සසප ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයට තරඟ වදී

[මෙය SEP to contest general elections in Sri Lanka යන මැයෙන් 2024 ඔක්තෝබර් 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) නොවැම්බර් 14 දා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරනයට තරඟ වදී. අපි මැතිවරන දිස්ත්‍රික්ක තුනක—ප්‍රධාන නගරය වන කොලඹ, උතුරේ යාපනයේ සහ මධ්‍යම වතුකරයේ නුවරඑලියේ—අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරන්නෙමු. සසප දේශපාලන කමිටු සාමාජිකයින් වන විලානි පීරිස්, පී.ටී. සම්බන්ධර් සහ එම්. තේවරාජා පිලිවෙලින් මෙම දිස්ත්‍රික්කවල අපගේ මැතිවරන අපේක්ෂක කන්ඩායම් වල නායකයන් වේ.

සසප මෙම පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් වන්නේ, යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායක පාලන ක්‍රම වෙත හැරීමට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ය.

ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට දින කිහිපයකට පෙර, 2022 ජූලි 9 වන දින, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස දෙසට දිවෙන වීදියක විරෝධතාකරුවෝ රැස්ව සිටිති. [ඒපී ඡායාරූපය/අමිත තෙන්නකෝන්] [AP Photo/Amitha Thennakoon]

2022 දී, අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ උග්‍ර හිඟයට එරෙහිව කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ ගම්බද දුගීන්ගේ මහජන නැගිටීමක් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට බල කෙරුනි. එහෙත් සිදු වූයේ, සියලු සංස්ථාපිත පක්ෂවල සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව, ජනතාවට පිටුපසින් බලයට ඔසවා තැබූ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රනිල් වික්‍රමසිංහ, වැඩකරන ජනතාවට එරෙහි ප්‍රහාරය තීව්‍ර කිරීම පමනි.

ගෝලීය ප්‍රාග්ධනය සමඟ වැඩ කරමින් සහ මහා ව්‍යාපාරිකයන්ගේ නියෝග වලට අනුකූලව, ඔහුගේ ආන්ඩුව, දැවැන්ත වියදම් කප්පාදු කිරීම්, දන්ඩනීය විදුලි ගාස්තු වැඩි කිරීම් සහ වඩාත් ප්‍රතිගාමී බදු ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු පියවර පැනවීය.

දැන්, මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමට ඡන්දය දී ඇති අතර, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් පිහිටුවා ඇත.

බලය දිනාගැනීමේ දී දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ, මෙතෙක් පාලනය කල සම්ප්‍රදායික ධනේශ්වර පක්ෂවලට සහ පාලක පන්තිය තුල හැම විටම ආධිපත්‍යය දැරූ දූෂිත පවුල්වල (ජයවර්ධනලා/වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා, ආදී) කුඩා කල්ලිය කෙරෙහි ගැඹුරින් මුල් බැසගත් ජනතා සතුරුකම නරුම ලෙස ගසා කෑහ.

සසප සියලු කම්කරුවන්ට සහ ගම්බද වැඩකරන ජනයාට අවධාරනයෙන් අනතුරු ඇඟවීමක් කරයි: ඔබ දෙවරක් රැවටීමට ඉඩ නොදෙනු! රාජපක්ෂ හෝ වික්‍රමසිංහට වඩා දිසානායක වෙනස් නොවන බව ඔප්පු කරනු ඇත.

ජවිපෙ/ජාජබ යනු දක්ෂිනාංශික, අධිරාජ්‍ය-ගැති, සිංහල ස්වෝත්තමවාදී පක්ෂයකි. දිසානායක “වාමාංශිකයෙකු,” ලෙස සහ ඇතැම් විට “මාක්ස්වාදියෙකු” පවා වන බවට ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ප්‍රකාශයන් කම්කරු පන්තිය ව්‍යාකූල කිරීමටත්, දේශපාලනිකව එය නිරායුධ කිරීමටත් ප්‍රවර්ධනය කෙරෙන බොරු ය.

ජවිපෙ දෙමල-විරෝධී වර්ගවාදී යුද්ධයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකු විය; බොහෝ කලකට පෙර ම එය සමාජවාදය පිලිබඳ මොනම හෝ සඳහනක් කිරීම ප්‍රතික්ෂේප කල අතර, පසුගිය දශක තුනම ගත කලේ කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලට ඒකාග්‍ර වීමට ය.

