ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව පෞද්ගලීකරනයට එරෙහි උද්ඝෝෂනයේ මූලිකත්වය ගත් රක්ෂන සංස්ථා පොදු සේවක සංගමයේ (රසපොසේස) ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල සහ එම සංගමයේ ප්‍රචාරක ලේකම් නයෝමි හෙට්ටිආරච්චි, 2023 ජුනි 05 වනදි සිට වහා ක්‍රියාත්මක වන පරිදි කොලඹ ප්‍රධාන කාර්යාලයේ සිට වෙනත් ශාඛාවන්ට මාරු කිරීමට සංස්ථාවේ පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඇතුගල සහ හෙට්ටිආරච්චි මෙලෙස මාරුකර ඇත්තේ, පිලිවෙලින් කොලඹ සිට කිමී 107ක් සහ 29 ක් දුරින් පිහිටි කලවාන සහ පානදුර ශාඛාවන්ට ය.
සමිති නායකයන්ට මෙම මාරුවීම් පිලිබඳව දැනුම් දී ඇත්තේ, ජුනි 05 වන දා වැඩ නිමා වන මොහොතේ දී වන අතර, ජුනි 06 දා උදය වරුවේ රක්ෂන සේවකයන් සියගනනක් තම රාජකාරී කටයුතුවලින් ඉවත්වී මෙම අසාධාරන ස්ථාන මාරුවට එරෙහිව වර්ජනයට පිවිසියහ. නමුත් රසපොසේස ඇතුළු වෘත්තීය සමිති 15 ක නායකයෝ එම වර්ජනයට නායකත්වයදීම සහ එය සංවිධානය කිරීම ප්‍රතිෂේප කලහ.
තම සමිතියේ ප්‍රධාන ලේකම් සහ ප්‍රචාරක ලේකම් දඩයම් කිරීමට එරෙහිව වර්ජනයට පිවිසි රසපොසේස සාමාජිකත්වය ආපසු හරවා යැවීමට එම සමිතියේම අවශේෂ නායකත්වය ගත් නරුම පියවර මෙහිදී කැපී පෙනුනි. මෙමගින්, රසපොසේස ඇතුලු සියලු සමිති, ආන්ඩුවට සහ සංස්ථා පාලනාධිකාරියට සහතික වී ඇත්තේ පෞද්ගලීකරනයට එරෙහි කිසිදු අරගලයට තමන් කවර ලෙසකින් හෝ නායකත්වය නොදෙන බවයි.
පාලකයන් සමග කුමන්ත්‍රනය කල මෙම සමිති නායකයෝ, මාරුවීම් අවලංගු කර දිවාකරට දින පහක නිවාඩු ලබා දී ඇතැයි පාලකයින් පැවසු බවට බේගල් ඇදබාමින් සේවක වර්ජනය දියකර හැරිය බව සේවකයෝ ලෝක සමාජවාදි වෙබ් අඩවියට (ලෝසවෙඅ) වාර්තා කලහ.
ලෝසවෙඅ හි පලවූ “රක්ෂන සංස්ථා සේවකයන්ට එරෙහි රාජ්‍ය මර්දනය නතර කරනු!” යන ලිපියේ ඉංග්‍රිසි පිටපත, වෘත්තීය සමිති නායකයන් ට පෙන්වූ ප්‍රධාන විධායක නිලධාරි චන්දන අළුත්ගමගේ, රක්ෂන සංස්ථාවේ තොරතුරු දිවාකර විසින් එම වෙබ් අඩවියට සැපයූ නිසා, ඔහුට පානදුර ශාඛාවට ලබාදීමට අදහස් කල ස්ථාන මාරුව කලවාන ශාඛාවට ලබාදුන්නේ යැයි තර්ජනාත්මකව පැවසූ බව ලෝසවෙඅ ට වාර්තා විය.
