ජවිපෙ/ජාජබ ජනාධිපතිවරන ව්‍යාපාරය—ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සඳහා උගුලක්

[මෙය The JVP/NPP presidential campaign—a trap for the Sri Lankan working class මැයෙන් 2024 සැප්තැම්බර් 19 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි ජාතික ජන බලවේග සන්ධානය මේ සෙනසුරාදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයේදී බලයට පැමිනීමට උත්සාහ කරන්නේ රටේ සම්ප්‍රදායික පාලක පක්ෂ සහ දිගු කලක් ආධිපත්‍යය දරන දූෂිත ධනේශ්වර පවුල්වල කුඩා කන්ඩායම—ජයවර්ධන-වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා සහ බන්ඩාරනායක-කුමාරතුංගලා—කෙරෙහි ඇති මහජන වෛරය ගසාකමිනි.

වසර දෙකකට පෙර, ආර්ථික කඩාවැටීමත් ම්ලේච්ඡ ආන්ඩුවේ කප්පාදුවත් මගින් ඇවිලවූ මහජන නැගිටීමක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් එලවා දැමීය. එහෙත් රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යටතේ සිදු වී ඇත්තේ, කම්කරු පන්තියේ සහ ග්‍රාමීය දුගීන්ගේ දුක් වේදනා තවත් තීව්‍ර වීම පමනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත වික්‍රමසිංහ සමාජ වියදම් සහ සහනාධාර කප්පාදු කර, දන්ඩනීය විදුලි ගාස්තු සහ බදු වැඩිකිරීම් පනවා, පොදු වත්කම් කුනු කොල්ලයට විකිනීම ආරම්භ කර ඇත.

ජවිපෙ/ජාජබ සහ එහි ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක සහ හිටපු කැබිනට් අමාත්‍ය අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මාධ්‍ය විසින් “වාම” සහ ඇතැම් විට “මාක්ස්වාදී-ලෙනින්වාදී” ලෙස පවා බොහෝ විට විස්තර කරනු ලැබේ.

මෙය පැහැදිලිවම ජනගහනය රැවටීම අරමුනු කරගත් දැවැන්ත බොරුවකි. ජවිපෙ ධනපති පක්ෂයකි; සිංහල ස්වෝත්තමවාදයේ ගිලී ඇති එය, කම්කරු පන්තියට දැඩි ලෙස සතුරු ය. එය බොහෝ කලකට පෙර එහි සමාජවාදී මවාපෑම් අතහැර දමා පසුගිය දශක තුන පුරා දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම ඒකාග්‍ර වී ඇත.

ජාජබ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 4 වන දින ව්‍යාපාරික සංසදය අමතමින් [ඡායාරූපය: ජාජබ ෆේස්බුක්] [Photo by NPP Facebook]

ජවිපෙ/ජාජබ “ජනතා ආන්ඩුවක්” පිහිටු වීමේ කතාව බොරුවකි. එය කලාපය තුල ඔවුන්ගේ අවශ්‍යතා තහවුරු කරන බවට වොෂින්ටනයට සහ නවදිල්ලියට—සියල්ලටත් වඩා, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට දිවයින වෙන කවරදාටත් වඩා දැඩි ලෙස යොදා ගැනීමට—සහතික ලබා දෙන අතර ම, මහා ව්‍යාපාරිකයන් හා ශ්‍රී ලංකාව තුල පිම්බුනු, ලේ තවරා ගත් මිලිටරි යාන්ත්‍රනය වැලඳගෙන සිටී.

අනෙකුත් දේශපාලන සංස්ථාපිතය මෙන්ම ජවිපෙ ද ජාමූඅ හි ම්ලේච්ඡ කප්පාදු නියෝග පැනවීමටත්, දෙමල සුලුතරයට එරෙහිව සිය වර්ගවාදී සිවිල් යුද්ධය දියත් කිරීමේ දී සහ මහා ව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘතිවලට මූල්‍ය සම්පාදනය කිරීමේදී පාලක පන්තිය ලබාගත් නය ගෙවීමට වැඩකරන ජනතාවට බල කිරීමටත් කැපවී සිටී.

