[ මෙය Israel destroys high-rise buildings in Gaza City, as final genocidal offensive nears මැයෙන් සැප්තැම්බර් 5දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ඊශ්‍රායලය ගාසා නගරයට දැවැන්ත ප්‍රහාරයක් සූදානම් කරන අතරතුර, එම ප්‍රදේශයේ රැඳී සිටින පලස්තීනුවන් නව වටයක විනාශකාරී ගුවන් ප්‍රහාරවලට යටත් කර ඇත. මෙම ප්‍රහාර, නේවාසික ගොඩනැගිලි මුලුමනින්ම අතුගා දමමින්, සමස්ත ජනගහනය පුරාම භීතියේ සහ මංමුලා සහගත බවේ නව රැලි නංවමින් තිබේ.
සිකුරාදා, ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ උසම ගොඩනැගිලිවලින් එකක් වන මුෂ්තාහා කුලුනට අවම වශයෙන් ප්රක්ෂේපන තුනක් භාවිතා කරමින් පහර දුන් අතර, එමඟින් මහල් 12 කින් යුත් උස් ගොඩනැගිල්ල සුන්බුන් බවට පත් කෙරුනි. අවතැන්වූ පලස්තීනුවන් සිය ගනනක් නවාතැන් ගෙන සිටි ඒ අවට කූඩාරම්, ප්‍රහාරයේ කම්පන තරංගවලින් සොලවමින් කුලුන දූලි වලාකුලක් තුල කඩා වැටෙන ආකාරය, තහවුරු කල වීඩියෝ සහ ඒබීසී වාර්තා පෙන්නුම් කලේ ය.
ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, ගොඩනැගිල්ල වටා කඳවුරු බැඳගෙන සිටි බොහෝ පවුල්වලට යාමට තැනක් නැති කරමින්, හමුදාව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කලේ, පලමු ප්‍රහාරයට යාන්තම් මිනිත්තු 15 කට පෙර ය. පිපිරීමේ බලය කූඩාරම් පෙරලා දමමින්, පලා යන මිනිසුන් භීතියට පත් කලේ ය. අල්-ෂිෆා රෝහලේ වෛද්‍යවරු විස්තර කලේ, මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාවෙන් තමන් අතිශයට කම්පාවට පත්කල බවයි.
ගාසා නගරයේ සිට වාර්තා කරන අල් ජසීරා හි හනි මහමුද් මෙසේ පැවසීය.
විනාශය යනු නිවාස, මතකයන් සහ ඔවුන්ගේ ප්‍රජාව ක්‍රමානුකූලව මකා දැමීමයි. නගරය බිමට සමතලා වෙමින් පවතී. ඔවුන්ගේ අනාගතය ද සමග වරකට එක උස්ගොඩනැගිල්ල බැගින් කඩා දමනු ලැබේ.
රෝහල් කාර්ය මන්ඩලය වාර්තා කලේ, උස් ගොඩනැගිල්ලේ සහ ඒ අවට පදිංචිකරුවන්ට සහ අවතැන් වූවන්ට ලබා දුන් කෙටි කාලය තුල පැන යාමට නොහැකි වූ බවයි. ගොඩනැගිල්ල සිවිල් වැසියන්ගෙන් පිරී තිබූ බව, ගොඩනැගිල්ලේ කලමනාකාරිත්වය පසුව කීවේ ය.
ඊශ්‍රායල ප්රක්ෂේපන අනෙකුත් නේවාසික උස් ගොඩනැගිලිවලට ද ගුවනින් පහර දී ඇති අතර, හමුදා නිලධාරීන් ගාසා නගරයට එරෙහිව ප්‍රහාරය ඉදිරියට ගෙන යන විට තවදුරටත් ප්‍රහාර එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) දැන් ගෙන තිබෙන පියවර විස්තර කල හැකිවන්නේ, ලේ වැකි භීෂනයක් ලෙස පමනි.
