හල්දුම්මුල්ල මහජනයා ප්‍රදේශයේ පාසල් වසා දැමීමට විරුද්ධත්වය පල කරති

අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021 පාසල් සංගනන වාර්තාවලට අනුව, 10,165 ක් වන ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි ප්‍රමානයක, එනම් පාසල් 5,161 ක සිසුන් සංඛ්‍යාව 2,00ට වඩා අඩු වී තිබේ. එම පාසල් අතරින් පාසල් 1,419ක් තරම් විශාල සංඛ්‍යාවක ශිෂ්‍ය සංඛ්‍යාව 50ත් අඩු මට්ටමට පහත වැටී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

දශක ගනනාවක් පුරා ක්‍රමානුකූලව ශිෂ්‍ය සංඛ්‍යාව පහත වැටෙන මෙම පාසල්වලින් බහුතරය වැසීයෑමේ අන්තරායට මුහුන දී ඇත. 2015 වසරේ සිට මෙරට පාසල් 2,00 ක් පමන වැසී ගොස් ඇතැයි අද පුවත්පත දෙසතියකට පෙර වාර්තා කලේ ය.

2022 සිට වසාදමා ඇති බ/පුස්සැල කනිෂ්ඨ විද්‍යාලය

මෙම තතු තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) හා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික කන්ඩායමක් බන්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පසුගිය වසර කිහිපය තුල වසාදැමූ පාසල් කිහිපයක ගුරුවරුන් හා දෙමාපියන් සමග සාකච්ඡාවක නිරත වෙමින් පාසල් වැසීයෑමට බලපෑ කරුනු පිලිබඳව සාකච්ජාවක නිරත වූහ.

බන්ඩාරවෙල-කොලඹ ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට කිලෝ මීටර් 2ක් දුරින් පිහිටි ගිනිගත්ගල කනිෂ්ඨ විද්‍යාලය පසුගිය වසරේ වසා දැමූ පාසලකි. පාසලේ තිබී පවතින්නේ අඩි 120-60 දිග පලලින් යුතු එක් ගොඩනැගිල්ලක් පමනි. 1983 දී පමන සිසුන් 36 ක් සිටි මෙම පාසලේ 2017 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 09 දක්වාත්, 2021 දී එක් ශිෂ්‍යයෙක් දක්වාත් අඩු වී තිබේ. 2017 දී ආචාර්ය මන්ඩලයේ 05 ක් සේවය කර තිබේ.

1971 දී මෙම පාසලට පලමු පත්වීම ලබා සේවයට පැමිනි දැන් විශ්‍රාමිකව සිටින ලීලා නම් වූ ගුරුවරිය ප්‍රකාශ කලේ ගිනිගත්ගල පාසලේ එවක දී එක් පන්තියක ලමුන් 15 ක් පමන සිටි බවත් 9 වන ශ්‍රේනිය දක්වා පන්ති පැවැත් වූ බවත් ය.

එම පාසලෙන් 2018 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සියලු සිසුන් සමත් වු බවත්, ඒ අතර හල්දුම්මුල්ල කොට්ඨාසයේ වැඩිම ලකුනු ලබාගත් ශිෂ්‍යයා සිටි බවත්, මෑතක් වන තෙක් මෙම පාසලේ සේවය කල විදුහල්පතිවරයෙක් සඳහන් කලේ ය. “අවට ලමයින් පාසලේ රඳවා ගනිමින් පාසල වැසී යෑම වලක්වා ගැනීමට මම සෑහෙන වෙහෙසක් ගත්තා නමුත් අසාර්ථක වුනා“ යයි විදුහල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

ගිනිගත්ගල පාසල අවට දරුවන් මේ වන විට කිලෝමීටර් තුන හතරක් දුරින් පිහිටි මරන්ගහවෙල හා කලුපහන යන පාසල්වල අධ්‍යාපනය ලැබූවද, කඳු සහිත දුෂ්කර මාර්ග තරනය කරමින් මහමගට පිවිස එතැන් පටන් බස්රථ වලින් පාසල් යාමට ඔවුන්ට සිදුව තිබේ.

මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙකු හා විශ්‍රාමික ගුරුවරයෙකු වන 82 හැවිරිදි කරුනාරත්න මෙසේ ප්‍රකාශ කලේ ය: “1943 මම මේ පාසලේ අධ්‍යාපනය ලැබුවා. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරනය ගෙනා වෙලාවේ දේශපාලනඥයෝ ඊට විරුද්ධව කිව්වේ, නිදහස් අධ්‍යාපනය දුන්නොත් ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති වෙයි කියලා. උන්ගේ ඊලඟ පරපුර කලේ ජාතික පාසල්, ජනප්‍රිය පාසල් හදල පාසල් පද්ධතියේ අසමානතාවය වැඩි කරපු එකයි. ගම්වල පාසල්වල ගුරුවරුන් සහ අනෙකුත් සම්පත් වැඩි දියුනු කරනවා වෙනුවට ඒවා කප්පාදු කෙරුවා. ප්‍රතිඵලය වුනේ ලමයි තවතවත් ගමේ පාසල් හැර යමින් නගරයේ පාසල් වලට යොමුවීම.“

කොලඹ-බදුල්ල මාර්ගයේ පිහිටි කලුපහන හන්දියේ සිට කිලෝ මීටරයක් පමන දුරින් ගම ඇතුලත පිහිටි බන්ඩාරවෙල පුස්සැල කනිෂ්ඨ විද්‍යාලය මෑතක දී වසා දැමූ තවත් පාසලකි. එයද වසර සියයක් පමන පැරනි පාසලකි.

එම විද්‍යාලයේ සේවය කල ගුරුවරියක් මෙසේ ප්‍රකාශ කලා ය: “දෙමව්පියො කැමැති, ලමයි, ගුරුවරු වැඩි සහ අනෙකුත් පහසුකම් සහිත පාසලකට දරුවො ඇතුලත් කරන්න. නමුත් දැන් පවතින ප්‍රවාහන ගාස්තු යටතේ අවට තියෙන කලුපහන විද්‍යාලයට හෝ නගරයේ තියෙන හල්දුල්මල්ල ජාතික පාසලට හෝ දරුවො යවන්න මේ ප්‍රදේශයේ සිටින අසරන ගොවි ජනතාවට විශාල වියදමක් දරන්න වෙනවා“.

අත්‍යවශ්‍ය ගුරුවරුන් සම්පාදනය කරමින් පාසල දියුනු කරනු වෙනුවට බලධාරීන් සිදු කර ඇත්තේ, ඉංග්‍රීසි ගුරුවරිය වීරකෝන්ගම විද්‍යාලයට මාරු කර යැවීම හා පාසලේ ඩෙස්ක් බංකු බන්ඩාරවෙල කලාප කාර්යාලයට ගෙන යෑමයි. ඉංග්‍රිසි ගුරුවරිය මාරු කර යැවූ වීරකෝන්ගම පාසල ද ඉතා දුෂ්කර පාසලකි.

ලමයින් සීමිත සංඛ්‍යාවක් සිටීම ගුරුවරයාට දරුවන් කෙරෙහි අවධානය වැඩිපුර යොමු කිරීමට හේතුවන බවත් දැන් නගරයේ තදබදයෙන් යුතු පාසල්වල ගුරුවරුන්ට ඒ සඳහා ඉස්පාසුවක් නොමැති බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය. “2018 වසරේ මම ඉගැන්වූ ලමයි පස් දෙනාගෙන් තුන් දෙනෙක් ම ශිෂ්‍යත්ව විභාගය සමත් වුනා.“

මාර්ග ප්‍රතිසංස්කරනය නොකිරීම, පොදු ප්‍රවාහන සේවා බිඳ වැටීම හා පාසල් තුල ගුරු නිවාස ආදී පහසුකම් නොමැති වීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි රැකියාවට එන ගුරුවරුන් ඉතා දුෂ්කර රැකියා කොන්දේසිවලට මුහුන දෙන බවත්, ඒ හේතුවෙන්ම ඔවුන් පාසලේ වැඩිකල් නොසිටින බවත් ප්‍රදේශයේ ගුරුවරු හා දෙමාපියෝ පෙන්වා දුන්හ.

කොලඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ ප්‍රසිද්ධ මංසන්ධියක් වන බෙරගල සිට කිලෝ මීටර් 18ක් පමන දුරින් ඉතාම දුෂ්කර ස්ථානයක පිහිටි වෙලන්විට විදුහල මෑතක දී වසා දැමුනු තවත් පාසලකි. එම පාසලේ සේවය කල විදුහල්පතිවරයෙකු ප්‍රකාශ කලේ ගුරුවරුන්ට පාසලට පැමිනීමට පොදු ප්‍රවාහන සේවයක් නොමැති බවයි. “ගුරුවරු තමන්ගේ මෝටර් බයිසිකල්වලින් ගොඩක් ආවේ. මම කිලෝ මීටර් 90ක් දුර ගෙවන් ආවේ, මාසයකට රුපියල් 23,000 ක් වැය වුනා. මට තවම මගේ ගෙයි වැඩ අවසන් කර ගන්න බැරි වුනා. . 2007 නව උපාධිධාරී පත්වීම් ලබා ආපු ගුරුවරු 07 ක් වැඩිකල් හිටියේ නැහැ” යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

ප්‍රදේශය තුල උක් හකුරු කර්මාන්තය බිඳ වැටීම හා තේ කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරත වී සිටි ගම්වාසීන් කොලඹ ඇතුලු වෙනත් නගරවල ඇඟලුම්, හෝටල් වැනි ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා මාරු වීම හා ඉඩම් විකුනා දැමීම වැනි කරුනු නිසා ප්‍රදේශයේ ජනගහනය අඩු වූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ. “ගම්වල අසනීපයකට බෙහෙතක් ගන්න රෝහලක්වත් නෑ හරියට. පහසුකම් නැති නිසා පුලුවන් අය ගම අතහැර යනවා” යයි ගෘහනියක් පැවසුවා ය.

දකුනු ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාවේ පෙර යටත් විජිත ලෙස පැවති පසුගාමී රටවල පොදුවේ දක්නට ලැබෙන කාරනයක් වී ඇත්තේ ධනපති කර්මාන්ත, වරාය හා ගුවන් තොටුපලවල් ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවතීමයි. 1970 අග භාගයේ දී ලංකාව ජාත්‍යන්තර ප්‍රාග්ධනයට විවෘත කිරීමත් සමග ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකාර්මික හා වෙනත් සුලු කර්මාන්ත බිඳවැටී නගර කරා ජන සංක්‍රමනය වේගවත් වී ඇත.

ලංකාවේ ගම හා නගරය අතර අසමානතාවය පිලිබඳ එක් වාර්තාවකට අනුව බස්නාහිර පලාත 2015 වසරේ දී රටේ දල ජාතික නිෂ්පාදනයට සියයට 41.2 ක දායකත්වයක් ලබා දෙද්දී බන්ඩාරවෙල ප්‍රදේශය අයත් වන ඌව පලාත ලබා දී ඇත්තේ සියයට 5.2 ක දායකත්වයක් පමනි.

ග්‍රාමීය පාසල් වැසී යද්දී, නගරයේ “ජනප්‍රිය“ යයි සැලකෙන පාසල්වල පන්ති කාමරයක ලමුන් 45 ක් ඉක්මවා යමින්, විද්‍යාගාර, ක්‍රිඩා, සෞන්දර්ය සහ සනීපාරක්ෂක පහසුකම් සිසු සංඛ්‍යාවට කිසිසේත් ප්‍රමානවත් නො වන තත්වයට පත්ව තිබේ. මෙම පාසල්වල නඩත්තුව මුලුමනින්ම පාහේ පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් මත පටවා ඇත. එවැනි පාසලක වාර්ෂික පහසුකම් ගාස්තු රුපියල් 5,000 ඉක්මවා තිබේ.