ජාමූඅ ම්ලේච්ඡ කප්පාදු සඳහා සහාය

එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන ජාමූඅ සහ ගෝලීය ආයෝජකයින්ගේ ඉල්ලීම් වලට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ප්‍රකාශ කරන ජවිපෙ, ජාමූඅ වෙත වික්‍රමසිංහගේ හැරීම අනුමත කිරීමේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලු ම පක්ෂ සමග එකතු විය.

ඡන්ද ලබා ගැනීමට සහ කම්කරු පන්තියේ දැවෙන කෝපය පාලනය කිරීමට උත්සුක වන දිසානායක, අනෙක් ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වන සජබ හි සජිත් ප්‍රේමදාස මෙන්, ජාමූඅ කුරිරු හදිසි ඇප නය වැඩසටහන සමායෝග කිරීමට (තමාට සුදුසු පරිදි වෙනස් කර ගැනීමට) තමාට හැකි බව කියා ඇත.

එහෙත් මැතිවරනය ආසන්න වීමත් සමග, මෙය මැතිවරන ප්‍රචාරක ක්‍රියාවක් මිස අන් කිසිවක් නොවන බවට ඇති විය හැකි ඕනෑ ම සැකයකින් ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන් සහ ගෝලීය ප්‍රාග්ධනය නිදහස් කිරීමට දිසානායක යුහුසුලු වී ඇත. ජාජබ ව්‍යාපාරික සංසදය විසින් කැඳවන ලද කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින්ගේ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සැප්තැම්බර් 4 දා කතා කරමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් විසින් ආර්ථිකය “අස්ථාවර කරන” බවට ජනාධිපති ධුරය රඳවා ගැනීමට ඉදිරිපත් වන වික්‍රමසිංහගේ ප්‍රකාශයන් දිසානායක කෝපයෙන් ඉවත දැමීය. දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා පූර්න ආරක්ෂාව ලබා දෙන බවට ඔහු පොරොන්දු විය; ජවිපෙ/ජාජබ ආන්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ප්‍රතික්ෂේප නොකරන බවට “සහතික වූයේ”, එවැනි පියවරක් “ජනතාවගේ යහපතට” හේතු නොවන නිසා බව ඔහු පැවසී ය; එසේම ඇපදීමේ පැකේජයේ “ලබා දී ඇති පරාමිතීන්” සාක්ෂාත් කර ගැනීම සඳහා එය ජාමූඅ සමඟ කටයුතු කරනු ඇත.

මෙම පරාමිතීන්වලට 2025 සිට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක වාර්ෂික අයවැය අතිරික්තයක්, රජය සතු ව්‍යවසායන් තොග පිටින් විකිනීම සහ රාජ්‍ය සේවාවන් විශාල ප්‍රමානයක් පුද්ගලීකරනය කිරීම ඇතුලත් වේ.

දිසානායක සහ ජවිපෙ/ජාජබ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා පුද්ගලීකරනයට සහාය දෙමින්, බලශක්තිය වැනි ජාතික ආරක්ෂාව සමග බැඳුනු “උපායමාර්ගික” අංශ අතලොස්සක පමනක් පොදු අයිතිය රඳවා ගන්නා බව පැවසීය.

ධනවාදයට සහ ශ්‍රී ලංකා ධනේශ්වරයට ඔවුන්ගේ කැපවීම අවධාරනය කරමින් දිසානායක සහ ජවිපෙ නායකත්වය ජාත්‍යන්තරව සාර්ථක වූ ශ්‍රී ලංකාව පදනම් කරගත් සමාගම් “ජාතියට” ගෞරවයක් ලෙස යලි යලිත් පැසසුමට ලක් කරන අතර, මහජන ජීවිත විනාශ කරන අර්බුදයට හේතුව “දූෂනයේ දේශපාලන සංස්කෘතිය” බව අවධාරනය කලේ, ඊට හේතුව, ගෝලීය ධනේශ්වර අර්බුදය සහ ශතවර්ෂ තුන්කාලක ස්වාධීන ධනේශ්වර පාලනයේ පැහැදිලි අසාර්ථකත්වය නොවන්නාක් මෙනි.

“පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!” යන මැයෙන් වන ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය, අවශ්‍ය වන්නේ දූෂනය අවසන් කිරීමට ජවිපෙ ආන්ඩුවක් බලගැන්වීම පමනක් බවත් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කරන බවත් අභූත ලෙස ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට දින කිහිපයකට පෙර, 2022 ජූලි 9 වන දින, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස දෙසට දිවෙන වීදියක විරෝධතාකරුවෝ රැස්ව සිටිති. [ඒපී ඡායාරූපය/අමිත තෙන්නකෝන්] [AP Photo/Amitha Thennakoon]

ජවිපෙ වෘත්තීය සමිති යනු පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා තීරනාත්මක පාලක පන්ති යාන්ත්‍රනයකි. 2022 මහජන ජනතා නැගිටීම අතරතුර මෙය සුපැහැදිලි ලෙස ප්‍රදර්ශනය විය. සෙසු වෘත්තීය සමිති මෙන්ම ජවිපෙ විසින් පාලනය කරන ලද ඒවා ද කම්කරු පන්තිය පන්තියක් ලෙස විරෝධතාවලට මැදිහත් වීම වැලැක්වීමට කටයුතු කලේ ය. එය කල නොහැකි බව ඔප්පු වූ විට, ධනේශ්වර පර්යායට කම්කරු පන්තික දේශපාලන අභියෝගයක් මතුවීම වැලැක්වීමට ඔවුන් දරන උත්සාහය දෙගුන කරමින් එක්දින මහා වැඩ වර්ජන අතලොස්සක් අනුමත කලහ. “අන්තර්කාලීන” ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට කරන ලද කැඳවුම් සමග, ඔවුන් රාජපක්ෂ වෙනුවට වික්‍රමසිංහ පත්කිරීමට සහ වැඩකරන ජනයාට එරෙහි පන්ති යුද්ධ ප්‍රහාරය තීව්‍ර කිරීමට පාර කැපූහ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ප්‍රේමාලිංගන

මහ ව්‍යාපාරිකය සමග ජවිපෙ/ජාජබ පාන ප්‍රේමය, වොෂින්ටනය හා නව දිල්ලිය සමග අනුග්‍රහශීලී වීමට ඔවුන් දක්වන ප්‍රයත්නය සමගින් එක් ව ගමන් කරන්නේ, ඒවායේ භූ-මූලෝපායික අවශ්‍යතා රැකීමට ජවිපෙ/ජාජබ සූදානම සංඥා කරමිනි. එක්සත් ජනපද තානාපතිනි ජුලී චං සහ විදේශ ඇමති එස්. ජයිශංකර් හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඇතුලු ඉන්දියානු ආන්ඩුවේ ඉහල නිලධාරීන් යලි යලිත් මුනගැසීමට දිසානායක කටයුතු කර ඇත.

ඉන්දියාවේ ආරක්ෂක උවමනාවන්ට තර්ජනය කරනු වස්, ශ්‍රී ලංකාවේ භූමිය, මුහුද හෝ ගුවන් කලාපය යොදා ගැනීමට කිසිවෙකුට අවසර නො දෙන බව ජවිපෙ මැතිවරන ප්‍රකාශය ඍජු ව සඳහන් කරයි. එක්සත් ජනපදය සහ එහි ප්‍රධාන ආසියා-පැසිෆික් සගයන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ද්වි-පාර්ශවික, ත්‍රෛපාර්ශවික හා චතුර්-පාර්ශවික සන්ධාන ජාලයකින් ඉන්දියාව බැඳී සිටින සහ ශ්‍රී ලංකාව තුල කටයුතුවලට නව දිල්ලිය විරෝධය පා ඇති එක ම රට චීනය වන තතු තුල, ජවිපෙ පොරොන්දුව සමාන වන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය නායකත්වය දෙන හා ඉන්දියානු සහයෝගය ලබන චීනයට එරෙහි යුද සන්ධානය වෙනුවෙන් කැපවීමකට සහයෝගය දීමට යි.