දිසානායක සහ ජවිපෙ/ජාජබ ජාමූඅ කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීමට යලි යලිත් ප්‍රතිඥා දී තිබේ. රාජ්‍ය ආයතන 400 කට අධික සංඛ්‍යාවක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගත කිරීම, ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය රැකියා විනාශ කිරීම, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් තවදුරටත් කප්පාදු කිරීම සහ මහජනතාව මත බදු බර වැඩි කිරීම මෙයට ඇතුලත් ය.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, 2024 සැප්තැම්බර් 23 වන දින සිය දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය අමතමින් [ඡායාරූපය: ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය] [Photo by Sri Lanka President's Media Division]

ජවිපෙ/ජාජබ හි ආර්ථික “සංවර්ධන” වැඩසටහනට “නීතිය හා සාමය” අත්‍යවශ්‍ය බවට දිසානායක පුන පුනා කරන ප්‍රකාශය, වැඩකරන ජනතාව අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ජවිපෙ/ජාජබ ආන්ඩුව, සිය කප්පාදු පියවරයන්ට එරෙහිව නොවැලැක්විය හැකි ලෙස මතුවන විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා, පවත්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති මාලාව භාවිතා කිරීමට පසුබට නොවනු ඇත. එය, අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට කලින් කල ප්‍රකාශයන් සියල්ලම පාහේ අතහැර දමා තිබීම සැලකිය යුතු කරුනකි.

තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුව මත යැපෙන පාලක පන්තිය එම ආන්ඩුවට ප්‍රශංසා කර ඇත. ජනතා විමුක්ති පෙරමුන බලයට පත් වුවහොත් ආර්ථික ව්‍යසනයක් සිදුවන බවට අනාවැකි පල කල වික්‍රමසිංහ, හෙලිදරව්කාරී ලෙස, නව ආන්ඩුව කෙරෙහි විශ්වාසය පල කර තිබේ. එක්සත් ජනපද ජනාධිපති බයිඩන් සහ ඉන්දීය අගමැති මෝදි යන දෙදෙනාම නව ආන්ඩුව සමඟ සමීපව, සහයෝගීව කටයුතු කිරීමට උනන්දුව පල කලහ.

ජාමූඅ කප්පාදුවේ මීලඟ වටය සමඟ ඉදිරියට යාමට පෙර ජවිපෙ/ජාජබ ට පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමටත්, එහි අත ශක්තිමත් කරගැනීමටත් ජනතාව රවටනුවස් දිසානායක ඉක්මන් මැතිවරනයක් කැඳවා ඇත.

සසප ට තම මැතිවරන ව්‍යාපාරය වනාහි, නව ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි, ඉදිරි දේශපාලන අරගලය සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් කිරීමේ අපගේ සටනේ අත්‍යවශ්‍ය අංගයකි.

කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳිය නොහැකි බව අපි කියමු.

අවශ්‍ය වන්නේ, සුපිරි ධනවතුන් කීපදෙනෙකුගේ ලාභය සඳහා නොව, අතිමහත් බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය සමාජවාදී පිලිවෙත් ඔස්සේ පරිවර්තනය කරනුවස්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා කෙරෙන අරගලය තුල වැඩකරන ජනතාවගේ අනේකාකාර අරගල ඒකාබද්ධ කිරීම යි.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය නායකත්වය දෙන ගෝලීය ව්‍යාපාරයක් සඳහා

ශ්‍රී ලංකාවේ මැතිවරනය පැවැත්වෙන්නේ, දිවයිනේ ධනේශ්වර පාලනය ව්‍යාකූල කර ඇති පෙර නොවූ විරූ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය. මෙම අර්බුදයමත් මුල්බැසගෙන ඇත්තේ, ආක්‍රමනකාරීත්වය හා ලෝක යුද්ධය තුලින් ලෝකය යලි බෙදීමක් හඹා යාමට එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් තල්ලු කරන ලෝක ධනවාදයේ පද්ධතිමය බිඳවැටීම තුල ය.

