ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයෝ නව ජනාධිපතිවරයාට ලහි ලහියේ සුබ පතති

[මෙය Sri Lankan big business rushes to congratulate new president යන මැයෙන් 2024 සැප්තැම්බර් 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරික කන්ඩායම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියම කර ඇති “ප්‍රතිසංස්කරන වැඩසටහනේ” අනපනත්වලට මුලුමනින්ම අනුගත වීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින්, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ)/ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක, නව ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්‍රශංසා කර ඇත.

ජාජබ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 4 වන දින ව්‍යාපාරික සංසදය අමතමින් [ඡායාරූපය: ජාජබ ෆේස්බුක්] [Photo by NPP Facebook]

ලංකා වානිජ මන්ඩල (සීසීසී), ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මන්ඩල එකමුතුව (එෆ්සීසීඅයිඑස්එල්) සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (ජේඒඒඑෆ්) නව ආන්ඩුවට තමන්ගේම ඉල්ලීම් ඉදිරිපත් කරමින්, දිසානායකට සුබ පැතීමේ ප්‍රකාශ නිකුත් කර ඇත.

රටේ ප්‍රධාන අපනයන අංශය වන ඇඟලුම් සහ රෙදිපිලි නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් නියෝජනය කරන ජේඒඒඑෆ්, දිසානායකට උනුසුම් සුබපැතුම් පල කර ඇති අතර එහි “පූර්න සහයෝගය” ප්‍රකාශ කර තිබේ.

එෆ්සීසීඅයිඑස්එල් ප්‍රකාශ කලේ, එය “ඔහුගේ නායකත්වය යටතේ ඉදිරියේ ඇති අවස්ථා පිලිබඳව සුභවාදී” වන බවයි. ශ්‍රී ලංකා බැංකු සංගමය “මූල්‍ය ස්ථායීතාව තිරසාරව පවත්වා ගැනීම” සහතික කිරීම සඳහා සිය පූර්න කැපවීම සහතික කරමින් ඔවුන්ගේ සුබ පැතුම් එවා තිබේ.

ශ්‍රී ලංකා හෝටල් සංගමය (ටීඑච්ඒඑස්එල්) සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (එස්එල්ඒඅයිටීඕ) ද දිසානායකගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුබ පැතුම් ප්‍රකාශ කරමින්, “රට ඉදිරි තලයකට ගෙන යාමට උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය.”

ආන්ඩුවට සුබ පතමින්, සීසීසී තවත් පියවරක් ඉදිරියට ගොස් ඉල්ලීම් දහයක ලැයිස්තුවක් ඉදිරිපත් කලේය. සියල්ලටත් වඩා, එය අවධාරනය කලේ ජාමූඅ න්‍යාය පත්‍රය “වෙනස් කිරීමකි​න්” තොර​ව ක්‍රියාත්මක කල යුතු බවයි.

මැතිවරන උද්ඝෝෂනය අතරතුර, දිසානායක මහා ව්‍යාපාරිකයන්ට සහතික කලේ, තමන් ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන නමුත් ඩොලර් බිලියන 3 ක ඇප නය සඳහා ජාමූඅ කොන්දේසි යලි සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවයි. ඔහු, යලි සාකච්ඡා කල හැකි බවට මිත්‍යාව නිර්මානය කලේ වෛරයට පාත්‍ර වූ කප්පාදු පියවර ලිහිල් කල හැකි බවට විශ්වාස කරවීම සඳහා වැඩ කරන ජනතාව රැවටීමටය.

සීසීසී හි පනිවිඩය වූයේ උපාමාරු දැමීමට ඉඩක් නොමැති බවයි. “සම්පූර්න බාහිර නය ප්‍රතිව්‍යුහගත කිරීම” සහ වානිජ නය හිමියන් සමඟ දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති විධිවිධාන අඛන්ඩව පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

මහා ව්‍යාපාරිකයන්ගේ උත්සුකය වන්නේ, එලඹෙන තුන්වන ජාමූඅ සමාලෝචනය සාර්ථක කර ගැනීමත්, ඇප නයෙහි සිව්වන වාරිකය ලබා දීම සහතික කර ගැනීමත් ය. ආන්ඩුව එයට අසමත් වුවහොත්, ඩොලර් මිලියන 331 ක සිව්වන වාරිකය අනතුරට පත් වනු ඇතිවා පමනක් නොව, අනෙකුත් ජාත්‍යන්තර ආයතනවලින් බලාපොරොත්තු වන නය ද ගැටලු සහගත විය හැකිය.

