ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට බයිඩන් සුබ පතයි

[මෙය Biden congratulates Sri Lanka’s new president යන මැයෙන් 2024 සැප්තැම්බර් 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඔක්තෝබර් 26 වනදා පල කරන ලද ට්විටර් පනිවුඩයක, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ)/ජාතික ජන බලවේගයේ (ජාජබ) නායකයා වන, ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතමින් මෙසේ ප්‍රකාශ කලේය: “ඉන්දු පැසිෆික් කලාපය තුල සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාම සඳහා මම ඔබ සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වෙමි.”

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක [ඡායාරූපය: ඒපී/ඉවාන් වුචි/ෆේස්බුක් ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය] [Photo by AP/Evan Vucci/Facebook Sri Lanka President's Media Division]

චීනයට එරෙහිව ආසියාව පුරා එක්සත් ජනපදය විසින් මෙහෙයවන ආක්‍රමනශීලී ගැටුමක සහ යුද ධාවනයක යෙදී සිටිද්දී, සාමය, ආරක්ෂාව හෝ සමෘද්ධිය සමඟ බයිඩන්ගේ ප්‍රකාශයට කිසිදු සම්බන්ධයක් නැත. ඒ වෙනුවට, එය පෙන්ටගනයේ යුද සැලසුම්වලට ශ්‍රී ලංකාව ඒකාග්‍ර කර ගැනීම දිගටම කරගෙන යාමට කොලඹ නව ආන්ඩුවට සිදුවන බව ප්‍රකාශ කිරීමකි.

සැලකිය යුතු කරුනක් ලෙස, ජවිපෙ/ජාජබ නායකයා බයිඩන්ගේ “කාරුනික සුභ පැතුම්” සඳහා ස්තූතිය පුද කරමින් වහා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය: “මගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අපගේ දිගුකාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කරනු ඇත. සාමකාමී, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා මගේ ආන්ඩුවේ කැපවීම ද මම නැවත අවධාරනය කරමි.”

දිසානායක විසින්, කොලඹ අනුප්‍රාප්තික ආන්ඩු, විශේෂයෙන්ම ඔහුගේ පූර්වගාමියා වූ සුප්‍රසිද්ධ එක්සත් ජනපද-ආවතේවකාර රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජනපදය සමග ඇතිකරගත් සමීප මිලිටරි සබඳතා ඉදිරියට ගෙන යාමට මෙසේ ප්‍රතිඥා දෙයි.

ශ්‍රී ලංකාව දැනටමත් එක්සත් ජනපදය සමඟ ඇති කරගෙන ඇති මිලිටරි ගිවිසුම් දෙක—අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම (ඇක්සා) සහ හමුදා තත්ව ගිවිසුම (සෝෆා)—එක්සත් ජනපදයට සහ එහි හමුදා නිලධාරීන්ට, මුහුද, ගුවන් තොටුපල ආදී රටේ පහසුකම් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. සෝෆා වැඩි දියුනු කිරීමට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පීඩනය යොදමින් සිටී.

කැස්ත්‍රෝවාදයේ, මාඕවාදයේ සහ සිංහල ජනතාවාදයේ සාරසංග්‍රාහක මිශ්‍රනයක් මත පිහිටුවා ගත් ජවිපෙ, බොහෝ කලකට පෙර එහි “සන්නද්ධ අරගලය”, අධිරාජ්‍ය විරෝධී වාචාල කතා ඉවත දමා කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලට ඒකාග්‍ර වුනි.

පසුගිය දෙවසර පුරා දිසානායක සහ ජවිපෙ/ජාජබ නායකයින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් සමඟ සාකච්ඡා පවත්වා ඇත. ජවිපෙ/ජාජබ මෙම සාකච්ඡා ගැන මුනිවත රකින අතර, චන්ග් අනාගත ජවිපෙ/ජාජබ ආන්ඩුවක් පිලිබඳව තම විශ්වාසය ප්‍රකාශ කලේ එය මහජනතාව අතර රැව් පිලිරැව් දෙන “සැලකිය යුතු පක්ෂයක්” බව පවසමිනි.