මෙම දිශානතියට ගැලපෙන පරිදි, එක්සත් ජනපදය සමග කොලඹ ආන්ඩුව අත්සන් තබා ඇති මිලිටරි ගිවිසුම් විවේචනය කිරීම සඳහා ජවිපෙ වචනයක් වත් කියා නැත. පවරාගැනීමේ හා හරස්-සේවා එකඟතාව (ඇක්සා) හා හමුද තත්ත්ව ගිවිසුම (සෝෆා) මේවාට ඇතුලත් වෙයි. ඇක්සා එකඟතාව එක්සත් ජනපද මිලිටරියට ශ්‍රී ලංකාවට ඇතුල් වීමටත් එහි මිලිටරි පහසුකම් භාවිතා කිරීමටත් අවසර දෙයි; සෝෆා ගිවිසුම එක්සත් ජනපද මිලිටරි භටයන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට පහසුකම් සලසයි. ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊස්රාලයේ ජනසංහාරක ප්‍රහාරය අවසන් කිරීමට ප්‍රයත්න දරන හවුදි කැරලිකරුවන් ඉලක්ක කරගන්නා එක්සත් ජනපදය නායකත්වය දෙන සභාගය හා එක්වනු වස් ශ්‍රී ලංකාවේ යුද නැවක් රතු මුහුදට යැවීමට වික්‍රමසිංහ ගත් පියවරට ද ජවිපෙ විරුද්ධත්වය දැක්වූයේ නැත.

තුන්වැනි ලෝක යුද්ධයක් ප්‍රේරනය කිරීමට තර්ජනය කරන එක්සත් ජනපදය නායකත්වය දෙන ගෝලීය යුද්ධයට ලංකාව වඩා විවෘත ව ගැටගැසීම මගින්, වඩ වඩා කැරලිකාරී වන කම්කරු පන්තියකට එරෙහි ව සිය තත්ත්වය ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාවේ උන්මත්තක ධනේශ්වරය දරන ප්‍රයත්නය සමග, වික්‍රමසිංහට හා ප්‍රේමදාසට නො අඩු ව දිසානායක ද එක පෙලට සිටින බව, මෙම වර්ධනයන් අවධාරනය කරයි. එක්සත් ජනපද-නැටෝ සන්ධානය අවුලුවන රුසියාවට එරෙහි යුද්ධය, පලස්තීනුවන්ට එරෙහි අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ජනසංහාරය, ඉරානයට පහර දීමට එක්සත් ජනපදය කරන සූදානම් කිරීම් සහ චීනයට එරෙහි ව පුපුරා යමින් තිබෙන එක්සත් ජනපද ප්‍රහාරය මෙම යුද්ධයේ ප්‍රධාන පෙරමුනු ලෙස පවතී.

1960 ගනන්වල දී ජවිපෙ ඉස්මතු වූයේ, මාඕවාදය, කස්ත්‍රෝවාදය හා සිංහල ස්වෝත්තමවාදය යන ඒවායේ සාරසංග්‍රහවාදී මිශ්‍රනයක් මත පදනම් වූ සුලු-ධනේශ්වර රැඩිකල් ගරිල්ලා ව්‍යාපාරයක් ලෙසිනි. 1970 ගනන් මුල දී, රාජ්‍ය මර්දනයෙන් ජවිපෙ ආරක්ෂා කරද්දී පවා, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) අනතුරු ඇඟවූයේ, දෙමල වතු කම්කරුවන් “ඉන්දියානු ඒජන්තයින්” ලෙස හෙලාදැකීම විසින් ආදර්ශනය කල ජවිපෙ වාර්ගික-ප්‍රජාගනවාදී දේශපාලනය ෆැසිස්ට්වාදයේ බීජ දරා සිටි බව යි.