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව, වසරක් සපුරමින් ඉදිරියට ගෙනයන, ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්, දේශපාලනික සහ ද්‍රව්‍යමය සහයෝගය ලබා දී ඇති අතර, දැන් ලෙබනනය ආක්‍රමනය කිරීමට සහ ඉරානයට පහර දීමකට සූදානම්වීම සඳහා පහසුකම් සපයයි.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය සහ නැටෝව උසිගන්වන ලද යුද්ධය මෙම ගෝලීය යුද්ධයේ දෙවන පෙරමුනකි. පසුගිය වසර දෙකහමාර පුරා අධිරාජ්‍යවාදී බලවතුන් තම කොල්ලකාරී අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා න්‍යෂ්ටික යුද්ධයේ අවදානමට මුහුන දීමට සූදානම් බව පැහැදිලි කරමින් නිර්දය ලෙස යුද්ධය උත්සන්න කර ඇත.

ඒ අතරම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, එහි භයානකම ප්‍රතිවාදියා ලෙස සලකන චීනයට එරෙහි ප්‍රකෝප කිරීම් සමග යුද සූදානම භයානක ලෙස තීව්‍ර කරමින් සිටී.

එක්සත් ජනපදය සහ එහි සගයා වන ඉන්දියාව, චීනයට එරෙහි ඔවුන්ගේ යුද ධාවනයට ශ්‍රී ලංකාව ඇතුලු දකුනු ආසියාවේ රටවල් ඒකාග්‍ර කර ගැනීමට ආක්‍රමනශීලී ලෙස ක්‍රියා කරයි. වික්‍රමසිංහ ආන්ඩුව යටතේ දැනටමත් බොහෝ දුරදිග ගොස් තිබූ පිලිවෙතක් වන වොෂින්ටනය හා නවදිල්ලිය සමග පෙලගැසීමට, ජවිපෙ නායකත්වය දැනටමත් සිය කැමැත්ත අඟවා ඇත. බයිඩන්ගේ සුබපැතුම් පනිවිඩයට ප්‍රතිචාර දක්වමින්, දිසානායක, ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කරන බවත්, ඉන්දු-පැසිෆික් කලාපය තුල වොෂින්ටනයේ අවශ්‍යතා තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් ප්‍රකාශ කලේ ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි සහචරයින් විසින් මනුෂ්‍ය වර්ගයා ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයකට ඇද දැමීම නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී මැදිහත්වීමකට පමනක් බව සසප අවධාරනය කරයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) අනෙකුත් කොටස් සමග අපි, යුද්ධයේ මූලාශ්‍රය—ධනවාදය හා එහි යල් පැන ගිය, ප්‍රතිවාදී ජාතික-රාජ්‍යයන් ලෙස ලෝකය බෙදා වෙන් කිරීම—අවසන් කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා උද්ඝෝෂනය කරන්නෙමු. යුද්ධයට එරෙහි මෙම සටනට එක්වන ලෙස අපි ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාව පුරා සිටින කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

පන්ති පාලනයේ අර්බුදයක්

ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (සජබ), වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), හිටපු ජනාධිපති මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ඇතුලු ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂ සහ දෙමල ධනේශ්වර පක්ෂ අවුල් සහගත තත්වයක පවතී. ඔවුන්ගේ අර්බුදයේ මූල හේතුව වනුයේ, ගැඹුරුවන දරිද්‍රතාවය, සමාජ අසමානතාවය සහ යුද්ධය නිර්මානය කල පාලනයක දශක ගනනාවක් මුලසුන හෙබවීමෙන් පසු ඔවුන්ගේ මහජන සහයෝගය වියැකී යාමයි.

ඔවුන් කිසිවෙකු වැඩ කරන ජනතාව සඳහා කිසිදු ආකාරයක විකල්පයක් නියෝජනය නොකරයි. පාර්ලිමේන්තු බහුතරයක් දිනාගැනීමේ ප්‍රයත්නයේදී ජවිපෙ අසමත් වුව ද, දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාවට නැංවීමට හෝ ශ්‍රී ලංකාව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුධ-රථයට නංවා ගැනීමට එරෙහිව, මේ කිසිවෙකු, සුලු හෝ ප්‍රතිරෝධයක් නියෝජනය නොකරනු ඇත.

කම්කරු පන්තිය ධනේශ්වර පාර්ලිමේන්තු රාමුවට දේශපාලනිකව ගැටගැසීමට කටයුතු කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂ ප්‍රතික්ෂේප කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. තමන්ට නව ජවිපෙ/ජාජබ ආන්ඩුව වමට හැරවීමට බලපෑම් කල හැකි බව පවසමින් සහ එහි ප්‍රතිගාමී ස්වභාවය වසන් කරමින්, පෙසප මිත්‍යාවන් වපුරමින් සිටී.