2023 ඔක්තෝබර් 19 වන දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමක දී, වමේ සිට, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන්, තානාපති ජුලී චංග්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. [ඡායාරූප: X/Twitter @anuradisanayake] [Photo by X/Twitter @anuradisanayake]

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සැප්තැම්බර් 22 දිසානායකගේ ජයග්‍රහනයට සුබපැතුම් එක් කරමින්, “ඉන්දියාවේ පලමුව අසල්වැසියා ප්‍රතිපත්තිය තුල ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වේ” යැයි ද ඔහු කොලඹ සමඟ “සමීපව වැඩ කිරීමට” බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කලේය.

එක්සත් ජනපදය චීනය සමග යුද්ධය සඳහා සූදානම් වීම වේගවත් කරන විට, දකුනු ආසියාවේ වොෂින්ටනයේ ප්‍රධාන මූලෝපායික හවුල්කරුවා ඉන්දියාවයි. එයට, සැලකිය යුතු කලාපීය බලවතෙකු බවට පත්වීමේ තමන්ගේම අභිලාෂයන් ද ඇති අතර ශ්‍රී ලංකාව එහි “අසල්වැසි” හෝ බලපෑම් ක්ෂේත්‍රයේ කොටසක් ලෙස සලකයි. ජපානය සහ ඕස්ට්‍රේලියාව ද සම්බන්ධ එක්සත් ජනපදය ප්‍රමුඛ ගිවිසුමක් වන චීන විරෝධී චතුර් පාර්ෂවීය ආරක්ෂක සංවාදයේ ඉන්දියාව ද සාමාජිකයෙකි.

දිසානායක සහ ජවිපෙ/ජාජබ නායකයෝ ජනාධිපතිවරනයට පෙර කිහිප වතාවක්ම ඉන්දියාවට ගොස් විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුලු ඉහල නිලධාරීන් හමුවී, පක්ෂය බලයට පත්වුවහොත්, එහි අවශ්‍යතා ආරක්ෂා කරන බවට මෝදි ආන්ඩුවට සහතික විය. දිසානායකට සුබ පැතූ විදේශ නියෝජිතයන් අතරින් පලමුවැන්නා වූ කොලඹ ඉන්දීය තානාපති සන්තෝස් ජා ද ඔවුහු හමුවූහ.

දිසානායකට චීනයද සුබපැතුම් එක්කර තිබේ. ජනාධිපති ෂී ජින්පිං නව ජනාධිපතිවරයාට ප්‍රශංසා කලේ, බීජිනය “සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට ජනාධිපති දිසානායක සමඟ වැඩ කිරීමට සූදානම්” බව පවසමිනි. ගෝලීය ආර්ථිකය සමඟ ඒකාග්‍ර වීමට චීනයේ ප්‍රමුඛතම යටිතල ව්‍යුහය වන, “වඩා ඵලදායි උසස් තත්වයේ තීරයක් මාවතක් සහයෝගිතාව (Belt and Road cooperation)” කෙරෙහි ඔහු විශ්වාසය පල කලේය.

චීනය ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික නය දෙන්නා වන අතර 2000 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 20 ක ව්‍යාපෘති 300 කට සම්බන්ධ වී ඇත. චීනයේ ප්‍රධාන ව්‍යාපෘතිවලින් එකක් වූයේ, නැගෙනහිර ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග සහ යුරෝපය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන නැව් මාර්ගවලට ආසන්නව දිවයිනේ දකුනු කෙලවරේ පිහිටා ඇති මූලෝපායිකව වැදගත් හම්බන්තොට වරායයි. ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය හා ඉන්දියාව සමඟ සමීපව සිටීම මෙම ආයෝජන අනතුරේ හෙලයි.

දිසානායක දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් මෙසේ පැවසීය: “අපේ රටට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ඒ නිසා ලෝකයේ බලය බෙදී යාම කුමක් වුවත්, රටට වඩාත් වාසිදායක අයුරින් ඒ ඒ රාජ්‍යයන් සමඟ ගනුදෙනු කිරීම අපගේ අපේක්ෂාවයි.”

විවිධ බලවතුන් අතර තුලනය වීම වෙනුවට, දිසානායක පාලනය, රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන ලද එක්සත් ජනපද ගැති පිලිවෙත දිගටම ගෙන යනු ඇත.