ජාජබ හි ව්‍යාපාරික සංසද රැස්වීම, 2024 සැප්තැම්බර් 4 [ඡායාරූපය: ජාජබ ෆේස්බුක්] [Photo by NPP Facebook]

ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය නය කලමනාකරන පනත, රාජ්‍ය මූල්‍ය කලමනාකරන පනත සහ ශ්‍රී ලංකා විදුලිබල පනත ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයාම සහතික කිරීම සඳහා දැනටමත් සම්මත කර ඇති නීති ක්‍රියාවට නංවන ලෙස සීසීසී ය මුදල් අමාත්‍යවරයා ලෙස පත්ව ඇති දිසානායකගෙන් ඉල්ලා සිටියේය. මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද පාර්ලිමේන්තු මැතිවරනයෙන් ජවිපෙ/ජාජබ බහුතර බලයක් ලබා ගන්නේ නම් මිස, වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවන ලද මෙම නීති වෙනස් කල නොහැක.

“ජාමූඅ හි පාලන විනිශ්චය තක්සේරුව මත පදනම්ව සකස් කරන ලද ආන්ඩුවේ ක්‍රියාකාරී සැලැස්ම අනුගමනය කරන ලෙස” සීසීසී ය නව ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. රාජ්‍ය මූල්‍ය පාලනය කෙරෙහි අවධානය යොමු කර ඇති තක්සේරුවට අනුව, විදේශ නය හිමියන්ට ආපසු ගෙවීම සඳහා බදු සහ අත්‍යාවශ්‍ය සේවා කප්පාදුව හරහා වැඩකරන ජනතාවගෙන් උපරිමය මිරිකා ගැනීම අධීක්ෂනය කල යුතුය; සහතික කල යුතු ය.

සීසීසී යෝජනා, මහා ව්‍යාපාරිකයන් විසින්, දිසානායක ආන්ඩුවට කරන ඉල්ලීම් හෝ ඇඟවීම් නොව, “අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට එහි නොපසුබස්නා කැපවීම සහ මුලු හදින්ම සහාය දීමේ...” කොන්දේසිය මත කරන බල කිරීම් වේ.

සීසීසී හි ස්ථාවරය ආරම්භයේ සිටම පැහැදිලිය. 2023 දී ජාමූඅ වැඩපිලිවලට අත්සන් කල විට, එය ප්‍රකාශ කලේ: “මෙය ආර්ථිකය සඳහා තීරනාත්මක ලක්ෂ්‍යයක් බව අපි විශ්වාස කරමු, දිගු කලක් ප්‍රමාද වූ ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීමත් සමඟ ... වැඩපිලිවෙලේ කිසිදු විරාමයක් රටට දැරිය නොහැක...”

මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිනි ජාමූඅ කන්ඩායම, රටේ මූල්‍ය තත්වය පිලිබඳ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරනයෙන් පසුවට කල් දැමීය. කෙසේ වෙතත් ජාමූඅ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර් අනතුරු ඇඟවීය: “ආර්ථිකය ස්ථිර පදනමක් මත තැබීමට නම්... තීරනාත්මක සන්ධිස්ථානයක සිටින ශ්‍රී ලංකාවේ පිහි තුඩක රැඳී ඇති ප්‍රකෘතිමත් වීමත් සමඟ, ප්‍රතිසංස්කරන ගම්‍යතාවය පවත්වා ගැනීම සහ වැඩපිලිවෙලට කෙරෙන සියලු කැපවීම් කාලානුරූපව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම තීරනාත්මක වේ.”

වෙනත් වචන වලින් කිවහොත්, “වැඩපිලිවෙලට කෙරෙන සියලු කැපවීම්” ක්‍රියාවට නැංවිය යුතු බව ජාමූඅ කලින්ම පැහැදිලි කර ඇත. මේ අනුව, ඕනෑම වෙනස් කිරීමක් තිබේ නම්, එය සම්පූර්නයෙන්ම ආටෝපීය (cosmetic) එකකි.

විශේෂයෙන්ම, 2023 අයවැයෙහි දල දේශීය නිෂ්පාදිතයේ සියයට 0.6 ක් වූ ප්‍රාථමික අතිරික්තය, 2025 දී සියයට 2.3 ක මධ්‍ය කාලීන ප්‍රාථමික ශේෂ අතිරික්තයක් බවට පත් කිරීම සඳහා “සුදුසු ආදායම් ක්‍රියාමාර්ග සහ අඛන්ඩ වියදම් සීමා කිරීම් ක්‍රියාමාර්ග වර්ධනය කල යුතු” බවට බෘෘවර් සඳහන් කලේය.