2022 නැගිටීමේ පාඩම් සහ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා අරගලය

2022 මහජන නැගිටීමේ මූලික පාඩම් කම්කරු පන්තිය වෙත ගෙන ඒමට සසප සටන් වදිනු ඇත. මාස හතරක් පුරා දිගහැරුනු නැගිටීම පෙන්නුම් කලේ, වැඩ වර්ජන මගින් රාජපක්ෂ පාලනයේ කොන්ද බිඳ දැමූ කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලයයි. නොඉවසිය හැකි ජීවන තත්වයන්ට එරෙහිව ඒකාබද්ධව වීදි බට සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාවගේ වෛෂයික පන්ති එකමුතුව ද එය බලවත් ලෙස තහවුරු කලේය.

ඒ අතරම, නැගිටීමේ මාරක දේශපාලන දුර්වලතාවය වූයේ, කම්කරු පන්තිය පසෙකට වී, පාලක පන්තියට, එහි පක්ෂවලට සහ වෘත්තීය සමිතිවලට එහි දේශපාලන ආරම්භකත්වය ගැනීමට ඉඩදීම යි. ජවිපෙ සහ පෙසප නායකත්වය දෙන වෘත්තීය සමිති, පාර්ලිමේන්තු අට්ටාලය යලි අනා සකස් කිරීම මත පදනම් වූ “අන්තර්කාලීන” ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ ඉල්ලීම ප්‍රවර්ධනය කලේය. එහි ප්‍රතිඵලය වූයේ, සියලු පක්ෂවල දැඩි සහයෝගය මත ජාමූඅ සමග ගනුදෙනුව සාකච්ඡා කර එය පැනවූ වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස ස්ථාපනය කිරීමයි.

මෙම සියලු බලවේගයන්ට එරෙහිව සසප, “අන්තර්කාලීන ආන්ඩුව” ප්‍රතික්ෂේප කල අතර සමස්ත ධනේශ්වර රාමුවට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම මත පදනම් වූ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් 2022 නැගිටීම සන්නද්ධ කිරීමට උත්සාහ කලේය.

මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීමට, කප්පාදුවලට විරුද්ධ වීමට සහ කම්කරුවන්ගේ බලය සඳහා ව්‍යාපාරයක් වර්ධනය කිරීමට අරගලය සංවිධානය කිරීමට, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව, සෑම වැඩපලකම සහ ගම්බද ප්‍රදේශයකම කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අපි සටන් කලෙමු.

වර්ධනය වන ක්‍රියාකාරී කමිටු ජාලයක් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් සසප විසින් 2022 ජූලි මාසයේදී ආරම්භ කරන ලදී. එය, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට තම අරගල ඒකාබද්ධ කිරීමේ, ඉල්ලීම් සූත්‍රගත කිරීමේ සහ පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති ක්‍රමය ඇතුලු ධනේශ්වරයේ සියලු පක්ෂ හා ආයතනවල පන්ති බලයට එරෙහිව ක්‍රමානුකූලව විරුද්ධ වීමේ මාධ්‍යයක් ලෙස සේවය කරනු ඇත.

ඉන් වසර දෙකකට පසුව සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවකට එරෙහිව කම්කරු පන්තිය පුපුරන සුලු අරගලවලට පැමිනෙනු ඇති කොන්දේසි යටතේ, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීම සඳහා වන අරගලය වඩාත් හදිසි වේ.

කම්කරු පන්තියේ සමගිය සඳහා! සියලු ආකාරයේ ජාතිකවාදය සහ වර්ගවාදය ප්‍රතික්ෂේප කරනු!

කම්කරු පන්තියට තමා බෙදීමට ඉඩ දිය නොහැක. සිංහල ස්වෝත්තමවාදය, දෙමල බෙදුම්වාදය සහ සෑම ආකාරයකම වර්ගවාදය ද ඇතුලුව සියලු ආකාරයේ ජාතිකවාදයන් ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. සසප මෙසේ අනතුරු අඟවයි: දෙමල-විරෝධී උසිගැන්වීම් පිලිබඳ එහි කුප්‍රකට වාර්තාව වසන් කිරීමට ජවිපෙ/ජාජබ දරන උත්සාහයන්ට නොරැවටෙන්න. කම්කරු පන්තිය සිය මහා ව්‍යාපාරික න්‍යාය පත්‍රයට අභියෝග කරන විට, කම්කරුවන් බෙදීමටත්, වැඩෙන සමාජ කෝපය ප්‍රතිගාමී දිශාවකට යොමු කිරීමටත් සිංහල ස්වෝත්තමවාදය ඇවිස්සීම දෙසට එය යොමු වනු ඇත.