ජවිපෙ/ජාජබ මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලිවම ඉන්දියාව දෙසටත්, ඒ අනුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දෙසටත් නැඹුරු විය. “ඉන්දියාව ඇතුලු කලාපයට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ගොඩබිම, අහස හෝ මුහුද” භාවිතා කිරීමට පක්ෂය ඉඩ නොදෙන බව එය ප්‍රකාශ කලේය.

වික්‍රමසිංහ යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරු අරුනි විජේවර්ධන එම තනතුරට යලි පත්කිරීමෙන් ද දිසානායකගේ විදේශ ප්‍රතිපත්ති දිශානතිය පැහැදිලිව පෙන්නුම් කර තිබේ.

වික්‍රමසිංහ බලයේ සිටි 2022 සිට වසර දෙකක කාලය තුල ඔහුගේ එක්සත් ජනපද ගැති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජවිපෙ/ජාජබ කිසිදු විරෝධයක් හෝ විවේචනයක් කලේ නැත. වොෂින්ටනය සහ නව දිල්ලිය එවැනි සංචාරවලට දැඩි ලෙස විරුද්ධ වීමෙන් පසු, චීන පර්යේෂන නැව් ශ්‍රී ලංකාවේ වරායට පැමිනීම තහනම් කිරීම සහ යේමනයේ පලස්තීන හිතවාදී හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයට නැව්ගත කිරීම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔපරේෂන් ප්‍රොස්පරිටි ගාඩියන් මෙහෙයුමේ කොටසක් ලෙස මේ වසරේ ශ්‍රී ලංකා යුද නැවක් රතු මුහුදට යැවීම මෙයට ඇතුලත් ය.

ගාසා තීරයේ, බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ජන සංහාරය සහ දැන් ලෙබනනයේ එහි ම්ලේච්ඡ මිලිටරි ප්‍රහාර, එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ පිටුබලය ලබන මැද පෙරදිග තුල පුලුල් කෙරෙන යුද්ධයක කොටසකි. ඒ අතරම, වේගයෙන් මතුවෙමින් පවතින සහ ව්‍යසනකාරී ගෝලීය යුද්ධයක පෙරමුනු තුනක් ලෙස, එක්සත් ජනපදය හා එහි සහචරයෝ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය වේගවත් කරමින් ද, චීනය සමග යුද්ධය සඳහා සූදානම් වෙමින් ද සිටිති.

ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී, දිසානායක සහ අනෙකුත් සංස්ථාපිත අපේක්ෂකයින්, මානව වර්ගයාගේ පැවැත්මට එල්ල ඇති තර්ජනය ගැන මුලුමනින්ම නිහඬව සිටියේ ජනතාව අඳුරේ තබමිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම බරපතල අන්තරායන් පිලිබඳව අනතුරු ඇඟවූ අතර සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා දකුනු ආසියාවේ සහ ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා තරුනයින් එක්සත් කිරීමට උද්ඝෝෂනය කලේය.

එම උද්ඝෝෂනයේ කොටසක් ලෙස අපි මෙසේ බලකර සිටියෙමු:

ඇක්සා සහ සෝෆා වැනි එක්සත් ජනපදය සමඟ ඇති සියලුම රහස් ගිවිසුම් ප්‍රකාශයට පත් කරනු!

අධිරාජ්‍යවාදී බලවතුන් සහ ඉන්දියාව ඇතුලු අනෙකුත් රටවල් සමඟ ඇති සියලුම ආරක්ෂක ගිවිසුම් අහෝසි කරනු!

තුන්වන ලෝක යුද්ධයක් හා න්‍යෂ්ටික අග්නි ජාලයක් වැලැක්වීමේ එකම මාර්ගය වන්නේ, ධනවාදය සහ එහි එකිනෙකට සතුරු ජාතික රාජ්‍යයන් මගින් ලෝකය ප්‍රතිගාමී ලෙස බෙදීම තිබීම, කම්කරු පන්තියේ අරගලය තුලින් විප්ලවවාදීව පෙරලා දැමීම බව සසප අවධාරනය කරයි.

Loading