ගමෙන් නගරයට සංක්‍රමනය වූ දසදහස් සංඛ්‍යාත පවුල් වලට නිසි නිවහනක් හෝ ආදායම් මාර්ගයක් නොමැති අතර, නගරයේ තැන්තැන්හි අටවාගත් පැල්පත්වල ජීවත් වන ඔවුන්ගේ ආදායම් මාර්ගයන් වි ඇත්තේ, පදික වෙලඳාම, කුලීවැඩ සහ නාටාමි කාර්යය යි. මෙම නාගරික දිලිඳු ජන කොටස්වල දරුවන්ගේ අධ්‍යාපනය මුලුමනින්ම ඛාදනය වී ඇත.

රටේ සියලුම දරුවන්ට රජයේ වියදමින් අධ්‍යාපනය ලබාදියයුතු බවට ලංකා සමසමාජ පක්ෂයේ සහ බොල්ෂේවික්-ලෙනින්වාදී පක්ෂයේ නායකත්වයෙන් 1930 ගනන්වල අගභාගයේ සහ 1940 ගනන්වල මුල් භාගයේ කම්කරු පන්තිය ගෙනගිය බලගතු අරගලය හේතුවෙන් නිදහස් අධ්‍යාපනය හෙවත් මහජන අධ්‍යාපනය සීමිතව හෝ තහවුරු කිරීමට ලංකාවේ ධනපති පන්තියට බල කෙරුනි. ගිනිගත්ගල, වෙලන්විට සහ පුස්සැල වැනි දුෂ්කර ගම්මානවල පවා පාසල් බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

1970 ගනන් අග භාගය වන විට මෙම මහජන අධ්‍යාපනය කප්පාදු කිරීමට බලයට පත් ආන්ඩු පියවර ගත්තේ ය. 1974 දී, දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 ක් ව පැවති අධ්‍යාපන වියදම්, 2018 වන විට 1.8 දක්වා අඛන්ඩව කප්පාදු කර තිබේ.

පාසල් පද්ධතියේ මෙම පරිහානිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය හැරයෑම වේගවත් වී තිබේ. ජාතික ලමා රක්ෂන අධිකාරියේ දත්තවලට අනුව වාර්ෂිකව පාසල් හැර යන සංඛ්‍යාව 2020 වන විට 20,000 ක් දක්වා ඉහල නැග තිබුනි. 2017 වන විට ලංකාවේ පාසල් යායුතු වයසේ දරුවන්ගෙන් සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයන බව තවත් පරීක්ෂනයකින් හෙලිදරව් කෙරුනි.

ආහාර, පාසල් පොත්, බෑග්, සපත්තු ආදියෙහි මිල දැවැන්තව ඉහලයාම සහ ලක්ෂ සංඛ්‍යාතව රැකියා අහිමිවීම නිසා ගෙවුනු වසර කිහිපය තුල මේ තත්වය බරපතල ලෙස වේගවත් වී ඇත.

රටපුරා පාසල් වැසී යෑම සහ දරුවන් පාසල් හැරයෑම බලයට පත් ආන්ඩුවලටත් සමස්තයක් ලෙස ධනපති ක්‍රමයටත් එරෙහි බරපතල චෝදනා පත්‍රයකි. ගෝලීය වසංගතයෙන් හා යුක්‍රේන යුද්ධයෙන් ගැඹුරු වන ලෝක ධනේෂ්වර අර්බූදයේ කරවටක් ගිලි සිටින වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ලංකාවේ ධනපති පාලක පන්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම හරහා මහජන අධ්‍යාපනයේ ඉතුරු පහදු යමක් වේ නම් එයද අතුගා දැමීමේ කාර්යයෙහි නියැලී සිටිති.

ධනපති ආන්ඩුවලට බලපෑම් දමා අධ්‍යාපන අයිතිය තහවුරු කර ගත හැකිය යන මරාන්තික මිත්‍යාව වගාදිගා කරන ගුරු සංගම්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සහ එයට නායකත්වය ‌දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන අධ්‍යාපනයේ මෙම පරිහානියට දේශපාලනිකව වගකිව යුතු ය.

සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය කරන අවධාරනය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගුරුවරුන් සහ දෙමාපියන් දැක්වූයේ උනන්දු සහගත ප්‍රතිචාරයකි.

Loading