ජවිපෙ ප්‍රතිගාමී පරාවක්‍රය සම්බන්ධයෙන් ගත් කල, මෙම අනතුරු ඇඟවීම් ඕනෑවටත් වඩා තහවුරු විය. 1980 ගනන්වල දී දෙමල-විරෝධී යුද්ධයේ ප්‍රචන්ඩ සහකරුවෙක් ලෙස එය ඉස්මතු විය. 1988-89 සමයේ දී, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි කැරැල්ලක කොටසක් ලෙස විකොස සාමාජිකයන්, සටන්කාමී කම්කරුවන් සහ වෘත්තීය සමිති නායකයන් ඇතුලු වාමාංශිකයන්ට එරෙහි මිනීමරු ප්‍රහාර සඳහා එය ඉලක්ක කල අතර, ආරම්භයේ දී එය එජාප අගමැති රනසිංහ ප්‍රේමදාසගේ නිහඬ අනුමැතිය සමග ගෙන ගියේ, එම ගිවිසුම සිංහල ආධිපත්‍යයට හා ඒකීය රාජ්‍යයට වලකැපුවේය යන පදනම මත යි.

පසුකාලීන ව, ජවිපෙ නායකයෝ ඔවුන්ගේ කැලෑ ඇඳුම්, ව්‍යාපාරික ඇඳුම්වලට මාරු කර දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර වීමට නියමිත වූ හ. ආන්ඩු කිහිපයක් ම බලයට ගෙන ඒමට උදව් කරමින් හා කැබිනට් මන්ඩලවල පවා සේවය කරමින්, පසුගිය වසර තිහ තුල සමාජීය විරෝධය අපසරනය කිරීමේ දී හා මර්දනය කිරීමේ දී ඔවුහු වැදගත් භූමිකාවක් ඉටු කර ඇත.

එහෙත්, ජවිපෙ සිය “සංස්ථාපිත-විරෝධී” පරිකල්පන රූපය අඛන්ඩ ව ගසා කන අතර, විශාල කම්කරුවන්, තරුනයන් හා ගම්බද පීඩිතයන් ප්‍රමානයක් දිසානායකට ඡන්දය දෙනු ඇත්තේ, ආන්ඩුවේ අපකීර්තිමත් පක්ෂවලට විකල්පයක් ඔහු නියෝජනය කරතියි යන සාවද්‍ය විශ්වාසයෙන් හෝ අවම වසයෙන් දේවල් සොලවා දැමීමේ උත්සාහක් ලෙස ය.

කම්කරු පන්තිය එවන් මිථ්‍යා කල්පනාවන්ගෙන් මිදීම හදිසි අවශ්‍යතාවකි. ජවිපෙ වනාහි අනතුරුදායක උගුලකි.

ජවිපෙහි ජාතිකවාදී හා “දේශප්‍රේමී” ආයාචනාවන්ගෙන් නිශ්චිත ෆැසිස්ට්වාදී දුර්ගන්ධයක් හටගනී. ජවිපෙ/ජාජබ ආන්ඩුවක් යටතේ, කම්කරු පන්තිය සහ ඔවුන්ගේ ශ්‍රමයෙන් ලාභ උපයන ධනපතීන් අතර සබඳතාවන්ගෙන් පටන්ගෙන, ශ්‍රී ලංකාවේ සමාජය සමන්විත කරන විවිධ සමාජ කන්ඩායම් අතර සබඳතා හා අවශ්‍යතා, සියලු දෙනා “ජාතියට වැඩ කරන පරිදි” නියාමනය කිරීම හා සංයමනය කරනු ඇතැයි ජවිපෙ කියා සිටියි.

සිංහල ස්වෝත්තමවාදයේ කරවටක් ගිලුනු පක්ෂයක්

දෙමල ධනපති පක්ෂ සමග උපාමාරුවල යෙදීමට හා ඡන්ද දිනාගැනීමේ අපේක්ෂාවන්ට පහසුකම් සැලසෙන පරිදි, මෑත අවුරුදුවල දී ජවිපෙ එහි අන්තරංගික දෙමල-විරෝධී ස්වෝත්තමවාදයේ හා සිංහල පලමුව පූච්චානම්වල සැර තරමක් බාල කරගෙන ඇත.