මෙයින් අදහස් කෙරෙන්නේ, වැඩ කරන ජනතාව සහ සුළු පරිමාන ව්‍යාපාර මත වැඩි බදු පැනවීම, රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකුනා දැමීම, රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් විනාශ කිරීම සහ මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධන වැඩසටහන් කප්පාදු කිරීම යි. ශ්‍රී ලංකාවේ “නය තිරසාරභාව​ය” ප්‍රතිෂ්ඨාපනය කිරීමට—වෙනත් වචන වලින් කිවහොත්, ජාත්‍යන්තර නය දෙන මිනී මෝරුන්ට ආපසු ගෙවීම සඳහා මේ සියල්ල අඛන්ඩව හා වේගවත්ව කල යුතුය.

බදාදා (25) රාත්‍රියේ ජාතිය අමතමින් දිසානායක, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට තම කැපවීම පිලිබඳව මහා ව්‍යාපාරිකයන්ට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට සහතික විය. “අපි වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමටත්, නය පහසුකම් දීර්ඝ කර ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කරනවා” යැයි ඔහු පැවසීය.

කම්කරුවන්ට මේ ආන්ඩුවේ ගමන් පථය පැහැදිලි බවට අනතුරු අඟවන සමාජවාදී සමානතා පක්ෂය (සසප), බලාපොරොත්තු සහගත සිහින වලට හෝ මිත්‍යාවන්ට ඉඩක් නොමැති බව පවසයි. ජාමූඅ සහ මහා ව්‍යාපාරිකයන් ඉදිරිපත් කර ඇති ආර්ථික න්‍යාය පත්‍රය ආන්ඩුව නිර්දය ලෙස ක්‍රියාවට නංවනු ඇති අතර කිසිදු විරුද්ධත්වයක් නොඉවසනු ඇත.

දිසානායක සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් සූදානම් වන්නේ වැඩකරන ජනතාවගේ ඕනෑම විරෝධයක් මර්දනය කිරීමට ය. හේරත් අඟහරුවාදා (24) ඉහල පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන්නේ, “දේශපාලකයින්ගේ මැදිහත්වීම්වලට යටත් නොවී ස්වාධීනව නීතිය හා සාමය ආරක්ෂා කරන” ලෙසයි.

කම්කරු පන්තිය තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට තමන්ගේම මූලෝපායක් සකස් කරගත යුතුය. ධනේශ්වර පක්ෂ හෝ ඔවුන්ගේ ගෝලබාල වෘත්තීය සමිති කිසිවක් කම්කරුවන්ගේ හෝ ගම්බද ජනතාවගේ පැත්ත නොගනිති. කම්කරු පන්තිය සහ ගම්බද දුප්පතුන් තමන්ගේම ස්වාධීන සටන් සංවිධාන ගොඩනගා ගත යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව සෑම වැඩපොලකම, කම්හලකම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු සංවිධානය කරන ලෙසයි. ග්‍රාමීය දිලිඳු ජනතාව ද තමන්ගේ ප්‍රදේශවල මෙවැනි කමිටු ගොඩනගා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සගයින් වන්නේ, ඒ හා සමාන ජීවන තත්වයන්ට හා ප්‍රහාරවලට මුහුන දෙන ලොව පුරා කම්කරුවන් ය. මෙහි ක්‍රියාකාරී කමිටු, ගෝලීය සංගත යෝධයින්ට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට එරෙහි ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග සම්බන්ධ විය යුතුය.

“ප්‍රජාතන්ත්‍රවාදයේ” තිරය පිටුපස තිබෙන පාර්ලිමේන්තුව, ධනේශ්වරයේ දූෂිත හා තුච්ඡ නියෝජිතයින්ගෙන් පිරී ඇති අතර ඔවුන් දේශපාලන බලය මත සිය ග්‍රහනය තහවුරු කිරීමට කැපවී සිටිති. වැඩ කරන ජනතාවට තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා උපාය මාර්ගයක් සැකසීමට සහ ක්‍රියාත්මක කිරීමට තමන්ගේ​ම බල පදනමක් අවශ්‍ය වේ.

දිවයින පුරා ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් පිහිටුවීමට සසප කැඳවුම් කරයි. ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල වැඩකරන ජනතාව මුහුන දෙන කිසිදු ගැටලුවක් විසඳිය නොහැක. දිසානායක ආන්ඩුව ජාමූඅ කප්පාදු ඉල්ලීම් සීඝ්‍රයෙන් ක්‍රියාවට නංවන බැවින්, එයට එරෙහි අරගලයක පදනම ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් පෙනී සිටින්නේ එබැවිනි.

Loading