දැනටමත්, ජනාධිපතිවරනය ආසන්නයේ, දිසානායක සහ ඔහුගේ ජවිපෙ, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය සඳහා ඔවුන්ගේ සහය යලි තහවුරු කර ඇති අතර, උතුරේ සහ නැගෙනහිර දෙමල ජනයාට, ඔවුන් ජවිපෙ/ජාජබ ආන්ඩුවට විරුද්ධ වුවහොත් “දකුනේ” උදහසට ලක්වන බවට තර්ජනය කලේය. දෙමල ධනේශ්වර පක්ෂ සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවට පිටුබලය දෙන අතර, වොෂින්ටනයේ මාන්ඩලිකයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ දැඩි ආධාරකරුවන් වේ. දෙමල ප්‍රභූ පැලැන්තියේ එකම උත්සුකය වන්නේ, කම්කරු පන්තියේ වියදමින් තම වරප්‍රසාද සහ ලාභ ඉහල නංවා ගැනීම සඳහා “බලය බෙදාගැනීමේ” එකඟතාවයක් ඇතිකර ගැනීමයි.

පාලක පන්තියේ සියලුම කන්ඩායම්වලට සහ එහි විසකුරු වර්ගවාදී දේශපාලනයට එරෙහිව සසප, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් සියලු වැඩකරන ජනතාවගේ සටන් එකමුතුව ගොඩනැගීමට සටන් කරයි.

ක්‍රියාකාරී වැඩසටහනක්:

පහත ඉල්ලීම් සඳහා සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු:

• ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මුලුමනින් ප්‍රතික්ෂේප කරනු! ධනේශ්වරය විසින් ගන්නා ලද විදේශ නය ප්‍රතික්ෂේප කල යුතු අතර, මහජනතාවගේ හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ධනපතියන් විසින් අයථා ලෙස උපයාගත් ධනය අත්පත් කර ගත යුතුය.

• කිසිදු පුද්ගලීකරනයක් හෝ ධනේශ්වර ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා! පුද්ගලීකරනයේ තර්ජනයට මුහුන පා සිටින සියලුම රාජ්‍ය අංශයේ ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු!

• ගම්බද ගොවීන් සහ දුගීන් සඳහා වැඩි කල සහනාධාර සහ සමාජ වැඩසටහන්!

• බැංකු, මහා සමාගම් සහ වතු, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පොදු සමාගම් බවට පරිවර්තනය කරනු!

• දැවැන්ත මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රනය විසුරුවා හරිනු! දෙමල සුලුතරය දිගටම මර්දනය කරගෙන යන උතුරු නැගෙනහිරින් සියලුම හමුදා ඉවත් කරනු.

• අත්‍යවශ්‍ය මහජන සේවා පනත, ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත සහ ඔන්ලයින් ආරක්‍ෂක පනත් කෙටුම්පත ඇතුලු සියලුම මර්දන නීති අහෝසි කරනු!

• ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

සසප සිය මූලෝපාය පදනම් කර ගන්නේ නොනවතින විප්ලවයේ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල මත ය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්—කප්පාදුවලට හා කම්කරු-සූරාකෑම උත්සන්න කිරීම සඳහා වූ එම ධනේශ්වර තල්ලුවට හා යුද්ධයේ හා ආඥාදායකත්වයේ එම තර්ජනයට ම මුහුන දී ඇති— මහජන හා විප්ලවවාදී අරගලවලට පැමිනෙමින් සිටින දකුනු ආසියාවේ සහ ලොව පුරා කම්කරු බලවේග සමග ඒකාබද්ධ විය යුතුය.

2022 මහජන නැගිටීමේ තීරනාත්මක පාඩම වන්නේ, කම්කරු පන්තියේ අරගල සමාජවාදී-ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමටත්, එහි දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ධනවාදයට එරෙහිව පීඩිත ජනතාව පෙලගැස්වීමේ අරගලයට නායකත්වය දීමටත් විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි.

කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමේ සටනට එක්වන ලෙසත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන ලෙසත්, නොවැම්බර් 14 දා කොලඹ, යාපනය සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අපගේ අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත් අපි සියලු කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading