ට පමන පැමිනි ඔවුහු, ඔහු පිලිබඳ තොරතුරු විමසූහ. තිරුඥානවේල් නිවසේ නොමැති බව ඔහුගේ මව පැවසීමත් සමඟ, පොලිසිය අසල පිහිටි ඥාති නිවසකට ගොස් ඔහුගේ දුරකථන අංකය ලබාගෙන තිබේ.

වේරවිල් උප පොලිස් ස්ථානයෙන් සහ ජයපුරම් පොලිස් ස්ථානයෙන් බව පවසමින් පොලිස් නිලධාරීහු පසුදින තිරුඥානවේල්ට කතා කලහ. ඔහු තම ලිපිනයේ සඳහන් නිවසේ නොසිටියේ මන්ද, අනෙකුත් සසප අපේක්ෂකයින්ගේ නම්, විස්තර සහ ඔහු බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ සාමාජිකයෙකුද ආදිය විමසීමෙන් පසු, ඡායාරූපයක් ලබා දෙන ලෙසත්, විවිධ ප්‍රශ්නවලට පිලිතුරු දෙන ලෙසත් පොලිස් නිලධාරීහු ඔහුට නියෝග කලහ. යාපනය දිස්ත්‍රික්කය සඳහා සසප අපේක්ෂක ලැයිස්තුවෙන් සමහර නම් උපුටා දක්වමින් පොලිසිය ඔවුන් සිටින තැන් ගැන ද විමසීය.

සසප අපේක්ෂකයින් පිලිබඳ අවශ්‍ය සියලු තොරතුරු මැතිවරන කොමිසමට ඉදිරිපත් කර ඇති බවත්, වෙනත් කිසිදු තොරතුරක් පොලීසියට සැපයීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තිරුඥානවේල් පොලිසියට පැවසීය. තමන් කිසි දිනක එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු නොවූ බව ද ඔහු කියා සිටියේය.

මැතිවරන අපේක්ෂකයින් සඳහා ඡායාරූපයක් ලබාදීමේ නීත්‍යානුකූල අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දෙමින් තිරුඥානවේල් එය ප්‍රතික්ෂේප කල විට, පොලිසිය පැවසුවේ, ඡායාරූපයක් ලබා ගැනීමට තමන් යොමු කලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් බවයි. අනෙක් අපේක්ෂකයන්ගේ ඡායාරූප දැනටමත් තමන් සතුව ඇති බවත්, ඔහුගේ ඡායාරූපය නැති නිසා ඉල්ලා සිටි බවත් පොලිසිය පැවසීය.

ඔක්තෝබර් 14, 22 සහ 23 යන දිනවල තිරුඥානවේල්ට කතා කල පොලිස් නිලධාරියෙකු ඡායාරූපයක් ලබා දෙන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටීම දක්වා ම මෙම ප්‍රකෝපකාරී සහ නීති විරෝධී ක්‍රියාව දිගටම පැවතුනි.

යාපනය දිස්ත්‍රික්කයේ සසප අපේක්ෂක කන්ඩායමේ නායක තිරුඥාන සම්පන්ධර්, තම සහෝදර අපේක්ෂකයෙකුට මෙලෙස හිංසා පීඩා කිරීමට විරෝධය දැක්වීම සඳහා ඔක්තෝබර් 24 දා පොලිසියට කතා කල විට, ග්‍රාම නිලධාරියාගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත් බව පවසමින් පොලිසිය ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කලේය.

සසප අපේක්ෂකයාට සිදුවෙමින් පවතින හිරිහැර, ගැටලු කිහිපයක් මතු කරයි. පොලිසිය සසප අපේක්ෂකයින්ගේ නම්, ඡායාරූප සහ සිටින තැන් ආදී තොරතුරු එකතු කරන්නේ ඇයි? තවද, ඔවුන් පවසන පරිදි ඉහලින් ලැබෙන නියෝගයක් මත ක්‍රියා කරන්නේ නම්, මෙම නියෝග නිකුත් කලේ කවුද? ඔවුන් පැමින ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ද; නැතහොත් දිසානායක පරිපාලනයෙන් ද?

තවත් තැතිගන්වනසුලු කරුනක් නම්, ඔවුන් සියලු අපේක්ෂකයින්ගේ ඡායාරූප සහ විස්තර එකතු කර ඇති බවත්, සැලකිලිමත් වන්නේ තිරුඥානවේල්ගේ ඡායාරූපයක් ලබා ගැනීම ගැන පමනක් බවත් පොලිසිය ප්‍රකාශ කිරීම යි. අපේ අපේක්ෂකයන් කිසිවකු පොලිසියට තමන්ගේ ඡායාරූප ඉදිරිපත් කර නැත; එසේ නම් පොලිසිය මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ කෙසේද? මෙයින් අදහස් වන්නේ, අනාගත මර්දනකාරී ක්‍රියාමාර්ග සඳහා සූදානම් වීමට පොලිසිය අපගේ සහෝදරවරුන් පිලිබඳ අඛන්ඩව නිරීක්‍ෂනය කරමින්, ඔවුන්ගේ තොරතුරු රැස්කරමින් සිටින බව ද?

පොලිසිය විසින් ඡායාරූප ඇතුලු පුද්ගලික තොරතුරු එකතු කිරීම සම්පූර්නයෙන්ම නීති විරෝධී වන අතර එය සසප සහ එහි සාමාජිකයින්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව පුලුල් ප්‍රහාරයක් සඳහා සූදානම් වීමේ දී, යාපනයේ සිටින අපගේ පාක්ෂිකයින් බිය ගැන්වීමේ නිර්ලජ්ජිත උත්සාහයකි. අපේ සහෝදරයා එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු දැයි ඇසීම, විශේෂයෙන්, භයානක හා තර්ජනාත්මක පියවරකි.

ශ්‍රී ලංකා පොලිසිය, මිලිටරිය සහ ඒවාට අදාල ඔත්තු සේවා, සසප හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සමාජවාදී වැඩපිලිවෙලක් මත, සියලු වර්ගවාදී වෙනස්කම් කපාගෙන—සිංහල, දෙමල සහ මුස්ලිම්—කම්කරු පන්තියේ එකමුතුකම සඳහා කල අරගලයේ මූලධර්මාත්මක දේශපාලන වාර්තාව ගැන හොඳින් ම දනී.

සසප/විකොස, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවල දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට මෙන්ම එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩපිලිවෙලටත්, පෙර පැවති දෙමල ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමල ජාතික ජනතා පෙරමුන සහ අනෙකුත් ජාතිකවාදී කන්ඩායම් සමූහය ඇතුලු සියලුම දෙමල ධනේශ්වර පක්ෂ වලටත් නිරන්තරව විරුද්ධ වී ඇත. මෙය උතුර ද ඇතුලුව රට පුරා ප්‍රසිද්ධ කාරනයකි.

දශක ගනනාවක් තිස්සේ සසප/විකොස විසින් දියත් කරන ලද අධිෂ්ඨානශීලී අරගලය හේතුවෙන්, අනුප්‍රාප්තික ආන්ඩු, මිලිටරිය සහ පොලිසිය සහ එල්ටීටීඊය විසින් කරන ලද අනේකවිධ හිරිහැර පක්ෂය අත්දැක තිබේ.

කොලඹ පාලනයේ වාර්ගික යුද්ධයටත්, එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩපිලිවෙලටත් එරෙහිව කම්කරු පන්තියේ එකමුතුකම සඳහා පක්ෂය ගෙන ගිය අරගලය හේතුවෙන්, රාසෙන්දිරම් සුතර්සන්, තිරුඥාන සම්පන්ධර්, රාජරත්නම් රාජවේල් සහ කාසිනාදන් නගුලේෂ්වරන් 1998 අගෝස්තු මාසයේදී එල්ටීටීඊය විසින් රඳවා ගනු ලැබීය. ඔවුන් නිදහස් කරනු ලැබුවේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සසප විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ගෙන ගිය ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව පමනි.

2006 අගෝස්තු 7 දා සවස, සසප ආධාරකරුවෙකු වන සිවප්‍රගාසම් මරියදාස් නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඔහුගේ නිවසේ දොරකඩ දී වෙඩි තබා මරා දැමීය. සියලුම සාක්ෂි මගින්, ඝාතනය පිලිබඳව, හමුදාව, පොලිසිය සහ ඒවා සමග මිතුරුකම් පවත්වන පැරාමිලිටරි කන්ඩායමක සම්බන්ධය පෙන්නුම් කෙරුනි.

2007 මාර්තු මාසයේදී සසප සාමාජික නඩරාජා විමලේශ්වරන් සහ ඔහුගේ මිතුරු සිවනාදන් මතිවතනන් සිවිල් යුද්ධය අතරතුර කයිට්ස් හි පුංගුඩුතිව් සහ වේලනෙයි අතර සපත්තු පාලමේ දී “අතුරුදහන්” විය. ඔවුන් අතුරුදහන් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධයක් ඇති බවට සියලු සාක්ෂි පෙන්වා දෙයි. සසප, විමලේශ්වරන්ට සහ මතිවතනන්ට සිදුවූයේ කුමක්ද යන්න පිලිබඳ සියලු තොරතුරු මුදාහරින ලෙස ආන්ඩුවට හා මිලිටරියට දිගින් දිගටම බල කරයි.

2020 අගෝස්තුවේ අවසන් පාර්ලිමේන්තු මැතිවරනයට මාස කිහිපයකට පෙර, ශ්‍රී ලංකා හමුදා බුද්ධි නිලධාරීන්, උතුරේ යාපනය දිස්ත්‍රික්කය සඳහා මැතිවරනයට තරඟ කල සසප ප්‍රමුඛ සාමාජිකයින් තිදෙනෙකු වෙත ගොස් ප්‍රශ්න කලහ. සසප හා ලෝසවෙඅ, මෙලෙස සෘජුවම සසප ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් දියත් කරමින්, දිවයිනේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ ජීවත් වන අපගේ සහෝදරයන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටියෙමු.

අවශ්‍ය තොරතුරු මැතිවරන කොමිසමට දැනටමත් සපයා ඇති නිසා, අපේ සහෝදරවරුන් ගැන හෝ ඒ සඳහා වෙනත් අපේක්ෂකයන් ගැන, ඡායාරූප හෝ අමතර තොරතුරු ඉල්ලා සිටීමට රජයට හෝ එහි පොලිසියට අයිතියක් නැත.

තවද, පොලිසිය සාමාන්‍ය ආකාරයට වැඩවල යෙදී සිටින බවට කෙරෙන අමූලික බොරුව සසප ප්‍රතික්ෂේප කරයි. 2009 දී එල්ටීටීඊයේ ලේවැකි මිලිටරි පරාජයෙන් පසු රටේ උතුරු හා නැගෙනහිර මිලිටරි වාඩිලෑම පවත්වාගෙන යාමේ දී, ශ්‍රී ලංකා පොලිසිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, දෙමල ජනයාට, විශේෂයෙන්ම තරුනයින්ට රාජ්‍ය හිරිහැර කිරීම්, නිතිපතා කෙරෙන කාර්යයක් බවට පත් වී තිබේ.

අලුතින් තේරී පත් වූ ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුවේ මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් 'දේශපාලන මැදිහත්වීම්වලට' යටත් නොවී නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත. ඔහුගේ ප්‍රකාශය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි ම්ලේච්ඡ නීති ශ්‍රී ලාංකික කම්කරුවන්ට, සිසුන්ට සහ තරුනයින්ට, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර දෙමල ජනතාවට එරෙහිව හිරිහැර කිරීමට නිරන්තරයෙන් යොදා ගන්නා කොන්දේසි යටතේ කරන ලද්දකි.

ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක 2024 සැප්තැම්බර් 24 දින කොලඹදී හමුදා ප්‍රධානීන් හමුවෙයි [ඡායාරූපය: ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය] [Photo by Sri Lankan Presidents' Media Division]

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මෑත රැස්වීමකදී, විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) පොලිස් අනදෙන නිලධාරියා, සියලු මූලික අයිතිවාසිකම් නඩු සහ පාතාලයේ අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව අත්අඩංගුවට ගන්නා නියෝග ඉවත් කරන ලෙසට, රැස්වීමේ මුලසුන දැරූ ජනාධිපති දිසානායකගෙන් ඉල්ලා සිටියේය. එය, අපරාධකරුවන් ලෙස සැලකෙන අයට එරෙහිව ඕනෑම මෙහෙයුමකදී ප්‍රචන්ඩත්වය භාවිතා කිරීමට පොලිසියට සම්පූර්න නිදහස ලබා දෙන ලෙසට කරන ලද සෘජු ඉල්ලීමකි. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට එරෙහිව දැනට මූලික අයිතිවාසිකම් නඩු 17 ක් තිබේ.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන අනදෙන නිලධාරියා වන දිසානායක, 'එවැනි [පොලිසියේ] සාමාජිකයන්ට එරෙහි මෙම චෝදනා විසඳීමට වහා මැදිහත් වන ලෙස' නීතිපතිවරයාට උපදෙස් දෙමින් ප්‍රතිචාර දැක්වීය.

මෙම නියෝගය සහ පොලිස්-රාජ්‍ය විධික්‍රම තව දුරටත් පුලුල් කිරීම ඉලක්ක කරගත් අනෙකුත් ක්‍රියාමාර්ග, යාපනයේ සසප අපේක්ෂකයින්ට මෙම මාසයේ හිරිහැර කිරීමේ පසුබිමේ පවතින අතර එය සමස්ත කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි.

සිංහල ස්වෝත්තමවාදයට මෙන්ම, එල්ටීටීඊය සහ අනෙකුත් ධනේශ්වර දෙමල සංවිධාන විසින් දෙමල ජාතිකවාදය හා බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීමට එරෙහිවීමේ නිර්භීත හා ගෞරවනීය ඉතිහාසයක් සසප/විකොස සතුව ඇත. සමාජවාදී වැඩපිලිවෙලක් මත සියලුම කම්කරුවන්ගේ එකමුතුකම සඳහා සටන් කිරීමේ නොබිඳුනු වාර්තාවක් එයට ඇත. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන පුලුල් අරගලයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අපගේ අරගලය තුල මෙය ප්‍රකාශයට පත් වේ.

සසප, තම පක්ෂයේ උතුරේ මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි නීති විරෝධී රාජ්‍ය හිරිහැර වහා නතර කරන ලෙස ඉල්ලා මැතිවරන කොමිසමට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලිඛිතව දැනුම් දෙයි. මෙය සමස්ත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි දරුනු ප්‍රහාරයකි.

Loading