2023 ඔක්තෝබර් මාසයේ සිට පලස්තීනුවන් මත මුදා හරින ලද ම්ලේච්ඡ ජන සංහාරයේ දී, ජනතාව අතර බිය සහ බලාපොරොත්තු සුන්වීම හිතාමතා ම නව මට්ටම්වලට ගෙන එමින් ඇත. දැවැන්ත ගොඩබිම් ආක්රමනයකට සූදානම් වෙමින් ඊශ්‍රායලය, ගාසා තීරයේ විශාලත ම නගරයේ උස්ගොඩනැගිලිවල මුදුනතින් සැදුනු අහස් රේඛාව අතුගා දමමින් සිටී.
ඊශ්‍රායල නිලධාරීන් නේවාසික ගොඩනැගිලිවලට එල්ල කරන මෙම ප්‍රහාර සාධාරනීකරනය කර ඇත්තේ, හමාස් සංවිධානය විසින් ඒවා “මිලිටරි මෙහෙයුම්” සඳහා භාවිතා කරන්නේ ය යන කියාපෑම්වල පදනම් මත ය. ආරක්ෂක ඇමැති ඊශ්‍රායල් කාට්ස්, සමාජ මාධ්‍යවල කරන ලද සහ බොහෝ මාධ්‍ය ආයතන විසින් වාර්තා කරන ලද ප්‍රකාශවල දී මෙසේ ප්‍රකාශ කලේ ය:
දැන් ගාසා තීරයේ නිරයේ දොරටු වලින් අගුල ඉවත් වෙමින් පවතී. දොර විවෘත වූ විට, එය වැසෙන්නේ නැති අතර හමාස් මිනීමරුවන් සහ ස්ත්‍රී දූෂකයින් යුද්ධය අවසන් කිරීම සඳහා ඊශ්‍රායලයේ කොන්දේසි පිලිගන්නා තුරු, මූලික වශයෙන් සියලු ම ප්‍රාන ඇපකරුවන් නිදහස් කිරීම සහ නිරායුධ කිරීම - නැතහොත් ඔවුන් විනාශ කරන තුරු අයිඩීඑෆ් ක්‍රියාකාරකම් වේගවත් කෙරෙනු ඇත.
පූර්ව ප්‍රහාර මගින් මුලුමනින්ම සුන්බුන් බවට පත් කර ඇති රාෆා සහ බෙයිට් හනූන් නගරවලට ම අත් වූ ඉරනම ම, ගාසා නගරයට ද අත්වනු ඇති බවට කැට්ස් අප්රමානවත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ගාසා තීරයේ අයිඩීඑෆ් ක්‍රියාකාරකම් “පුලුල් වෙමින් පවතින” බව මාන්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊයල් සමීර් සිකුරාදා තහවුරු කලේ ය.
එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදයේ සහාය ඇති ව සිටින සයොන්වාදී යුද අපරාධකරුවන්ට කිසිදු තත්වයක් යටතේ ගාසා තීරයෙන් පලස්තීනුවන් වාර්ගික ව හරනය කිරීමේ මෙහෙයුම, අවසන් කිරීමට කිසිදු අදහසක් නොමැති බව අවිවාදිත ය. ෆැසිස්ට්වාදීන් වන කාට්ස් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැහැදිලි කර ඇත්තේ, කුමක් සිදු වුවද, ගාසා තීරය සම්පූර්නයෙන්ම අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුන බවත් පලස්තීනයේ කිසිවක් ඉතිරි නොවන බවත් ය.
පසුගිය දින කිහිපය තුල, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් ගාසා නගරය සහ ඒ අවට සිවිල් වැසියන් දුසිම් ගනනක් මිය ගොස් ඇති අතර, සිකුරාදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පමනක් මරනයට පත්වූ, ලමුන් හත් දෙනෙකු ද ඇතුලු ව අවම වශයෙන් පුද්ගලයින් 18ක් ඒ අතර සිටී.
මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ලමයින් බවත්, ඔවුන්ගේ සිරුරු කූඩාරම් සහ තාවකාලික නවාතැන් වලින් සොයා ගත් බවත්, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ප්‍රදේශයේ රෝහල්වල වාර්තාවලින් තහවුරු කෙරුනි. තවත් උස් ගොඩනැගිලිවලදී සහ බොහෝ පලස්තීනුවන් ආරක්ෂාව පතාගිය, පැතිරුනු නාගරික කලාපයක් වන මුවාසිහිදී මිසයිල ප්‍රහාරවලින් තවත් කිහිප දෙනෙකු ඝාතනය කෙරුනි.
ගෙවුනු රාත්‍රී දෙක තුල පමනක්, ගාසා තීරය පුරා පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවකට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රකාශවලට අනුව, මෑතම ප්‍රහාරවලින්, වෙඩි තැබීම් සහ තෙරපීම් වලින් මියගිය බොහෝ දෙනෙකු, ආහාර බෙදා හැරීමේ ස්ථානවලට හෝ ගුවනින් හෙලන ලද සැපයුම්වලට අත්‍යවශ්‍ය ආධාර ලබා ගැනීමට උත්සාහ කල අයවූහ.
මැයි මාසයේ සිට, ආධාර රථ පෙලවල් හෝ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත ලඟා වෙමින් සිටිය දී, ඊශ්‍රායල වෙඩි තැබීම්වලින් පලස්තීන ජාතිකයන් සිය ගනනක් මිය ගොස් ඇති අතර, ඔවුහු, බොහෝ විට හමුදා මෙහෙයුම් මගින් ඔවුන්ගේ නිවෙස්වලින් නැවත නැවතත් බලහත්කාරයෙන් නෙරපා හැරූ අය වෙති. අවහිර කිරීම් සහ ආධාර පතන ජනකායට සෘජු ව ම පහර දීමෙන්, ඊශ්‍රායලය මානුෂීය ආධාර ආරක්ෂිත ව ලබා දීම පවා මුලුමනින්ම කල නොහැකි දෙයක් බවට පත් කර ඇති ආකාරයත්, මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිරය සමඟ සහයෝගයෙන් සකස් කරන ලද උපායමාර්ගික සැලැස්මක කොටසක් බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානුෂීය ආයතන විසින් ලේඛනගත කර ඇත.
ජාත්‍යන්තර මානව හිමිකම් කන්ඩායම් විසින් ජන සංහාරයක් ලෙස විස්තර කර ඇති ඊශ්‍රායල් ප්‍රහාරයේ ආයුධයක් වසයෙන්, හිතාමතාම කුසගින්න පවත්වාගෙන යාම් ප්‍රතිපත්තිය දිගටම කෙරීගෙන යයි. උතුරු ගාසා තීරයේ දැන් සාගත තත්වයන් පවතින බව ගෝලීය කුසගින්න පිලිබද නිරීක්ෂකයෙකු නිල වශයෙන් ප්‍රකාශ කල අතර, අතිමහත් සාක්ෂි තිබියදීත් ඊශ්‍රායලය එම හෙලිදරව්ව ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලමුන් 20,000 කට අධික සංඛ්‍යාවකට උග්‍ර මන්දපෝෂනය සඳහා ප්‍රතිකාර ලබා ඇත. හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය, යුද්ධයේ අවියක් ලෙස කුසගින්න භාවිතා කිරීම සම්බන්ධයෙන් සහ පලස්තීන ජනයා භෞතික ව විනාශ කිරීමට ගනන්බලා සැලසුම් කල කොන්දේසි පැනවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආන්ඩුවට චෝදනා කර ඇත.
ඇම්නෙස්ටි සංවිධානයේ මෑත වාර්තාවේ මෙසේ සඳහන් විය:
යටත්කරගෙන තිබෙන ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව යුද අවියක් ලෙස සිවිල් වැසියන් කුසගින්නේ තැබීම සහ දැන් කෙරීගෙන යන ජන සංහාරයේ කොටසක් ලෙස ඔවුන්ගේ භෞතික විනාශය කඩිනම් කිරීමට සැලසුම් කොට, ජීවිතය මත හිතාමතාම කොන්දේසී බලාත්කාරයෙන් පැටවීම ඊශ්‍රායලය අඛන්ඩ ව කර ගෙන ගොස් තිබේ.
ජලය, ඉන්ධන, ආහාර සහ ඖෂධ සඳහා දැනට පවත්ගෙන යන සීමා පැනවීම්, යටිතල පහසුකම් විනාශ කිරීම සහ මංමුලා සහගත හා වෙහෙසට පත් ජනගහනයකට ප්‍රමානවත් මානුෂීය ප්‍රවේශයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මගින් මෙම පියවරයන්ගේ සාපරාධීත්වය කීපගුනයකින් ඉහල නංවා ඇත.
නේවාසික කුලුනුවලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හෙලා දකිමින් හියුමන් රයිට්ස් වොච් මෙසේ ප්‍රකාශ කලේය.
සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම, ගාසා තීරයේ පදිංචිකරුවන් බලහත්කාරයෙන් අවතැන් කිරීම සහ ගාසා තීරයේ ජනතාවට සාමූහිකව දඬුවම් කිරීම යුද අපරාධ ගනයේ සැලකේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කල නිවේදනයක මෙසේ සඳහන් විය.
සිවිල් ජනතාව කුසගින්නේ තැබීම, ඔවුන්ගේ නිවාස විනාශ කිරීම සහ ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට පහර දීම, ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ වේ.
ගාසා තීරයේ සිදු වූ මරන හා විනාශය පිටුපස ඊශ්‍රායල ආන්ඩුව සහ ට්‍රම්ප් පරිපාලනය අතර සමීප සහයෝගීතාවයෙන් සකස් කරන ලද -- ඊශ්‍රායල ව්‍යාපාරිකයින්, බොස්ටන් උපදේශන කන්ඩායම, ඊනියා ගාසා මානුෂීය අරමුදල සහ ටෝනි බ්ලෙයාර් පදනම විසින් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරන ලද--- සවිස්තරාත්මක “පශ්චාත් යුද” සැලැස්මක් පවතී.
ගවේෂනාත්මක මාධ්‍යවේදීන් වාර්තා කල පරිදි, මෙම සැලස්මේ අරමුන වන්නේ පලස්තීන ජනගහනයෙන් ගාසා තීරය ශුද්ධ කොට, එය, බටහිර හා ඊශ්‍රායල ව්‍යාපාරික අවශ්‍යතා සඳහා “වෙරලබඩ නිවාඩු නිකේතනයක්” බවට පත් කිරීමයි. ඉඩම් සහ සම්පත් දැවැන්ත ලෙස නව පුද්ගලීකරනය කිරීම, විදේශීය ආයෝජකයින් විසින් පාලනය කරනු ලබන විශේෂ ආර්ථික කලාප හඳුන්වාදීම සහ එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදාවන්ගේ ආශිර්වාදය සහ සැපයුම් සහාය ඇතිව ස්වදේශික ජනගහනය ස්ථිරසාරවම නෙරපා හැරීමෙන් මෙම සැලස්ම සමන්විත වේ.
ප්‍රසිද්ධියේ “මානුෂීය ප්රතිනිර්මානය” ලෙස දවටා ඉදිරිපත් කල ද මෙහි සැබෑ අභිප්‍රාය පැහැදිලි ය: එනම්, මෙය, වාර්ගික විශුද්ධිකරනය, ආර්ථික සූරාකෑම සහ පලස්තීන ජාතික අයිතිවාසිකම් මුලුමනින්ම අතුගා දැමීමට සහ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රතිපත්ති පිටුපස සිටින මූල්‍ය හා සංගත ප්රභූන්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාවට දැමෙන, යුද අපරාධකරුවෙකු වන ටෝනි බ්ලෙයාර් වැනි පුද්ගලයින් විසින් සැලසුම් කෙරුනු එකක් ය යන්නයි.