කෙසේ නමුත්, වසර 14 ක කාලයක් රක්ෂන සංස්ථාවේ සේවයකල 3 වන ශ්‍රේනියේ විධායක නිලධාරයෙකු වන දිවාකර ඇතුගල ට ලබාදුන් ස්ථාන මාරුවට හේතුව ලෙස පාලනාධිකාරිය ලිඛිතව දන්වා ඇත්තේ, ඇතුගල සම්බන්ධයෙන් ආයතනය පැවැත්වූ අභ්‍යන්තර විනය පරීක්ෂනයකදී ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා හතෙන් පහකටම වැරදිකරු බව සනාථ වීමයි.
මෙම ඊනියා විනය පරීක්ෂනය ඇතුගල සහ හෙට්ටිආරච්චි දඩයම් කිරීමට පාලනාධිකාරිය විසින් සැලසුම් කරන ලද්දකි. තම වෘත්තීය සමිතියට අදාල සාමාජික අයදුම්පත් සහ සාමාජික මුදල් අයකර ගැනීමේ ලේඛන නවයක් සංස්ථාවට අයත් වෙනත් ශාඛාවන් නවයකට යැවීම සඳහා ආයතනයෙන් ලබාදුන් රාජකාරි විද්‍යුත් තැපැල් (ඊමේල්) ගිනුම යොදා ගැනීම වටා ඇතුගලට එරෙහි චෝදනා සියල්ල ගොතා ඇත.
“රාජකාරි වේලාවේදී වෘත්තීය සමිතියේ ඊමේල් යැවීම', ආයතනයේ 'ඊමේල් ප්‍රතිපත්තියට විරුද්ධවීම', මෙම ඊමේල් නිසා ආයතනයේ 'ඊමේල් පද්ධතියට බාධා ඇතිවීම', ඊමේල් යැවීම සඳහා ප්‍රචාරක ලේකම් 'නයෝමි හෙට්ටිආරච්චිට උපදෙස් දීම', මෙම ඊමේල් යැවීමෙන් ආයතනයේ 'යුතුකම් සහ වගකීම් කඩවීම', මෙලෙස ඊමේල් යැවීමෙන් දිවාකර 'විශ්වාසය කඩවන අන්දමින්' ක්‍රියාකර තිබීම සහ මෙම ඊමේල් නිසා ආයතනයේ අනිකුත් සේවකයන් කෙරෙහි 'වැරදි පූර්වාදර්ශයක් සැපයීම'” ඔහුට එරෙහි චෝදනාවන් ය.
ප්‍රචාරක ලේකම් හෙට්ටිආරච්චිට දඬුවම් මාරුව දී ඇත්තේ දිවාකරගේ උපදෙස් මත ඉහත ඊමේල් යැවීම සම්බන්ධයෙනි. හෙට්ටිආරච්චි විසින් ආයතනයට ලබාදුන් සේවාව නව සේවිකාවකට පුහුනු කරන තෙක් ඇයට ලබාදුන් දඬුවම් මාරුව සති දෙකකින් කල්දමා ඇත.
රක්ෂන සංස්ථාවේ සියලුම වෘත්තීය සමිති, ආයතනයෙන් ලබාදුන් විද්‍යත් තැපැල් ගිනුම් තම සමිති වැඩකටයුතු සඳහා භාවිතා කරන තත්වය තුල මෙම චෝදනා මාලාව මුලුමනින්ම අභූතය.
එම චෝදනා සියල්ලෙන් ඇතුගල සහ හෙට්ටිආරච්චි කොන්දේසි විරහිතව නිදහස් කලයුතු බවටත්, ඔවුනට එරෙහි දඬුවම් මාරු වහා අවලංගු කලයුතු බවටත් ඉල්ලා සිටිමින් රක්ෂන සංස්ථා සහ අවශේෂ කම්කරුවන්, වැඩවර්ජන සහ පෙලපාලි ඇතුලු පංති ක්‍රියා මගින් නැගී සිටිය යුතුයැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි.
ඒ සමගම, ලෝසවෙඅ හි පලවූ ලිපිය යොදා ගනිමින් ඇතුගලට ලබාදුන් 'දඬුවම' තියුනු කිරීමට රක්ෂන සංස්ථා පාලකයන් ගෙන ඇති පියවරට සසප එකහෙලා විරුද්ධ වෙයි. කම්කරුවන් බියවද්දා, ඔවුන් සහ ලෝසවෙඅ අතර වැඩෙන සබඳතාව බිඳ හෙලීමට ගත් මෙම මංමුලාසහගත පියවර, තම අරගල පිලිබඳ මාධ්‍යයන්ට තොරතුරු සැපයීමට කම්කරුවන්ට ඇති අයිතියටත්, එම තොරතුරු පල කිරීමට ලෝසවෙඅ ට ඇති අයිතියටත් එරෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැදිහත්වීමකි.
ලෝසවෙඅ හි ලිපිය පදනම් කර ගනිමින් සංස්ථා ප්‍රධානියා ගත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර සම්බන්ධයෙන් සමිති නිලධරය කවර හෝ විරුද්ධත්වයක් පලකොට නොමැත. තමන්‌ගේම වෘත්තීය සමිති නායකයන් දඩයම් කරන විටදී සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහරදෙන විටදී පවා කිසිදු අරගලයක් සංවිධානය නොකරන වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රතිගාමී ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තම විරෝධය සහ පිලිකුල පලකරමින් රක්ෂන සේවකයෙක් මෙසේ පැවසීය:
“ඇතුගලගෙ සහ හෙට්ටිආරච්චිගෙ මාරුවීම් වලට විරුද්ධව සේවකයෝ අරගලයට ආවා. ඒත් අනිත් වෘත්තීය සමිති නායකයො ඒක සංවිධානය කලේ නැහැ. වෘත්තීය සමිතිනායකයෝ පාලකයොත් එක්ක ඩීල් දානවා.”
සංස්ථාවේ සේවිකාවක් මෙසේ කීවාය: .
“රක්ෂන සංස්ථාව ඇතුලේ වෘත්තීය සමිති ඇල් මැරිලා. සමිති නායකයෝ ඒගොල්ලන්ගේ ප්‍රයිවෙට් ඇජෙන්ඩා වලට තමයි වැඩකරන්නේ. ඒගොල්ලෝ තමතමන්ගේ පෞද්ගලීක සුඛ විහරනය සඳහා ඉහල තනතුරු අරගෙන ඉන්නේ. ඒ නායකයෝ එක්ක දුර ගමනක් යන්න බැහැ. සේවකයෝ වෘත්තීය සමිති නායකයන් විශ්වාස කරන්නේ නැහැ.”
සටන්කාමී සේවක සේවිකාවන් ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරය යටතේ, “ආයතනය තුල ඒකරාශි වීම” මත චෝදනා ලැබු 50කට ආසන්න රක්ෂන සංස්ථා සේවක පිරිසක් රැකියාවෙන් දොට්ට දැමීමේ අනතුරට මුහුන දී සිටිති.
සසප මැයි 29 දා නිකුත් කල ප්‍රකාශයෙන් පැහැදිලි කල පරිදි,
'ප්‍රතිව්‍යුහකරන සැලසුම්වලට එරෙහි ව බලගතු ලෙස සටන් වැදීම සඳහා, තම වැඩපොලවල හා නිවහන් ප්‍රදේශ තුල වෘත්තීය සමිති හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, සසප මෙම රාජ්‍ය ව්‍යවසායයන්හි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඔබේ රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා අනෙකුත් අයිතීන් ආරක්ෂා කරගැනීමට ඔබට වෘත්තීය සමිති කෙරෙහි නම් කිසිදු විශ්වාසයක් තැබිය නො හැක.'
'කම්කරු පන්තියට රුදුරු කප්පාදු පියවරයන් නැවැත්විය හැක්කේ, වික්‍රමසිංහ පාලනය පෙරලා දැමීම සඳහා, සිය ස්වාධීන දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනකි. මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා, ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාපත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයත් ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි.'