එහෙත් පැහැදිලිව ම මෙය වෙස් මවාපෑමකි. එය වනාහි ශ්‍රී ලංකාවේ ජාතිකවාදය, සිංහල ස්වෝත්තමවාදය සමග එකට වෙලී තීබෙන හා මුසු වී තිබෙන පරිමානය විසින් හැකියාව ලබා දුන් එකකි.

ඒකීය රාජ්‍යය පවත්වාගෙන යාමේ දී සිය භූමිකාව - එනම්, සිංහල ධනේශ්වරය විසින් අවුලුවන ලද දෙමල සුලුතරයට එරෙහි වර්ගවාදී යුද්ධයට එය දුන් පූර්න සහයෝගය - පිලිබඳ ව ජවිපෙ/ජාජබ අඛන්ඩ ව උදම් අනයි. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව එය ගොඩනැගූ ප්‍රජාගනවාදී නැගී සිටීමේ දී මිය ගිය අයවලුන් සිහිපත් කිරීමට එය නිතිපතා උත්සව පවත්වයි.

ඉස්ලාමීය කන්ඩායමක් විසින් සිදුකරන ලද පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාර හෙලා දැකීම මගින් සියලු මුස්ලිම් වැසියන් තම පක්ෂපාතී භාවය සනාථ කල යුතු යයි එය 2019 දී විධානය කලේ, හරියට දෙමල කතා කරන මුස්ලිම් වැසියන් සාමූහික ව එම ප්‍රහාරවලට වගකිව යුතු වූවාක් මෙනි.

ලංකාව තුල රාජ්‍යය විසින් බුද්ධාගමට ලබා දී සුවිශේෂී වරප්‍රසාදිත තත්ත්වය සහ ඒකීය රාජ්‍යය අඛන්ඩ ව පවත්වගෙන යන බව, අඟහරුවාදා පැවති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ රැස්වීමක දී කතා කල ජාජබ මන්ත්‍රීවරයෙකු හා නායකයෙකු වන විජිත හේරත් සපථ කලේ ය. “අපේ ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් වෙනස් කරන්නේ නැහැ. ‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන’ බව 9වන ව්‍යවස්ථාව කියනවා. අනාගතයේ දී ත් අප එය ක්‍රියාත්මක කරනවා.” යි හේරත් ප්‍රකාශ කලේ ය.

“දෙවන කාරනය වන්නේ මෙයයි: අපි රටෙහි ඒකීය රාජ්‍යයට, භෞමික අඛන්ඩතාවට හා ජාතික ආරක්ෂාවට විශාල කැපකිරීම් කර ඇති දේශපාලන ව්‍යාපාරයක්. එම නිසා, ඊයේ, අද වගේ ම හෙටත් අපේ ස්ථාවරය එලෙස ම පවතිනවා.

මේ මස මුල දී දෙමල බහුතරයක් ජීවත් වන උතුරේ දී කතා කල දිසානායක ඔවුන්ගේ ඡන්ද පතා සිහින් තර්ජනයක් කලේ, නව ආන්ඩුවක් සඳහා දකුනේ ජනයාගේ අපේක්ෂාවට දෙමල වැසියන් බාධා නො කල යුතු යයි තර්ජනය කරමිනි. “කරුනාකරලා හිතන්න, දකුනේ ජනයා වෙනසක් පතා පෙලගැසී සිටින විට, ඔබ එයට විරුද්ධ වුව හොත් දකුනේ ජනයා අතර වර්ධනය විය හැකි මානසිකත්වය මොන වගේ වෙයි ද. (උතුරේ ප්‍රධාන නගරය වන) යාපනය එම වෙනසේ විරුද්ධවාදීන් ලෙස හංවඩු ගසනවාට ඔබ කැමති ද? උතුරට හංවඩු ගැසීම ඔබට අවශ්‍ය ද?”

ශ්‍රී ලාංකික ජාතිකවාදය හා සිංහල ස්වෝත්තමවාදය ජවිපෙ/ජාජබ ඇටමිදුලුවලට ම කාවැදී ඇත.

ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට එන කම්කරු-පන්තික දේශපාලනික අභියෝගයකට හෝ ජාමූඅ කප්පාදුව ක්‍රියාත්මක කරන ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුවකට එරෙහි ව ඉස්මතු වන මහජන කම්කරු-පන්තික විරෝධයට, ජවිපෙ ප්‍රතිචාර දක්වනු ඇත්තේ වඩාත් ම වනචර ප්‍රජාගනවාදී උසිගැන්වීමක් හා මර්දනය සමගින් බවට ප්‍රශ්නයක් තිබිය නො හැක.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2023 පෙබරවාරි 11 වන දින ජවිපෙ-ජාජබ විසින් කැඳවුම් කරන ලද විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීම අමතමින්. විශ්‍රාමික ඉහල හමුදා නිලධාරීහු සහ තාක්ෂනඥයෝ ජවිපෙ නායකයා පිටුපස අසුන්ගෙන සිටිති. [ඡායාරූපය: ලෝසවෙඅ] [Photo: WSWS]

මෙහි දී, දෙමල-විරෝධී සිවිල් යුද්ධයේ හිටපු මිලිටරි නිලධාරීන් සමග ජවිපෙ ස්ථාපනය කරගෙන ඇති සමීප සබඳතා කම්කරුවෝ බැරෑරුම් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. මිලිටරියෙන් විශ්‍රාම ගිය අයගෙන් සමන්විත “ත්‍රිවිධ හමුදා සාමූහිකයක්” ජාජබ බැනරය යටතේ ජවිපෙ විසින් නිර්මානය කර ඇත. විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක් හා හිටපු නැගෙනහිර අනදෙන නිලධාරී අරුන ජයසේකර නායකත්වය දෙන මෙම සාමූහිකය රට පුරා රැස්වීම් පවත්වා ඇත්තේ, “නීතිය හා සාමය යටතේ ආර්ථික සංවර්ධනය” හරහා රටෙහි “විමුක්තිය” සඳහා තීරනාත්මක භූමිකාවක් ඉටු කරන ලෙස දිසානායක මිලිටරියට කර ඇති ආයාචනාවට ප්‍රතිචාර වසයෙනි.

“අප අපේක්ෂා කරමින් සිටින වෙනසේ ප්‍රධාන කර්තව්‍යය ඉටුකල හැක්කේ ඔබටයි” යි සාමූහිකයේ ආරම්භක සමුලුවේ දී දිසානායක කීවේ ය. “මිලිටරිය කියන්නේ සෑම අංශයක ම පැතිරුනු සංවිධානාත්මක බලවේගයකි” යි ඔහු තවදුරටත් කීවේ ය.

සිංහල ස්වෝත්තමවාදී ආයාචනාවන්ගෙන් පදනම මත යුද අපරාධ සිදුකිරීමට බලමුලු ගන්වන ලද හිටපු මිලිටරි නිලධාරීන්ට බොහෝමයකට ප්‍රේමාලිංගන පෑමෙන්, තම ආඥාවන් බලයෙන් පැටවීමට කැපවුනු පැරා-මිලිටරි හමුදාවක් සඳහා පදනම දැමීම හා මිලිටරි සංස්ථාපිතය සමග සමීප සබඳතා ස්ථාපනය කිරීම යන දෙක ම ජවිපෙ/ජාජබ විසින් කරමින් සිටී.

මැතිවරනයෙහි ප්‍රතිඵලය කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය මහජන අරගල තුලට ප්‍රචාලනය කෙරෙනු ලැබීමට නියමිත ය. සිය අපේක්ෂකයා ලෙස සසප පානි විජේසිරිවර්ධන ඉදිරිපත් කලේ සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට ය. ධනපති රාමුව ප්‍රතික්ෂේප කිරීම හා කිසිදු ජාතික විසඳුමක නො හැකියාව මත පදනම් ව, ජාමූඅ කප්පාදුවට හා යුද්ධයේ තර්ජනයට එරෙහි ව, පන්ති අරගලය තීව්‍ර කිරීමේ හා කම්කරු බලයේ ස්වාධීන සංවිධාන ගොඩනැගීමේ අවශ්‍යතාව සඳහා විප්ලවීය සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කල එක ම අපේක්ෂකයා විජේසිරීවර්ධන විය.

Loading